හතරලියද්දෙන්ම යකඩ තුරුළු කරගත් හැඩකාරයා – ඉන්දික දිසානායක

570

පොඩි පොදකුත් ආවට අද නම් කොහොම හරි වැඩේ කරගන්නවා’මයි කියලා හිතාගෙන මං 138න් බැස්සේ ක්‍රීඩා අමාත්‍යාංශය ළඟ බස් නැවතුම්පොළින්. මීට කලින් මුහුණු පොතේ දැකලා තිබුනට, පත්තර වල කියවලා තිබුනට මං කතා කරලා නම් තිබුනේ නෑ. ගල් අල්ලපු පාර දිගේ ඔලිම්පික් නිවහනත් පහු කරගෙන මං කෙලින්ම ගියේ ටොරින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණයට.

යලි නොඑන්නට පැමිණි මියුනික් ගමන

ලෝක සාමය සහ ජාතීන් අතර එකමුතුකම වර්ධනය කිරීම සඳහා….

බර උසුලන යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුළුවන දොරටුව ඉදිරියේ හිටියත් මගේ බලාපොරොත්තුව නම් මම තාම දැක්කේ නෑ .

“මල්ලි ඇවිත් මට කෝල් එකක් දෙන්නකෝ.” කියලා මට පළවෙනි දුරකථන ඇමතුම ලබා ගත් දවසේ කිව්වා මතක් වුන ගමන් මම දුරකතනය අතට අරන් ඔහුට ඇමතුමක් ලබා ගත්තා.

ආ.. මල්ලි ඔයා ආවද? ඉන්න මම එළියට එන්නම්.” ඒ වචන වලින් ඔහුව දකින්නටත් කලින්ම මට හිතුනා හිත නම් හොඳයි කියලා. ජාත්‍යන්තරය දිනපු ක්‍රීඩකයෙකු ලෙස ඔහු තුළ තිබුන නිහතමානිකමට මම ආස වුනා. ටිකකින් මට දකින්නට ලැබුනේ හැඩි දැඩි පෙනුමක් ඇති කඩවසම් තරුණයෙක්ව.

අද ලියවෙන මේ ලිපියේ කතානායකයා ඔහුයි. ඔහු නමින් ඉන්දික දිසානායක. ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමේ වර්තමාන නියමුවා වන ඉන්දික, අතළඟ එන සැමෝවා සංචාරයට පෙර පුහුණුවීම් වල නියැලීමට ඇති වටිනා කාලයෙන් සුළු මොහොතක් ThePapare.com වෙනුවෙන් වෙන් කිරීමට අමතක කළේ නෑ.

වැඩි අටුවා ටීකා නැතුව ඔහුත් සමඟ අසල තිබුනු බැම්මෙන් වාඩිවුනු මම කතාවට වැටුනේ ඔහුගේ ක්‍රීඩා දිවියේ වතගොත දැනගැනීමට වගේම මේ වගේ දේහයකට හිමිකම් කීවේ කොහොමද කියලා දැන ගැනීමට තිබුනු දැඩි ආශාවෙන්.
ඔබ බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමුවන්නේ පාසල් කාලයේදීමද?

පොඩි කාලේ ඉඳලම ඇඟ හදාගන්න පොඩි පිස්සුවක් තිබුනා. මගේ මුල්ම පාසල මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලය. ඒකේ බර ඉසිලීමේ ක්‍රීඩාව තිබුනා. පසුව මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ඇතුළු වෙනවා. අඹවෙල ගුරුතුමාගෙන් තමයි මං බර ඉසිලීම ඉගෙන ගන්නේ. මම උසස් පෙළ විභාගය අවසන් වනතුරුම අතුල විජේවික්‍රම මහතා යටතේ බර ඉසිලීමේ ක්‍රීඩාව කළා.

මම උසස් පෙළ විභාගයත් සමත් වුනා. මට විශ්වවිද්‍යාල වරම් ලැබුනත් බර ඉසිලීමට තිබෙන කෑදරකම නිසා මං කැම්පස් ගියේ නෑ. මං නාවික හමුදාවේ ක්‍රීඩා සමාජයට එකතු වුනා. මට ලොකු ආසාවක් තිබුනා චින්තන අයියත් එක්ක සෙල්ලම් කරන්න. ඒ නිසා මම කුරුණෑගල ක්‍රීඩා මධ්‍යස්ථානයකට එකතු වුනා. මම එහේ අවුරුදු 5ක් සෙල්ලම් කළා.

අහම්බෙන් මුණගැසුණු මලල ක්‍රීඩාවෙන් ලෝකයට ගිය සුනිල් ගුණවර්ධන

පුංචි කාලේ නොහික්මුණ, දඟකාරයන් කොපමණ නම් ඇත්ද? ඔවුන්ගේ…..

ඔබට කොළඹ එන්න මග පෑදෙන්නේ කොහොමද?

මගේ තිබුන දක්ෂතා එක්ක තමයි මට කොළඹට එන්න අවස්ථාව උදාවෙන්නේ. ඒ ජාතික පුහුණුකරු ආර්. එම්. වික්‍රමසිංහ මහතා සමඟ පුහුණුවෙන්න. පී. කේ. දයාන් සර් මට ගොඩක් උදව් කළා. හැමෝගෙම උදව්වෙන් තමා මට ජාත්‍යන්තරය ජය ගන්න හැකිවුනේ.

මේ යකඩ එක්ක ඉන්න එක සෑහෙන ලොකු කට්ටක්. ඒ ගමනේදී මුදල් හරස් වුන අවස්ථා එහෙම තිබුනද?

ඔව්. ඇත්තට ඒ ගැන කියන්න ඕනි. මගේ ගම හතරලියද්ද. මම එහෙ සෙල්ලම් කරද්දී මට දාන්න සපත්තු දෙකක් වත් තිබුනේ නෑ. මට මුලින්ම සපත්තු දෙකක් අරන් දුන්නේ මහේෂ් දිසානායක අයියා.එයා මට රුපියල් 40000ක් වටින අඩිඩාස් සපත්තු දෙකක් අරන් දුන්නා. එයා මට තවමත් උදව් කරනවා. ඒ වගේම අපි කන කෑම බීමත් හරියට ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒවටත් ලොකු වියදමක් යනවා. අපි ගන්න සප්ලිමන්ට් වලට ලොකු වියදමක් දරන්න ඕනි. අපේ ශරීරය හරි ආකාරව පවත්වාගෙන යන්න ගොඩක් වියදමක් යනවා. ඒවගේ මුදල් හරස් වුන අවස්ථා ගොඩක් තිබුනා.

ඔබ අධ්‍යාපනයටත් දක්ෂයෙක්. එහෙම නේද?

මම අධ්‍යාපනයට ගොඩක් දක්ෂයි. මම උසස් අධ්‍යාපනය ඉහළින්ම සමත් වුනා. මට කැම්පස් යන්න අවස්ථාව හිමිවුනා. පසුවත් මට විශ්වවිද්‍යාල වරම් හිමිවුනා. මගේ උසස් පෙළ Z- Score එකයි, මම ජාතික මට්ටමේ ලබා ගත්ත දක්ෂතාත් එක්ක මට සබරගමුව විශ්වවිද්‍යාලට යාමට අවස්ථාව උදාවෙනවා. ඒ ක්‍රීඩා කළමනාකරණය උපාධිය හැදෑරීම සඳහා. නමුත් මම බර ඉසිලීමේ ක්‍රීඩාවට තිබුනු කැමැත්ත නිසා ඒ ඔක්කොම දේවල් අත හැරලා නාවික හමුදා ක්‍රීඩා සමාජයට එක්වෙනවා. ආහාර, කෑම බීම වලින් කට පරිස්සම් කරගන්න වෙන අවස්ථා එහෙම තියනවා නේද?

ඇත්තටම ගොඩක් කට පරිස්සම් කර ගන්න ඕන. නැත්නම් අපිට මේ ශරීරය නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්න අමාරුයි. ඒක නිසා අපි හැමවෙලේම අපිට නියම කරපු ආහාර රටාවන් තමයි අපි ගන්න හදන්නේ. පැණිරස කෑම ගොඩක් අඩුවෙන් කන්නේ. එළවලු තම්බලා, සුප්, බිත්තර වගේ කෑම තමයි කන්නේ. ෆැට් එක වැඩි වෙන ආහාර ගොඩක් අඩු කරනවා.  

නාවික හමුදාවෙන් ඔබට ලැබෙන සහාය මොන වගේද?

දැනට මම අවුරුදු 10ක් පමණ කාලයක් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනවා. මම නාවික හමුදාවට බැඳුනේ ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කරන්න පමණයි. මම දැනට පොදුරාජ්‍ය මණ්ඩලීය තරග වලින් පදක්කම් 4ක් නාවික හමුදාවට ලබා දීලා තිබෙනවා. මට මෙතනට එන්න නාවික හමුදාවෙන් ගොඩක් උදව් කළා.

මෙතෙක් ආපු ගමනේ අමතක නොවන සිදුවීම් එහෙම තිබුනද?

2014 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන්න කලින් මම කිලෝ ග්‍රෑම් 280ක බරක් ඔසවනවා. රන් පදක්කම දිනපු කෙනා ඔසවලා තිබුනේ කිලෝ ග්‍රෑම් 276ක බරක්. මට ලොකු විශ්වාසයක් තිබුනා එම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්න. නමුත් අවසානාවකට මට දෙවන හා තෙවන අවස්ථා දෙකම මග හැරෙනවා. ඉන්පසු මම මගේ උත්සාහය හා පුහුණුවීම් මත 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී හා 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 69 බර පන්තියෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

ඉතියෝපියානු ජාතික වීරයන්ගේ ලැයිස්තුවට එකතු වූ “අබේබේ බිකිලා”

පළමු වරට පාවහන් නොමැතිව (barefoot) ඔලිම්පික් මැරතන් තරගයට……

ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ඉසව්වට ඔබෙන් පසුව හොඳ දෙවන පෙළක් ඉන්නවා ද?

බර ඉසිලීමේ සංගමයට හොඳ සැලැස්මක් තිබෙනවා. දැන් හොඳ කනිෂ්ට ක්‍රීඩකයෝ පිරිසක් අපිට ඉන්නවා. අපි මෙතනට එද්දිත් අපිට චින්තන අයියා වගේ ජාත්‍යන්තරය දිනපු ක්‍රීඩකයෝ හිටියා. දැන් ඉන්න මල්ලිලත් අපිත් එක්ක පුහුණුවීම් කරනවා. ඇත්තටම අනාගතයේ අපට ආසියාව වගේම ජාත්‍යන්තරය දිනන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නවා.

2020 ඔලිම්පික් උළෙලට ඔබේ සුදානම මොන වගේද

ඔලිම්පික් එකට කලින් අපිට තේරීම් තරග තිබෙනවා. එළඹෙන සැමෝවා සංචාරයත් තේරීම් තරගයක් ලෙස සැලකෙනවා. මීට පෙරත් තේරීම් තරගයක් පැවැත්වුනා. ඔලිම්පික් යන්න කලින් තිබෙන තරග වලට හොඳින් ක්‍රීඩා කරලා ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම තමයි මගේ බලාපොරොත්තුව. එළඹෙන සැමෝවා සංචාරයේදී හොඳින් දක්ෂතා අතරට ඒමට හැකිවේවා’යි කියා ThePapare.com අපේ සුබ පැතුමද ඔහුට ලබා දෙමින් මම ඔහුත් සමඟ කළ කතාබහ අවසන් කළ විට නිහතමානී සිනහවක්ද සමඟින් ටොරින්ටන් ක්‍රීඩාගාරයට පුහුණුවීම් සඳහා නැවතත් ඔහු එක්වූයේ “සැබෑ ක්‍රීඩකයෙකු” ලෙසයි. 


>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<