කැරිබියන් මිතුරන් ශ්‍රී ලංකා ක්‍රිකට් බේරාගත් හැටි

770

වෙස්වලාගත් ආශිර්වාදයන් සෑම කලකම ශ්‍රී ලංකා ක්‍රිකට් පසුපස හඹා එන බව ඔබට මතක ඇති. 1996 ලෝක කුසලාන පළමු වටයේ දී ශ්‍රී ලංකාව හමුවේ සිටි “ප්‍රබල” ඕස්ට්‍රේලියානු කණ්ඩායම ත්‍රස්තවාදයට බියෙන් මෙරටට නොපැමිණ පරාජය භාරගත් ආකාරය ඔබට මතකද? ’96 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය භාරගෙන, තරග නොකළ එකම කණ්ඩායම ඕස්ට්‍රේලියාව පමණක් නොවේ. ඔව්, ඉන් වසර 20කට පසුවත් අපගේ ගැලවුම්කරුවා වන්නේ ඔවුනුයි.

ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළම කණ්ඩායම් 8ට පමණක් ලැබෙන ගෞරවයක් සේ හැඳින්වෙන, “ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ” අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහුණේ පසුගිය ඉන්දියා – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරග දෙකම පරාජය වීමත් සමඟිනි. ඒ ලැජ්ජාව නිසාම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ක්‍රිකට් ගැන කතාබහ කිරීම පවා ප්‍රතික්ෂේප කළා.

නිතරගයෙන් ලෝක කුසලාන පළමු වටය වෙත යෑමේ අවස්ථාව අහිමි වීමෙන් පසු ඇෆ්ගනිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕලන්දය වැනි සුහුඹුල් ක්‍රිකට් රාජයන් සමඟ “හැප්පෙන්නට” තරම් පහත් මට්ටමක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට පිහිටක් විය හැකි තැනක සිටියේ එකම එක මිතුරෙක් පමණයි.   

සුදුසුකම් ලැබීමේ වටයෙන් හොඳම කණ්ඩායම් දෙක පමණක් ලෝක කුසලානය වෙත ඉදිරිපත් කෙරෙන නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් යම් සලිත වීමකට ලක්වී සිටි බව රහසක් නොවේ. අයර්ලන්තය, ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායම් පරාජය කිරීම තවදුරටත් ශ්‍රී ලංකාවට “ගෙදර වගේ” නොවීම ඊට හේතුවයි.   

ශ්‍රී ලංකාවෙන් ගිලිහුණු නිතරග ලෝක කුසලාන අවස්ථාව යළි ශ්‍රී ලංකා ක්‍රිකට් දෑල මත තැබීමේ හැකියාව සහිත වූ එකම මිතුරා වූයේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමයි. 1996 මෙන්ම ඔවුන්ට අප වෙනුවෙන් කළ හැකිව තිබුණේ සියතින් ගෙල සිඳ ගැනීමයි. ශ්‍රී ලංකාවේ ගෞරවනීය අවස්ථාව සම්පූර්ණයෙන් මකා දමා ලෝක කුසලාන තරගාවලිය තරණය කිරීමට නම් 2017දී කොදෙව්වන් කළ යුතුව තිබුණේ 4-0ක් ලෙස හෝ 5-0ක් ලෙස එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමයි.

තත්වය එසේ තිබිය දී කොදෙව් – එංගලන්ත එක්දින තරගාවලිය ඊයේ (19) ඇරඹුණා. එහි පළමු තරගයෙන්ම එංගලන්තය හමුවේ කොදෙව්වන් කඩුලු 7කින් පරාජය වීමත් සමඟින් 4-0ක් හෝ 5-0ක් වශයෙන් තරගාවලිය ජය ගැනීමේ අවකාශය කොදෙව්වන් අතින් ගිලිහී ගියා. කියාවත් කර ගත නොහැකිව තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවට උදා වුනේ ඒ අයුරින්.     

සැප්තැම්බර් 30 වැනිදා වන විට ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබන්නන් තෝරා අවසන් කෙරෙනවා. ඉන්දියාව හමුවේ අන්ත පරාජයක් ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේත්, එංගලන්ත සංචාරය අබිමුව බටහිර ඉන්දීය කොදෙව්වන් එහි 9 වැනි ස්ථානයේත් පසුවුනා. දැන් පවතින තත්වය අනුව ලකුණු 86ක් ලබා සිටින ශ්‍රී ලංකාව පසුකර යාමට, ලකුණු 76ක් ලබා සිටින කොදෙව් කණ්ඩායමට සැප්තැම්බර් 30 වැනිදායින් මෙහා නම් හැකියාවක් නැහැ.

රටක් ජාත්‍යන්තර තරගයක් සඳහා තවත් රටකට සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම ක්‍රීඩා ලොවේ දී හැඳින්වෙන්නේ සත්කාරක රටට කෙරෙන අගෞරවයක් ලෙසයි. එහෙත් කොදෙව්වන් 1996 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවට ගොඩබැසීම ප්‍රතික්ෂේප කිරීම දැන් අපට සම්පූර්ණයෙන්ම අමතක කළ හැකියි. එංගලන්තයට එරෙහි පළමු එක්දින තරගය පරාජය වීමත් සමඟින් ඔවුන් අප අත තැබුවේ ලැජ්ජාවෙන් සහ සැකයෙන් තොර විය හැකි පහසුම අවස්ථාවයි.

දැන් අපි රත්වෙන දියසැලියේ කකුළුවන් නොවෙමු. ඉබේ දෑත මත පතිත වන “පිනා චාන්ස්” බලාපොරොත්තු වීම ජාත්‍යන්තර ක්‍රීඩා කණ්ඩායමකට කළ හැකි අනුවණම ක්‍රියාවක් බව ක්‍රීඩාලෝලී ඔබට මා පැහැදිලි කළ යුතු නැහැ. එහෙත් දැන්, නොමිලේ ලැබුණු අශ්වයාගේ දත් ගණන් නොකර, 2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානයට සූදානම් වීම අප කළ යුතුයි.

අවසානයේ සැනසුම් සුසුමක්! 1996 පෙබරවාරි 26 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට මෙරටට නොපැමිණි ප්‍රබල කොදෙව්වන් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන ගියා සේම, ඉන් වසර 20කින් පසු 2017 සැප්තැම්බර් 19 වැනිදාත් ඔවුන් අපට සහයක් වුනේ වෙස්වලාගෙනයි. බටහිර ඉන්දීය කොදෙව්වනි, ඔබට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රජාවේ ස්තුතිය!  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<