1983 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම්

666
තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම Courtesy - gettyimages

1975 සහ 1979 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 2කම “Prudential” සමාගමේ අනුග්‍රහය ඇතිව එංගලන්තයේදී සාර්ථකව නිමාකළ නිසාම 1983 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද “තෙවන prudential ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය” ලෙසින් එංගලන්තයේදී පැවැත්විය.

1979 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම්

1975 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව නිමාකර වසර 4ක් ගෙවුණු පසුව නැවතත් ලෝක


එම ලෝක කුසලාන තරගාවලිය සඳහා ICC පූර්ණ සාමාජිකත්වය ලද රටවල් ලෙසින් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සහභාගී වනවිට තරගාවලිය සඳහා මුල්ම වරට සිම්බාබ්වේ කණ්ඩායම එක්වූයේ ICC කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

තරගාවලිය සඳහා එක්වූ කණ්ඩායම් gettyimages

තරගාවලිය පැවති ආකාරය

තරගාවලිය සඳහා එක්වූ රටවල් 8, කාණ්ඩ දෙකකට බෙදා වෙන්කර තිබූ අතර එක් රටකට  කාණ්ඩයේ සිටි සෑම රටක් සමඟම දෙවරක් තරග වැදීමට සිදුව තිබුණි. ඒ අනුව මූලික වටයේදී සෑම රටකටම තරග 6කට සහභාගී වීමට සිදුවූ අතර මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩයේ ඉහළින්ම සිටින රටවල් 2ක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

A කාණ්ඩය සඳහා ඇතුළත් වූ රටවල්

  • ඕස්ට්‍රේලියාව
  • බටහිර ඉන්දීය කොදෙව්
  • ඉන්දියාව
  • සිම්බාබ්වේ

B කාණ්ඩය සඳහා ඇතුළත් වූ රටවල්

  • එංගලන්තය
  • පකිස්තානය
  • නවසීලන්තය
  • ශ්‍රී ලංකාව


තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම

ලෝක කුසලාන තරගාවලියට පෙර මව්බිමේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින තරගාවලියකින් 2-0ක් ලෙස පරාජය කරමින් හොඳ මානසිකත්වයකින් මෙම තරගාවලියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් දැකගත හැකිවිය.

තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි විය

  • දුලිප් මෙන්ඩිස් (නායක)
  • රෝයි ඩයස් (උප නායක)
  • සෝමචන්ද ද සිල්වා
  • සිදත් වෙත්තමුණි
  • රංජන් මඩුගල්ල
  • අසන්ත ද මෙල්
  • රුමේෂ් රත්නායක
  • ගයි ද අල්විස්
  • අර්ජුණ රණතුංග
  • අතුල සමරසේකර
  • බ්‍රෙන්ඩන් කුරුප්පු
  • විනෝදන් ජෝන්  
  • සුසිල් ප්‍රනාන්දු
  • ග්‍රැන්විල් ද සිල්වා  

 

තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අත්සන්  
Courtesy – carters.com.au


තරගාවලියේදී  ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ දස්කම්

තරගාවලියට පෙර සර් ගාෆීල්ඩ් සෝබර්ස් යටතේ ලද පුහුණුව නිසාම මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් විය. එහිදී නවසීලන්තයට එරෙහිව තරගයක් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුවද සමස්තයක් ලෙස තරගාවලිය පුරාම ඔවුන් දක්ෂ ක්‍රීඩා රටාවක නිරත විය.

ඩර්බිහිදී කිවියන් දණගැස්සූ සිංහයන්

ශ්‍රී ලංකා පිළ තරගාවලියේ ලද එකම ජයග්‍රහණය මෙය වූ අතර මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 9ම ලකුණු 116ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය. එහිදී මුල්මවරට ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එක්දින තරගයක දවා ගත් කඩුලු 5 වාර්තා වූ අතර එම දක්ෂතාවය දැක්වූ අසන්ත ද මෙල් ලකුණු 32කට කඩුලු 5ක් දවාගෙන මනරම් පන්දු යැවීමක නිරත විය. නමුත් නවසීලන්ත අවසන් පිතිකරුවන් යුගලය වූ ස්නේඩන් සහ චැට්ෆීල්ඩ්, අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ අගනා ලකුණු 65ක සබඳතාවය නිසා පන්දුවාර 58.2කදී නවසීලන්ත ඉනිම ලකුණු 181ක් ලෙස සටහන් විය.

එහිදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අසන්ත ද මෙල් සහ රුමේෂ් රත්නායක නිලකුණු පන්දුවාර 4 බැගින් යවමින් පිළිවෙලින් ලකුණු 32කට කඩුලු 5ක් සහ ලකුණු 18කට කඩුලු 2ක් ලෙස දක්ෂ පන්දු යැවීමක නිරත විය. නිලකුණු පන්දුවාර 5ක් යැවූ සෝමචන්ද්‍ර ද සිල්වා ලකුණු 11කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

සෝමචන්ද්‍ර ද සිල්වා විසින් ජෙරමි කෝනි දවාගත් අවස්ථාව
Courtesy – gettyimages

අනතුරුව ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ රෝයි ඩයස් තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 80ක සබඳතාවය නිසා 129/2 ලෙස ප්‍රබල තත්වයක පසුවිය.

කෙයාන්ස්ගේ පන්දුවක් හමුවේ සිදත් දැවීයාම  
Courtesy – gettyimages

නමුත් බ්‍රෙන්ඩන් කුරුප්පු ලකුණු 62කට දැවීයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 32ක් තුළ බිඳවැටීම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 161/7 බවට පත්විය. නමුත් එම අවස්ථාවේ ඉතාමත් වගකීමෙන් ක්‍රීඩාකළ රෝයි ඩයස්, නොදැවී ලකුණු 64ක් ලබාගනිමින් පන්දුවාර 52.5කදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.

රෝයි ඩයස්
Courtesy – gettyimages

පාකිස්තානය හමුවේ ලද අවාසනාවන්ත පරාජය

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙඩිංග්ලි හිදී පැවති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 43කට දැවීගියේ අසන්ත ද මෙල් සහ රුමේෂ් රත්නායක ඉතාමත් හොඳින් පන්දු යැවූ නිසාය. නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වූ නායක ඉම්රාන් ඛාන් සහ ෂහිඩ් මෙහෙබුබ් හයවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 144ක සබඳතාවය නිසා ස්ථාවර තත්වයකට පත්වුනු පාකිස්තානු ඉනිම නියමිත පන්දුවාර 60 අවසානයේදී 235/7 ලෙස සටහන් විය. එහිදී අසන්ත ද මෙල් ලකුණු 39කට කඩුලු 5ක් දවාගනිමින් දක්ෂ ලෙස පන්දු යවන විට අගනා ඉනිමක් ක්‍රීඩාකළ පාකිස්තානු නායක ඉම්රාන් ඛාන් නොදැවී ලකුණු 102ක් ලබාගත්තේ ඔහුගේ මංගල එක්දින ශතකය වාර්තා කරමිනි.

ඉම්රාන් ඛාන්
Courtesy – gettyimages

ඉන්පසුව ලකුණු 236ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වීම නිසා 162/2 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර තත්වයක පසුවිය. නමුත් අබ්දුල් ඛදීර්ගේ මනරම් දඟපන්දු යැවීම හේතුවෙන් ලකුණු 9ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් බිඳවැටුණේ ඔවුන්ගේ ලකුණු පුවරුව 171/7 බවට පත්කරමිනි. එම අවස්ථාවේ ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් සටන්කාමී පිතිහරඹයක නියැලුණ ද අබ්දුල් ඛදීර් ලකුණු 44කට කඩුලු 5ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 58.3කදී ලකුණු 224කට සීමා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 11ක පරාජයක් උරුමකර දෙමිනි.

අබ්දුල් ඛදීර්
Courtesy – gettyimages

ලකුණු 300 ඉක්මවා හඹායාමට උත්සාහ කළ තරග 2ක්

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග 2කදී ඔවුන්ට ලකුණු 300 ඉක්මවූ ඉලක්කයන් ලැබුණු අතර එම තරග 2 පරාජයට පත්වුවද එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම උද්යෝගිමත් තරග රටාවක නිරත විය.

ලෝක වාර්තාවක් බිහිවූ පාකිස්තානු තරගය

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ස්වන්සී හිදී පැවති මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 338ක් ලබාගත්තේ, එම අවදියේ එක්දින තරගයක කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසිනි. ඒ ඊට පෙර 1975 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම හමුවේ එංගලන්ත කණ්ඩායම වාර්තා කර තිබූ 334/4 අභිබවා යමිනි.

එහිදී පාකිස්තානු ඉනිම ශක්තිමත් කළ සහීර් අබ්බාස් සහ මොහසින් ඛාන් ලකුණු 82 බැගින් ලබාගන්නා විට වේගවත් ඉනිම් 2ක් ක්‍රීඩාකළ ජාවෙඩ් මියැන්ඩාඩ් සහ ඉම්රාන් ඛාන් පිළිවෙලින් ලකුණු 72ක් සහ 56ක් ලබාගැනීමට සමත් විය.

සහීර් අබ්බාස්
Courtesy – gettyimages

අනතුරුව ලකුණු 339ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් කුරුප්පු සහ ගයි ද අල්විස් ලබාගත් අර්ධ ශතක නිසා නියමිත පන්දුවාර 60 අවසානයේදී ශ්‍රී ලංකා ඉනිම සටහන් වූයේ 288/9ක් ලෙසිනි.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබාදුන් සටන

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෝන්ටන්හිදී පැවති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 333ක් ලබාගැනීමට සමත් වූයේ හයේ පහර 5ක් සමඟ පන්දු 120කින් ලකුණු 130ක් ලබාගත් ඩේවිඩ් ගවර්ගේ හැඩකාර ඉනිම නිසාය.

ඩේවිඩ් ගවර්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක්
Courtesy – gettyimages

ඉන්පසුව ලකුණු 334ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුලිප් මෙන්ඩිස් සහ ගයි ද අල්විස් ලබාගත් අර්ධ ශතක නිසා පන්දුවාර 58කදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 286කට සීමා විය. එහිදී එංගලන්තය වෙනුවෙන් දක්ෂ ලෙස පන්දු යැවූ වික්ටර් මාක්ස් ලකුණු 39කට කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.

වික්ටර් මාක්ස් ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු යවමින්
Courtesy – gettyimages

තරගාවලිය පුරා කැපී පෙණුනු ශ්‍රී ලංකා පන්දු යවන්නා

තරගාවලිය පුරාවටම ඉතාමත් හොඳ පන්දු යැවීමක නිරත වෙමින් තරග 6ක් තුළ කඩුලු 17ක් ලබාගත් අසන්ත ද මෙල් තරගාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා වූ අතර ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 15.59ක් ලෙසින් සටහන් විය. එහිදී පාකිස්තානය සහ නවසීලන්තයට එරෙහිව කඩුලු 5 බැගින් දවාගත් අසන්ත ද මෙල් තරගාවලිය පුරාවට පන්දුවාර 66ක් යවා ඇත්තේ නිලකුණු පන්දුවාර 13ක් ද සමඟය.

අසන්ත ද මෙල්
Courtesy – gettyimages

තරගාවලිය තුළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන්

තරගාවලිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ බ්‍රෙන්ඩන් කුරුප්පු, අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 182ක් ලබාගෙන දෝලනය වන තණතීරු වල ආරම්භක පිතිකරුවාගේ අසීරු වගකීම මැනවින් ඉටුකිරීමට සමත් විය.

බ්‍රෙන්ඩන් කුරුප්පු
Courtesy – gettyimages

තවද නිරන්තරයෙන් පසුපෙළ පිතිකරුවන් සමඟ පිත්ත හැසිරවූ ගයි ද අල්විස්, 105.3ක ප්‍රහාරක වේගයක් සහිතව අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 167ක් ලබාගත්තේ 55.67ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

ගයි ද අල්විස්
Courtesy – gettyimages

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<