18 වසරක ශූරයා ක්‍රීඩා පිටියට සමුදෙයි

119

මලල ක්‍රීඩාවට ඇලුම් කරන කාහටත් අමතක නොවන, ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් වරම් දිනූ අතලොස්ස අතරට එකතු වූ විශිෂ්ට උස පැනීමේ ක්‍රීඩකයෙකු වන මංජුල කුමාර ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව අද (30) නිවේදනය කළේය.

SLCයේ මෝටර් රථ දෙක උෂාන් සහ ලක්ෂිකා විසින් රැගෙන යයි

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය…

වසර 25කට ආසන්න කාලයක් උස පැනීම සිය ඉසව්ව කර ගත් ඔහු විශ්‍රාම යන විට 35 වැනි වියේ පසුවිය. වසර 8ක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබූ ඔහු, වසර ගණනාවක් පුරාවට එම තරගාවලියේ උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වී ඇත. තවද වර්තමාන උස පැනීමේ ජාතික වාර්තාවට ද හිමිකම් කියන්නට ඔහු සමත් වී ඇති අතර මේ වන තෙක් ඔහුව අබිබවා යන්නට කිසිවෙකු සමත් වී නොමැත.

මාතර අතුවල, මොරවක ප්‍රදේශයෙන් ලක්මවට දායාද වූ මංජුල සිව්දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා ය. ඔහු කොස්නිල්ගොඩ කනිෂ්ඨ විදුහලෙන් මලල ක්‍රීඩාවට අත්පොත් තබන්නේ වොලිබෝල් ක්‍රීඩකයෙකු ලෙසයි. ඉන්පසු දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලට ඇතුළත් වන මංජුලගේ උස සහ වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා හඳුනා ගත් පුහුණුකරුවන් ඔහු උස පැනීම සඳහා යොමු කරන්නේ දෛවයේ හාස්කමක් මෙනි.

ඒ අනුව, ප්‍රථම වරට 1994 වසරේ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ඔහු උස පැනීමෙන් දස්කම් දැක්වීම ආරම්භ කරන්නේ මීටර් 1.27 උසක් වාර්තා කරමින් රිදි පදක්කම ජයග්‍රහණය කරමිනි. එතැන් සිට උස පැනීමෙන් ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසකට හිමිකම් කියන්නට සමත් වූ ඔහු 2004 වසරේ ග්‍රීසියේ පැවති ඇතෑන්ස් ඔලිම්පික් සඳහා සහභාගී වන්නට ද වරම් දිනා ගන්නා ලදි.

ජාතික මහා ක්‍රීඩා උළෙල මඟහැරි ක්‍රීඩකයින්ට වැඩ වරදී

මේ වන විට පැවැත්වෙන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා නාම යෝජනා ලබා දී ඒ සඳහා සහභාගී නොවූ ක්‍රීඩක…

සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනීම නිවේදනය සඳහා මාධ්‍ය හමුවක් අද (30) ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ දී පැවති අතර එහි දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ,

“ඇත්තටම අමාරු තීරණයක්, මට ඕන වුනේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ පදක්කමකින් මගේ සමුගැනීම සටහන් කරන්න. නමුත් අවාසනාවකට එහෙම කරන්න බැරි වුනා. මේක කෙටි කාලයක් තුල ගත්ත තීරණයක්, ඇත්තටම ඊයේ (29) තමයි මම තීරණය කළේ මම විශ්‍රාම යනවා කියලා”

“මගේ ක්‍රීඩා දිවියේ ආරම්භය ඉතාමත් කටුක එකක්, මම 1994 සමස්ත ලංකා ගියේ ඉස්කෝලේ අඳින නිල් කලිසමයි, සුදු බැනියම ඇඳලා. සපත්තුවත් දාලා නෙමෙයි. තරගාවලිය තිබ්බේ සුගතදාසයේ, ගෙදරින් ඒකට මාව එවන්න වත්කමක් තිබුණේ නැහැ. එවකට කොස්නිල්ගොඩ පාසලේ විදුහල්පතිනිය තමයි මාව එක්කරගෙන ආවේ.”

ක්‍රීඩා පිටියේ සුදුසුකම්වලට අමතරව ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධිධරයෙකු වන මංජුල ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් හිදි ක්‍රීඩා විද්‍යාව පිළිබඳව වැඩිදුරටත් හදාරා ඇත. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නැවතත් ඔහු ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට සූදානමින් පසුවන්නේ සිය වැඩි දුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බව ඔහු පැවසීය.

“මම නැවතත් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙන්න නියමිතයි, මගේ ක්‍රීඩා දිවිය සම්පූර්ණයෙන් මෙතැනින් අවසන් කරන්න අවශ්‍යතාවක් මට නැහැ. මම ඉදිරියේ දී පුහුණුකරුවෙක් ලෙස ශ්‍රී ලංකාවට සේවය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේමයි ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් හදන එක මගේ බලාපොරොත්තුවක්.”

මලල ක්‍රීඩා ප්‍රවීණයින්ගෙන් තරුණ පරපුරට වටිනා ආදර්ශයක්

ශ්‍රී ලංකාවේ වන සම්පත සුරැකීම වෙනුවෙන් සංවිධානය කරන දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් වන…

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා නිලවරණය සඳහා සහභාගී වන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු පැවසුවේ, ඔහුට මලල ක්‍රීඩා පරිපාලනය සඳහා එකතු වීමට මේ වන විට අවශ්‍යතාවයක් නොමැති බවත්, කෙසේ නමුත් මලල ක්‍රීඩාව පිළිබඳ වැඩසටහනක් තමන් විසින් මලල ක්‍රීඩා සම්මේලනයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා සිටියේය.

ක්‍රීඩා දිවියේ ඔහුට ගුරුහරුකම් ලබා දුන්, ආශීර්වාද කළ සහ සෑම ආකාරයකින් උදව් කළ සියලු දෙනාට ස්තුතිවන්ත වන්නට මාධ්‍ය හමුව අවසානයේ දී ඔහු අමතක කළේ නැහැ.

“මම මගේ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි මගේ පුහුණුකරුවන් සියලු දෙනාට කීර්ති පෙරේරා, ලුවිස් මිරෙන්ඩා, නාගලිංගම් එදිරිසිංහ, ජයවීර ගුරුතුමිය ඇතුළු සෑම ආකාරයකින්ම මට ගුරුහරුකම් ලබා දුන් පුහුණුකරුවන්, ඒ වගේමයි මගේ ආදරණීය බිරිඳ, මට ඇයව හමුවුනේ මගේ ක්‍රීඩා දිවියේ අවසන් කාලයේ දී, ඒ ගැන නම් කනගාටුයි. මට සෑම ආකාරයකින්ම උදව් කළ සියලු දෙනාටම මගේ හදපිරි ස්තුතියි මේ අවස්ථාවේ පිරිනමනවා.”

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට මා හැඟී සේවයක් විශිෂ්ට ක්‍රීඩකයෙකු වන මංජුලගේ නික්ම යෑම මලල ක්‍රීඩාවට ආදරය කර සියලු දෙනාට සංවේදී කරුණක්. ThePapare.com අප ඔහුගේ සියලුම කටයුතු සාර්ථක වන්නට සුබ පැතුම් එක් කර සිටින්නෙමු. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<