කුළුඳුලේ එතෙරට පාකිස්තාන් ගිය අපේ ඇත්තෝ

99
©Getty Images

1981 වසරේ ටෙස්ට් වරම් දිනා ගත් අප, 1982 පෙබරවාරි මාසයේ එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගයට මුහුණ දුන්නෙමු. එංගලන්තය එදා අපට ලබා දුන්නේ එක් ටෙස්ට් තරගයක් පමණි. 

බොහෝ කලක් යන තුරු ශ්‍රී ලංකාව කෙරෙහි එංගලන්තයේ ස්ථාවරය වෙනස් වූයේ නැත. එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට පූර්ණ ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට පාකිස්තානය බලා යෑමට සිදුවී තිබුණි.

1949/50, 1966/67, 1973/74 වසරවල දී සිලෝන්/ශ්‍රී ලංකා කණ්ඩායම් පාකිස්තානයේ නොනිල සංචාරවල නිරත වූ අතර 1973/74 සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අනුර තෙන්නකෝන් 1982 නඩයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු විය.

1982 වසරේ පෙබරවාරි මස 18 වෙනිදා පාකිස්තානය බලා යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරුණි. බන්දුල වර්ණපුරගේ නායකත්වය යටතේ සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට සිංහල ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් පස්දෙනෙක් සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් හතර දෙනෙකු ඇතුළත් විය. 

එන්. සී. සී. ක්‍රීඩා සමාජයෙන් සහ කුරුණෑගල ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් සහ කොළඹ ක්‍රිකට් සමාජය, ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජයෙන් එක් ක්‍රීඩකයෙකු බැගින් ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටියහ.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ මහ මොළකරු ‘ඇතර්ස්’

1995 වසරේ දෙසැම්බර් හතර වැනිදා ජොහැන්ස්බර්ග් ……..

1981/82 පාකිස්තානු සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය.

බන්දුල වර්ණපුර (නායක), දුලීප් මෙන්ඩිස් (උප නායක) සිදත් වෙත්තමුණි, රෝයි ඩයස්, රංජන් මඩුගල්ලේ, අර්ජුන රණතුංග, බර්නාඩ් පෙරේරා, මහේෂ් ගුණතිලක, රොහාන් ජයසේකර, අජිත් ද සිල්වා, ඩී.එස් ද සිල්වා, ලලිත් කළුපෙරුම, අනුර රණසිංහ, රවී රත්නායක, අසන්ත ද මැල්, රොජර් විජේසූරිය.

1982 වසරේ පෙබරවාරි 25 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පසු දිනයේ රාවල්පින්ඩි නුවරට සේන්දු වූහ.

එලෙස පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට තිබූ පළමු පුහුණු තරගය වූයේ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ තරගයයි. රාවල්පින්ඩි නුවර පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය අත්හැර දැමීමට සංවිධායකයින්ට සිදු විය.

පළමු ටෙස්ට් තරගය: කරච්චි ජාතික ක්‍රීඩාංගණය, කරච්චි 

කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක ජාවේඩ් මියැන්ඩෑඩ් මුලින්ම පන්දුවට පහර දීමේ වාරය තමන් සතු කර ගත්හ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දිගින් දිගටම පාකිස්තානු පිතිකරුවන් ග්‍රහණයට ගත්ත ද අවසන් කඩුලු කිහිපයේ සටන්කාමී බව නිසා ලකුණු 396ක් දක්වා තම ඉනිම ඉහළ දමා ගැනීමට පාකිස්තානුවන් සමත් විය.

වසර දෙකක කාලයකට පසු කණ්ඩායමට පැමිණි හරූන් රෂීඩ් පාකිස්තානු ඉනිමට අගනා ලකුණු 153ක් එක් කර තිබූ අතර පසුපෙළ පිතිකරුවන් වූ තහීර් නකාෂ් සහ රෂීඩ් ඛාන්ගේ අර්ධ ශතකවලින් පාකිස්තානු ඉනිම ශක්තිමත් වී තිබුණි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම පිතිකරුවන්ගේ සාමූහික දායකත්වය ලැබී තිබුණි. සිදත් වෙත්තමුණි, දුලීප් මෙන්ඩිස් සහ රෝයි ඩයස් ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කරගෙන තිබූ අතර ශ්‍රී ලංකා පළමු ඉනිම කියවුණේ ලකුණු 344ක් ලෙසිනි.

පාකිස්තානුවන් සිය දෙවන ඉනිමට කඩුලු හතරක් දැවී ලකුණු 301 රැස් කර ගත් අතර මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ සලීම් මලීක් නොදැවී ශතකයක් රැස්කර ගත්තේය.

සලීම් මලීක් 
©Getty Images

ශ්‍රී ලංකා දෙවන ඉනිම පාකිස්තානු පන්දු බලඇණිය හමුවේ සම්පූර්ණයෙන්ම පරාජය වූ අතර තරගයේ අවසන් දිනයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 149කට අවසන් වන විට ටෙස්ට් තරගයෙන් ලකුණු 204ක් ජයක් ලබා ගන්නට පාකිස්තානුවන් සමත්ව සිටියහ.

නම් දැරූ බොහෝ පාකිස්තානු ක්‍රීඩකයින් ජාවේඩ් මියැන්ඩෑඩ්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් නවක ක්‍රීඩකයින් රැසකට මෙම තරගයේ දී ටෙස්ට් වරම් හිමි විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ තරගයේ දී රවී රත්නායක ටෙස්ට් වරම් දිනා ගත්තේය.

සවනට කොඳුරා මරණය සිහි කළ කොදෙව් අකුණු සැරය

“මම ඉපදුණේ ක්‍රීඩාවට ඉතාම ලැදි පවුලක……………

දෙවන ටෙස්ට් තරගය: ඉක්බාල් ක්‍රීඩාංගණය, ෆයිසලාබාද්.

පන්දුවක් වැදීමෙන් දකුණු අතේ ආබාධයකට ලක්වූ බන්දුල වර්ණපුර වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ දුලීප් මෙන්ඩිස් කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීම ශ්‍රී ලංකාවට ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ පළමු ශතකය සිදත් වෙත්තමුණිගේ පිත්තෙන් වාර්තා වූ අතර රෝයි ඩයස්ට සහ රංජන් මඩුගල්ලේට ශතක අහිමි වූයේ නූලෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමට රැස් කළ ලකුණු 454ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පාකිස්තාන පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් කිසිඳු බුරුලක් ලැබුණේ නැත. පාකිස්තානු අගපෙළ පිතිකරුවන්ට පිං සිදු වෙන්නට ලකුණු 270ක් දක්වා තම ඉනිම ඇදගෙන යෑමට පාකිස්තානය සමත් විය.

සිය දෙවැනි ඉනිමට කඩුලු අටක් දැවී ලකුණු 154ක් ලබාගෙන සිය ඉනිම අත්හිටු වීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කරන විට ලකුණු 339ක ජයග්‍රාහී ඉලක්කයක් පාකිස්තානුවන්ට ලැබී තිබුණි.

තරගයේ පස්වැනි දිනයේ අග භාගයේ පරාජයෙන් බේරීමට මහත් සටනක් දීමට පාකිස්තානු පිතිකරුවන්ට සිදුවිය. තරගය විසඳුමකින් තොරව නතර කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට සිය මංගල ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමට ඉතිරිව තිබුණේ කඩුළු තුනක් පමණි. 

පාකිස්තානු ඉනිමේ කඩුලු පහක් ලකුණු 59කට දවා ගත් ඩී. එස් ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමක කඩුලු පහක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට පත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ තරගයේ දී අනුර රණසිංහ ටෙස්ට් වරම් දිනාගත්තේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්කල් දුටු නවසීලන්ත ප්‍රාඥයා

1962 වසරේ සැප්තැම්බරයේ දිනක නවසීලන්ත ………

තෙවැනි ටෙස්ට් තරගය: ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්

පළමු ටෙස්ට් තරග දෙකට ක්‍රීඩා නොකළ පාකිස්තානු ප්‍රබල ක්‍රීඩකයින් මෙන්ම පෙර තරගයට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා නායකයා ද මෙම තරගයට සහභාගි විය.

කාසියේ වාසිය දිනා පාකිස්තානුවන් ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඉම්රාන් ඛාන්ගේ අධි වේගපන්දු වලින් බේරීමට රෝයි ඩයස් හැරුණු විට සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැනි විය. රෝයි ඩයස් ශතකයක් වාර්තා කර ගත් අතර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 240කට සීමා විය. ඉම්රාන් ශ්‍රී ලංකා කඩුලු අටකට වග කියන්නට සමත් විය.

පාකිස්තානු ඉනිම ජාවේඩ් මියැන්ඩෑඩ් විසින් කඩුලු හතකට ලකුණු 500ක් ලබා අත්හිටු වන විට පාකිස්තානු සුපිරි පිතිකරු සහීර් අබ්බාස් මෙන්ම මොෂීන් ඛාන් ද ශතක වාර්තා කර තිබුණි. සහීර් අබ්බාස්ගේ ලකුණු 134 වාර්තා වූයේ පන්දු 148කින් වූ අතර මොෂීන් ඛාන් කුළුඳුලේ රැස් කළ ශතකය එය විය.

ඉම්රාන් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව විනාශ කර දමයි.
©Getty Images

ශ්‍රී ලංකා දෙවන ඉනිම ද සම්පූර්ණයෙන්ම ඉම්රාන්ගේ ග්‍රහණයට ලක්වූ අතර ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 158කට සීමා වන විට ඉම්රාන් කඩුලු හයක් දවාගෙන තරගය පුරාවටම කඩුලු 14ක් දවා ගන්නට සමත් විය.

රොජර් විජේසූරිය සහ රොහාන් ජයසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් අතර ඉනිමක සහ ලකුණු 102ක දරුණු පරාජයක් ශ්‍රී ලංකාවට අත්විය.

දෙරට අතර පැවති එක්දින තරගාවලියත් 2-1 ලෙස පාකිස්තානය ජය ගත් අතර ලාහෝරයේ පැවති දෙවන එක්දින තරගය ලකුණු ලබා ගැනීමේ වේගය මත ජයගන්නට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණි. එම තරගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රෝයි ඩයස් පන්දු 59කින් ලකුණු 81ක් රැස් කර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරය අතරතුර ලද බොහෝමයක් පරාජයන්ට හේතුව අත්දැකීම් මදකම බවත් හැකියාව අතින් උපරිම තලයේ සිටින බවත් මධ්‍යස්ථ විචාරකයයින්ගේ මතය විය.

1982 අප්‍රේල් මස දෙවැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සියරට පැමිණියේ අත්දැකීම් සමුදායක් කර පින්නාගෙනය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<