තහනම් ගහේ ගෙඩි කෑ ශ්‍රී ලාංකිකයෝ

760
©ක්‍රීඩා පුවත්පත

1982 වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා කටුනායක ගුවන්තොටුපොළෙන් හොංකොං බලා පිටත්වන ගුවන් යානයක්. එහි සිටි මගීන් සාමාන්‍ය ගුවන් ගමනක යෙදෙන්නන් ලෙස බැලූ බැල්මට පෙනුණ ද සැබෑවටම එය එසේ වූයේ නැහැ. මේ ගුවන් ගමන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වසර ගණනාවකින් පසුපසට ඇද දමන්නක් බව එදා කිසිවෙකු දැන සිටියේත් නැහැ.

මෙතැන් පටන් ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කළ සහ අද්විතීය ක්‍රිකට් ක්‍රීඩකයින් රාශියක් ශ්‍රී ලංකාවට සදහටම අහිමි කළ ඒ ආන්දෝලනාත්මක තහනම් දකුණු අප්‍රිකානු සංචාරයේ කතාවයි.

වේගපන්දුවෙන්, හිතුවක්කාරකමෙන් ලොව දිනූ ඩෙනිස් ලිලී

හැත්තෑව සහ අසූව දශකවල ඕස්ට්‍රේලියානු පන්දු …………………..

දකුණු අප්‍රිකාව ක්‍රීඩාවට තහනම් කලාපයක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 1970 හැත්තෑව දශකයේ මුල දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම් කලාපයක් බවට පත් කරනවා. ඒ වර්ණභේදවාදී ප්‍රශ්න හේතුවෙන්. දකුණු අප්‍රිකාවට මෙම තහනම පැනවී තිබුණ සමයේ ජාත්‍යන්තර කණ්ඩායම් දකුණු අප්‍රිකාවට සංචාරය කිරීම තහනම් කටයුත්තක් ලෙසයි සැලකුණේ.

උසස් ක්‍රීඩා රටාවක් හිමි, ක්‍රීඩාශීලිත්වය ඉහළ දකුණු අප්‍රිකානුවන්ට මෙම තහනම නිසා වැදුණේ මරු පහරක්.  ග්‍රැහැම් පොලොක්, බැරී රිචර්ඩ්ස්, පීටර් පොලොක්, මයික් ප්‍රොක්ටර්, එඩී බාලෝ වැනි ලෝක ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ පුරාවෘත්තයන් වීමට තිබූ බොහෝ අද්විතීය ක්‍රීඩකයින්ට සදහටම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දොර වැසුණේ මේ තහනම නිසා.

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය සහ ගුණාත්මක බව රැක ගැනීමට සෑහෙන වෙනසක් දැරීමට දකුණු අප්‍රිකානු බලධාරීන්ට සිදුවුණා. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් දකුණු අප්‍රිකාවට ගෙන්වා ගැනීමට දකුණු අප්‍රිකානු බලධාරීන් කටයුතු කළා. මේ සංචාර සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය සහ ආශිර්වාදය ලැබුණේ නම් නැහැ.

වීර කාව්‍යයක් නොගැයුණු ලාංකේය ක්‍රිකට් මහානාමය

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය එය …………………….

දේදුනු දේශයේ තහනම් සංචාරයට පිඹුරුපත් සැකසුණු හැටි

1982 ජූලි මාසයේ දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංගමයේ සභාපති සහ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ ජෙෆ් ඩකීන් සහ ආචාර්ය අලී බැකර් එංගලන්තයේ සංචාරයක නිරත වෙනවා. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මහා සභා රැස්වීම ද යෙදී තිබුණේ මේ කාලයේ දීමයි.

ගුවන් තොටුපළේ දී ඉහත දකුණු අප්‍රිකානු ජාතිකයින් දෙදෙනාට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ටෝනි ඕපාත හමු වෙනවා. දකුණු අප්‍රිකානු සංචාරයක් පිළිබඳව සාකච්ඡාවක් මුල්ම වරට සිදු වන්නේ ඒ අවස්ථාවේ දීයි. ඇත්තෙන්ම එම සාකච්ඡාව සාර්ථක එකක් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට ගෙන්වා ගැනීම පිළිබඳව ආචාර්ය බැකර් සහ ඩකීන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කළා.

ආචාර්ය අලී බැකර්
©Getty Images

ටෙස්ට් ක්‍රිකට් නවකයින් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාරය දකුණු අප්‍රිකාවට වැදගත් වූවේ ශ්‍රී ලංකාව සුදු ජාතික‍යින් නියෝජනය කළ කණ්ඩායමක් නොවීමයි. සුදු ජාතික නොවන කණ්ඩායම්වලට ද දකුණු අප්‍රිකාව තුළ ක්‍රීඩා කළ හැකි බව ලොවට පෙන්වීමට දකුණු අප්‍රිකාව මෙම සංචාරය යොදා ගත්තා.

1982 සැප්තැම්බර් මාසයේ කොලින් රෂ්මේයර් නම් දකුණු අප්‍රිකානු නීතිඥවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඔහු පැමිණෙන්නේ ඕලන්ද ව්‍යාපාරිකයෙකු ලෙසින්. මෙම තරගාවලියට අදාළ ක්‍රීඩක කොන්ත්‍රාත්තු, ලිපි ලේඛන රැගෙනයි ඔහු මෙරටට පැමිණෙන්නේ. දින කිහිපයකට පසු රෂ්මේයර් නැවත දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 14 දෙනෙකු අත්සන් තැබූ කොන්ත්‍රාත්තුත් සමඟ.

එදා කලබලයෙන් මෙන් ශ්‍රී ලංකාවෙන් පිටව යෑමට පැමිණි රෂ්මේයර් පත්වන්නේ දැඩි අපහසුතාවයකට. ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් ඔහු දැඩි පරීක්ෂාවකට ලක් කරනවා. නමුත් අත්සන් කළ කොන්ත්‍රාත්තු ආගමන විගමන නිලධාරීන් අතට අසුවන්නට පෙර රෂ්මේයර් ඔවුන්ගේ අවධානය සූක්ෂම ලෙසින් වෙනතක හරවමින් මෙරටින් පැන ගැනීමට සමත් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් නමක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තහනම් දකුණු අප්‍රිකානු සංචාරයේ මහ මොළකරුවා සහ කළමනාකරුවා වූයේ ටෝනි ඕපාතයි. ඔහුගේ සම්පූර්ණ නම ඇන්තනී රැල්ෆ් ඕපාත (Anthony Ralph Ophtha) වූ අතර ඔහුගේ නමේ මුලකුරු සමඟ දකුණු අප්‍රිකානු සංචාරයක් බැවින් SA යන්නත් යොදාගනිමින් AROSA Sri Lanka නමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නම තීරණය වී තිබුණා.

1982 ක්‍රිකට් කැරැල්ලේ විත්තිකරුවන්

බන්දුල වර්ණපුර (නායක), හේමන්ත දේවප්‍රිය, අජිත් ද සිල්වා, මහේෂ් ගුණතිලක, නිර්මාල් හෙට්‌ටිආරච්චි, ලලිත් කලුපෙරුම, ටෝනි ඕපාත, අනුර රණසිංහ, ලන්ත්‍රා ප්‍රනාන්දු, බන්දුල ද සිල්වා, සුසන්ත කරුණාරත්න, ෆ්ලේවියන් අපොන්සු, බර්නාඩ් පෙරේරා, ජෙරී වවුටර්ස් යන ක්‍රීඩකයින් 14 දෙනා දකුණු අප්‍රිකාව බලා යෑමට කොන්ත්‍රාත්තු අත්සන් කොට තිබුණා.

දුලීප් මෙන්ඩිස් සහ රෝයි ඩයස් දෙදෙනාත් දකුණු අප්‍රිකානු ගමනට එක්වන්නට සිටි නමුත් අවසන් මොහොතේ ඔවුන් සිය තීරණය වෙනස් කොට තිබුණා.

වීර කාව්‍යයක් නොගැයුණු ලාංකේය ක්‍රිකට් මහානාමය

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය එය …….

ශ්‍රී ලාංකිකයෝ දකුණු අප්‍රිකාව බලා පිටත් වෙති

දකුණු අප්‍රිකාව බලා යන තහනම් ක්‍රිකට් සංචාරයක ඉවක් මාධ්‍යවේදීන්ට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනී තිබුණා. ඔවුන් දැඩි අවධානයක් ක්‍රීඩකයින් වෙත යොමු කරන්නට තීරණය කර තිබුණා.

1982 වසරේ වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දෙවන දිනයටත් ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීමට තිබුණා. නමුත් පුදුමයකට මෙන් මේ තරගය ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ක්‍රීඩකයින් රාශියක් හිටි හැටියේ අතුරුදහන් වී තිබුණා. 

“ඇත්තට දවස් කිහිපයක් යන තෙක් ගුවන් ගමන් තිබුණේ නැහැ. වෙළඳසේවා අවසන් මහා තරගය පැවැත්වෙන අතරේ වුවත් අපිට යෑමට සිදු වුනේ ඒ නිසායි.

මාධ්‍යවේදීන් සියල්ල සොයමින් අප පසුපසින්ම වැටී සිටියා. රහස්‍යභාවය උපරිමයෙන්ම අපිට ආරක්ෂා කිරීමට සිදුව තිබුණා.

අපි ලංකාවෙන් යද්දී ගමන් මල්ලක්වත් රැගෙන නෙවෙයි ගියේ. අපේ නඩය කුඩා කණ්ඩායම් ලෙසින් ගුවන් තොටුපොළට ගිහින් ගුවන් යානය තුළ දී නැවත එක්වුණේ.  කිසිම ආකාරයකින් සැකයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න අපිට සිද්ධ වුනා. 

අපිට ගමන් කිරීමට තිබුණේ හොංකොං වෙත. හොංකොං සිට තායිපේ දෙසට ගොස් අවසානයේ ජොහැන්ස්බර්ග් දක්වා යෑමටයි සැලසුම් කර තිබුණේ.

ජොහැන්ස්බර්ග් ගුවන් තොටුපොළේ දී දකුණු අප්‍රිකානුවන් මහත් හරසරින් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගත්තා.”

ශ්‍රී ලංකා කණ්ඩායමකට දකුණු අප්‍රිකාවට යන්නට මග පෑදූ ටෝනි ඕපාත පසුකලෙක එසේ ප්‍රකාශ කළා.

දකුණු අප්‍රිකානු බලධාරීන්ගෙන් වැඩිම ඉල්ලුමක් තිබුණේ නායක බන්දුල වර්ණපුර වෙත. වර්ණපුරයන්ගේ නායකත්ව කුසලතා පිළිබඳව දකුණු අප්‍රිකාවනුවන්ට තිබුණේ ඉතා ඉහළ තක්සේරුවක්.

“අපි දකුණු අප්‍රිකාවට යන විට කිසිම දෙයක් රැගෙන ගියේ නැහැ. නමුත් දකුණු අප්‍රිකාවට ගිය දිනයට පසුදා එවර සංචාරයට පමණක් නොවෙයි මුළු ජීවිත කාලයටම සෑහෙන්න තරම් ක්‍රිකට් ආම්පන්න, ඇඳුම් ආයිත්තම්, බ්ලේසර් සියල්ල අපිට ලැබුණා. 

ශ්‍රී ලංකාවේ ලාංඡනය සහිත බ්ලේසර්, තොප්පි, ටයි පටි පවා ඔවුන් අපි වෙනුවෙන්  සකස් කර දෙන්නට කටයුතු කළා.

සිංහ ලාංඡනය සහිත හිස් වැස්ම

ශ්‍රී ලංකා ලාංඡනය ඔවුන් සඟරාවක් මගින් සොයාගෙන තිබුණා. ලාංඡනයේ එහි යම් යම් වෙනස්කම් තිබෙන බව අපට පෙනී ගියා. නමුත් දින දෙකක් තුනක් යන්නට මත්තෙන් ඒ සියල්ල නැවත නිසි පරිදි සකසා දෙන්නට සංවිධායකයින් සමත් වී සිටියා.

අපි ලාංඡනය වෙනුවෙන් සිංහයා පාවිච්චි කළ නමුත් කිසිම විටෙක ශ්‍රී ලංකා කණ්ඩායම යන්න භාවිතා කළේ නැහැ.”

ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයට නායකත්වය දුන් දකුණු අප්‍රිකාවේ තහනම් සංචාරයේ නඩේ ගුරා බන්දුල වර්ණපුර පසුකලෙක තම අදහස් එසේ ප්‍රකාශ කර සිටියා.

වේගපන්දුවෙන්, හිතුවක්කාරකමෙන් ලොව දිනූ ඩෙනිස් ලිලී

හැත්තෑව සහ අසූව දශකවල ඕස්ට්‍රේලියානු පන්දු ……….

ශ්‍රී ලංකාවට අයහපත් තරගාවලියක්

එක්දින තරග හතරකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විත වූ තරගාවලියේ එකඳු තරගයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ.

බර්නාඩ් පෙරේරා කේප්ටවුන්’හී නිව්ලන්ඩ්ස් පිටියේ දී රැස් කළ ශතකය (102) මේ තරගාවලිය පුරාවටම ශ්‍රී ලාංකිකයෙකුගේ පිත්තෙන් වාර්තා වූ එකම ශතකය වුනා.

අනුර රණසිංහ තහනම් සංචාරයේ තරගයක් අතරතුර පන්දුවට පහර දෙමින්
©ක්‍රීඩා පුවත්පත

ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රීඩකයන්ට එල්ල වූ විරෝධය නිසා සංචාරය පුරාවටම ක්‍රීඩකයන් යහපත් මානසික මට්ටමක නොසිටි බව බන්දුල වර්ණපුර වරක් ප්‍රකාශ කළා.

ආර්ථික වශයෙන් දකුණු අප්‍රිකාව මෙම සංචාරයෙන් එතරම් ලාභයක් ලැබුවේ නැහැ. නමුත් බටහිර ඉන්දීය කොදෙව් වැනි වෙනත් සුදු ජාතික නොවන කණ්ඩායම්වලට දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට මෙම සංචාරය මහත් රුකුලක් වුනා.

කැරලිකාර කණ්ඩායමට දඟගෙයි දඬුවම් 

තහනම් දකුණු අප්‍රිකානු සංචාරයට එක් වූ සියලුම ක්‍රීඩකයන්ට වසර විසි පහක තරග තහනමක් ලබා දෙන්නට ශ්‍රී ලංකා බලධාරීන් ක්‍රියා කළා.

මෙම ගැටලුව වරක් පාර්ලිමේන්තුව තුළ පවා සාකච්ඡාවට ලක් වුනා. එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ හලීම් ඉෂාක් බන්දුල වර්ණපුර ඇතුළු පිරිසට ලබා දුන් දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියා. එයට පිළිතුරු දුන් එවකට ක්‍රීඩා සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය වින්සන්ට් පෙරේරා සඳහන් කලේ දඬුවම ලිහිල් කිරීම සඳහා ක්‍රීඩකයන් ලිඛිතව ඉල්ලීමක් කරමින් සමාව ගත යුතු බවයි. නමුත් එය කිසිම දිනෙක යථාර්ථයක් බවට පත්වුණේ නැහැ.

තරග තහනමට ලක් වූ කිසිදු ක්‍රීඩකයෙක් නැවත ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ නැහැ. එහෙත් ෆ්ලේවියන් අපොන්සු 1996 විල්ස් ලෝක කුසලානය වෙනුවෙන් නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී ක්‍රීඩකයින් රැසක් අහිමි කළ ඉතාම අවාසනාවන්ත කාල සමයක් ලෙසයි ඇරෝසා ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ක්‍රිකට් සමය හැඳින්විය හැකි වන්නේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<