සංචිතයට ඇමති අනුමැතිය; චන්දිමාල්, තිසර ඉවතට

2124

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා විසින් ලබන 30 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින ජාත්‍යන්තර තරග දෙක සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (27) නිල වශයෙන් නිකුත් කරන ලදි.

අසේල ගුණරත්න ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට?

බංග්ලාදේශයේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසේල ගුණරත්න…

පළමු එක්දින ජාත්‍යන්තර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා සංචිතය අද (27) ගාල්ල බලා පිටත්ව යන ලදි.

“අපි සංචිතය තෝරා ගැනීමේ දී කාලගුණික තත්ත්වය හා තණතීරුවේ ස්වභාවය සලකා බැලුවා. මෙම සංචිතයට අපි පිතිකරුවන් 6 දෙනෙක් හා දක්ෂතාවය සහිත තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනකු නම් කළා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වන දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, චාමර කපුගෙදර යන ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත්කර ඇත. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එදිරිව තරග වැදුණු ධනංජය ද සිල්වා හට ද මෙවර සංචිතයේ ස්ථානය අහිමි වී ඇත. එමෙන්ම කලව ප්‍රදේශයේ ආබාධවලට ලක්ව සිටින කුසල් පෙරේරා හා සීකුගේ ප්‍රසන්න වෙනුවට වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ආදේශ කර ඇත.

“මම හුඟක් සතුටට පත්වෙනවා මා හට ලබා දුන් සංචිතය පිළිබඳව, මෙය හුඟක් සමබර සංචිතයක්. සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගාවලිය ජයග්‍රහණය කිරීමට මෙම ක්‍රීඩකයින්ට හැකිවෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.

වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර ආබාධයකින් අනතුරුව සුවය ලබා මාස 18කට පමණ පසු නැවතත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට අවතීර්ණ වන අතර, ඔහු අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් (ටෙස්ට් තරගයක්) ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ය.

දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ද වසර 5කට පමණ පසුව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන අතර ඔහු 2012 වර්ෂයේ දී පැවැත්වූ ලෝක ශූරතා 20-20 ක්‍රිකට් තරගාවලියේ තරග 5ක් තුල කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි. එමෙන්ම පළමු පෙළ ක්‍රිකට් තරග 39කදී කඩුලු 36ක් දවා ගැනීමට ද සමත් වී ඇත.

චතුරංග ද සිල්වාගේ බාල සොහොයුරා වන 19 හැවිරිදි වනිඳු හසරංග ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ප්‍රථම වරට කැඳවා ඇත. ඔහු පා දඟ පන්දු යවන, තුන් ඉරියව් අංශයේම කැපී පෙනෙන ක්‍රීඩකයෙකි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මොහු පසුගිය වර්ෂයේ දී  ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් බංග්ලාදේශයේ දී පැවැත්වූ ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය සඳහා ද තම දායකත්වය සපයා ඇත. මේ වන විට ඔහු ශ්‍රී ලංකා 23න් පහළ සංවර්ධිත කණ්ඩායම ද නියෝජනය කර ඇත.

හසරංග දැනට කොළඹ ක්‍රිකට් සමාජය නියෝජනය කරන අතර, පළමු පෙළ තරග 12කදී ලකුණු 775ක් රැස්කරගෙන ඇත්තේ 45.58ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඒ අතරට එක් ශතකයක් හා අර්ධ ශතක 5ක් අන්තර්ගතව ඇත. එසේම ඔහු පන්දු යැවීමේ දී කඩුලු 16ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ, එක් තරගයක දී කඩුලු 5ක් දවාලූ අවස්ථාවක් ද සනිටුහන් කරගෙනයි.

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු මධුෂංක නිමා වූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත. යම්හෙයකින් විනය පරීක්ෂණය පැවැත්වෙන ලසිත් මාලිංග තරග තහනමකට ලක් වුවහොත් ඔහු වෙනුවට සුරංග ලක්මාල් සංචිතයට ආදේශ කරනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් , නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලහිරු මධුෂංක, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් , නුවන් ප්‍රදීප්, දුශ්මන්ත චමීර, ලසිත් මාලිංග (විනය පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට නියමිතව ඇත).

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට