බංගලාදේශ පොඩ්ඩන් සමඟ වැඩ ඇරඹූ ශ්‍රී ලංකාවේ නවීඩ් නවාස්

958
වමේ සිට දකුණට (නවීඩ් නවාස්, උපුල් චන්දන, ප්‍රභාත් නිස්සංක)

බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ ප්‍රධාන පුහුණුකාරකරු ලෙස වැඩභාරගත් ශ්‍රී ලාංකීය ජාතිකයෙකු වන මොහොමඩ් නවීඩ් නවාස් පසුගිය ජූලි 30 වැනි දා සිය යොවුන් කණ්ඩායම සමඟ පළමු පුහුණු සැසිය සඳහා සහභාගී විය.

ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 3කට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති නවාස්ගේ අත්දැකීම් තුළින් සිය කණ්ඩායමට 2020 දී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලානය සඳහා සාර්ථක වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව බංගලාදේශ ක්‍රිකට් සංගමයේ උසස් නිලධාරියෙකු පැවසීය.

දකුණු අප්‍රිකානුවන්ගෙන් ලත් පරාජයන් වැලේ අල ගිය මුල ගිය තැන්

ඒ 2014 වසරේ ඇසළ මාසයයි. මේ වසරේ ද ඇසළ මාසය යාන්තම් ගෙවී ගියා පමණයි. කාලය අවුරුදු 4ක්. එදාත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයයි.

සුරතල් පුතණුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකු වන නවාස්, සරල ජීවිතයකට ප්‍රිය කරන අපූරු චරිතයකි. කුඩා අවධියේ නිහඬ චරිතයක් වූ නවාස් භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසිරවීමට හැකි උපාධිධාරී ගුරුවරයෙකි.

1973 වර්ෂයේ සැප්තැම්බර් 20 දින කොළඹ දී උපත ලැබූ නවාස්, සහෝදරයින් දෙදෙනෙකු සහ එක් සහෝදරියෙකුට මැදිව උපත ලබා ඇත. කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට මහත් සේ ඇලුම් කළ ද, නවාස් ක්‍රිකට් පවුලකින් පැවත එන්නෙකු නොවේ. නවාස්ගේ හැකියාවන් පිළිබඳව මනා අවබෝධයකින් සිටි පුද්ගලයෙකු නවාස්ගේ සාර්ථකත්වයේ අඩිතාලම ලෙස ඔහු පවසයි. ඔහු නමින් සුල්ෆිකාර් මරික්කාර් ය.

“කුඩා කළ සිට මගේ දෙමාපියන් සහ පවුලේ සියලු දෙනාගෙන්ම මට මනා සහයෝගයක් තිබුණා. එසේම මා නිතරම දිරිමත් කළ තවත් සුවිශේෂී පුද්ගලයෙකු සිටියා. ඔහු මාගේ මාමා කෙනෙකු වන සුල්ෆිකාර් මරික්කාර්. මා මෙතෙක් ලැබූ සාර්ථකත්වය තුළ මාගේ පාසලට, පුහුණුකරුවන්ට වගේම, විශේෂ ගෞරවයක් ඔහුට හිමිව තිබෙනවා.” නවාස් පැවසීය.

  • “නානා”ගේ පාසල් ක්‍රීඩා දිවිය

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ නවාස් සිය පාසල් සමයේ 13න් පහළ කාණ්ඩයේ සිට සියලු වයස් කාණ්ඩයන් නියෝජනය කරමින් නායකත්වය හොඹවා ඇත.

13න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව නවාස් විසින් වාර්තා කළ ලකුණු 174 එකල 13න් පහළ ක්‍රීඩකයෙකු විසින් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක් විය.

ලයනල් මෙන්ඩිස් සහ ලොකුතොට හේවගේ සුනිල් මහතා, නවාස් තුළ ඇති හැකියාවන් ඔප දමා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලැබිය හැකි උසස්ම අභිමානයෙන් අභිෂේක ලැබීමට මුල් අඩිතාලම දැමූ පුහුණුකරුවන් ලෙස හැදින්විය හැක.

සිය හැකියාවන් වර්ධනයවත්ම නවාස් පාසල තුළ ජනප්‍රිය චරිතයක් බවට පත් වූ අතර නවාස් “නානා” ලෙස ප්‍රචලිත විය. පසුකලක පාසල තුළ “නානා” යන අන්වර්ථ නාමයක් ද ඔහුට පටබැදුණි.

බංගලාදේශ 19න් පහළ පුහුණුකාරිත්වය නවීඩ් නවාස්ට

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නවීඩ් නවාස් වහාම ක්‍රියාත්මක වන පරිදි බංගලාදේශ 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමට එරට ක්‍රිකට් බලධාරින් විසින් කටයුතු කර ඇත.

1992/93 නවාස්ගේ පාසල් ක්‍රිකට් සමයේ ස්වර්ණමය යුගය ලෙස හැදින්විය හැක. එකී තරග සමය තුළ නවාස් විසින් ලකුණු 1560ක් සහ කඩුලු 68ක් බිද හෙළා ඇති අතර 1993 වසරේ දී ශ්‍රී ලංකාවේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නවාස් අභිෂේක ලැබීය. එපමණක් නොව එම වසරේ දී හොඳම පන්දු යවන්නා, හොඳම පිතිකරුවා සහ හොඳම පන්දු රකින්නා  ලෙස ද නවාස් සම්මාන ලබා ඇත.

ශ්‍රී ලංකා වයස 19 පහළ ජාතික කණ්ඩායම ද නියෝජනය කරමින් එංගලන්තය සහ මැලේසියා සංචාර සඳහා ඔහු සහභාගී වී ඇත. අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න වැනි ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් බිහි වූ ලෝක පූජිත ක්‍රීඩකයින් අමතක කොට නවාස්ගේ සාර්ථක පාසල් ක්‍රිකට් සමය පිළිබඳව කතා කිරීමට නොහැක. මන්ද, ඔවුන්ගෙන් උගත් පාඩම් සහ ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් තුළින් පාසල් ක්‍රිකට් භූමිකාව තුළ පන්නරය ලැබූ නවාස්, පාසල් සමය තුළ දී ම දීප්තිමත් අනාගතයක් ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස අරවින්ද ද සිල්වාගේ ඇගයීමට ද ලක් වී ඇත.

  • අන්තර් සමාජ සහ පළමු පෙළ ක්‍රීඩා දිවිය

පාසල් ක්‍රීඩකයෙකුව සිටිය දී ම ක්‍රීඩා සමාජයක සාමාජිකයෙකු වීමට තරම් නවාස් වාසනාවන්ත විය. ජයග්‍රාහී රැල්ලක් සමඟින් පාසල් ක්‍රිකට් දිවිය අවසන් කළ නවාස්ගේ මීළඟ අභියෝගය වූයේ ක්‍රීඩා සමාජ තුළ ස්ථාවර වීමටය. D.S. ද සිල්වා මහතාගේ ගුරුහරුකම් තුළින් නවාස්ගේ දස්කම් පෝෂණය වූ අතර Bloomfeild ක්‍රීඩා සමාජයේ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට නවාස්ට හැකි විය. කොළඹ Bloomfield ක්‍රීඩා සමාජයේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස වසර හතක් එම ක්‍රීඩා සමාජය නියෝජනය කළ වමත් පිතිකරු නවාස්, ඉන්පසුව NCC ක්‍රීඩා සමාජය වෙනුවෙන් වසර හයක් ක්‍රීඩා කරන ලදි.

1998-99 වර්ෂයේ ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මේලනය විසින් නිවේදනය කිරීමත් සමඟම බොහෝ ක්‍රීඩා සමාජ අනපේක්ෂිත සිදුවීම් රැල්ලකට හසු විය. බොහෝ ක්‍රීඩා සමාජවල එතෙක් නම් දරා සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම වෙනත් ක්‍රීඩා සමාජ වෙත පිය නැගූ අතර Bloomfeild ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයින් ලෙස නම් දරා සිටි නවාස් සහ රුවල් කල්පගේ සමඟ තවත් පළපුරුදු ක්‍රීඩකයින් දෙදෙනෙක් Bloomfeild ක්‍රීඩා සමාජයෙන් ඉවත් විය.

නවාස්ගේ දෙවන නවාතැන වූයේ කොළඹ NCC ක්‍රීඩා සමාජයයි. සිය පාසලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන අරවින්ද ද සිල්වා සහ හෂාන් තිලකරත්න NCCය තුළ සිටීම නවාස්ගේ පැමිණීමට ආසන්නතම සාධකයක් විය හැක. NCC තුළ ඉදිරිපෙළ සහ මැදපෙළ පිතිකරුවෙකු ලෙස නමක් දරා සිටි නවාස් හට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සංචිතය සඳහා කැඳවනු ලබනුයේ එම අවධියේය.

වසර 13ක් තුළ අන්තර් සමාජ සහ පළමුපෙළ තරග 228ක් ක්‍රීඩා කර ඇති නවාස් ශතක 13ක් සහ අර්ධ ශතක 57ක් සමඟින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 9328ක්.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ කැපී පෙනෙන දස්කම් පෙන්නුම් කරමින් නායකත්වය පවා හොඹවා ඇති නවාස් එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව යන රටවල සංචාරය කර ඇත .

  • ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රවේශය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් නවාස් 1998 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනා ගත් අතර 2002 දී බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නවාස්ගේ පළමු සහ එකම ටෙස්ට් තරගය විය.

1998 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිය පළමු එක්දින තරගයට සහභාගී වූ නවාස්ට එහි දී ලබා ගත හැකි වූයේ ලකුණු 05ක් පමණි.

එක්දින තරග තුළ සාර්ථක වීමට නවාස් අපොහොසත් වූ අතර වසර 2002 දී ඔහු ටෙස්ට් වරම් හිමිකර ගන්නා ලදි. බංගලාදේශය සමඟ පළමු ඉනිමේ දී ලකුණු 21ක් සහ දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 78ක් වාර්තා කරමින් ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද, එයින් පසුව ඔහුට කැඳවීමක් ලැබුණේ නැත.

“මව්බිම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම ඕනෑම ක්‍රීඩකයෙකුගේ හීනයක්. මට එම අවස්ථාව ලැබුණා. අපි ඒ තරගය ජයග්‍රහණය කළා. එම තරගය තුළ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූවත්, ඉන්පසුව මට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් ලැබුණු අවස්ථාවෙන් මගේ මව්බිම ලැබූ ටෙස්ට් ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වීම ගැන අදටත් අප්‍රමාණ ලෙස සතුටු වෙනවා.”

ජාත්‍යන්තර තරග තුළ දිගු කලක් සිටීමට නවාස් හට නොහැකි විය. ඔහු පවසන අන්දමට එකල තිබූ දැඩි තරගකාරීත්වය සහ තවත් බොහෝ කරුණු පිළිබඳව තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙන්නට ඇති හෙයින් තමාට අවස්ථාව නොලැබී ගිය බවයි.

“මට හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා එක්තරා අවස්ථාවක මම තීරණය කළා මට ලැබෙන අවස්ථා විරල බව. ඒ නිසා මම තීරණය කළා ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගෙන මා සතු අත්දැකීම් තුළින් යොවුන් ක්‍රීඩකයින් නිර්මාණය කිරීමේ වගකීම සිදු කිරීමට. ඒ පුහුණුකරුවෙකු ලෙසයි.”

  • ක්‍රීඩා දිවියේ අවසානය සහ පුහුණුකාර දිවියේ ප්‍රවේශය

ඉතා කෙටි ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අවසන් කරමින්, 2005 වසරේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව අවසාන T20 තරගයට ක්‍රීඩා කළ නවාස්, ඉන්පසු පුහුණුකාර වෘත්තියට පා තැබීය. 2005 වසර දී NCC ක්‍රීඩා සමාජයත්, 2006/07 Moors සහ 2007/08 වසරවල දී SSC ක්‍රීඩා සමාජයේත් පුහුණුකරු ලෙස ඔහු සේවය කළේය. 2007/08 වසරේ වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් ශූරයන් වූ SSC ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වූයේ ද නවාස් ය. 2012 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් (SLPL) තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියූ UVA NEXT කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද නවාස් කටයුතු කළේය.

  • යොවුන් සහ කාන්තා කණ්ඩායමේ වගකීම් ලද නවාස්

පුහුණුකරුවෙකු ලෙස නවාස් ස්ථාවරත්වයකට පත්වත්ම ඔහුගේ හැකියාවන් සහ අත්දැකීම් පිළිබදව හොඳින් දැන සිටි එවක ක්‍රිකට් බලධාරීන් 2009 වසරේ දී 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවාස් පත් කළේය. 2010 ලෝක කුසලානය තුළ දී අවසන් පූර්ව තරගය දක්වා පැමිණීමට සමත් වීම, ආසියානු කුසලානයේ දී අවසන් පූර්ව තරගය දක්වා පැමිණීමට සමත් වීම සහ 2014 එක්සත් එමීර් රාජ්‍යයේ පැවති 19න් පහළ යොවුන් ලෝක කුසලානය තරගාවලිය තුළ දී අර්ධ අවසන් පූර්ව තරගය දක්වා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පැමිණීම නවාස්ගේ පුහුණුකාරීත්ව යටතේ සිදු විය.

2014 එක්සත් එමීර් රාජ්‍යයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ අවසානය සනිටුහන් කරමින් අර්ධ අවසාන තරගයේ දී ඇෆ්ගනිස්ථානය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබූව ද, මූලික වටයේ තරග 3ම ජයග්‍රහණය කරා මෙහෙය වීමට එවක නායක, වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණ පසුපස නවාස් ප්‍රබල සාධකයක් විය.

2009 වසරේ එංගලන්තයේ දී පැවති විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සඳහා පිතිකරණ උපදේශකවරයෙකු ලෙස නවාස් කටයුතු කර ඇත. කණ්ඩායමක් ලෙස ප්‍රමාණවත් දස්කම් පෙන්වීමට අසමත් වූවද, පිතිකරණ අංශයෙන් සාධනීය වෙනසක් පෙන්නුම් කළේය.

අනාගත ක්‍රිකට් තරු සොයා ඩුබායි දේශයට.

2015 වසර නවාස් හට පුහුණුකාර දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. අරවින්ද ද සිල්වාගේ ආරාධනාවකට අනුව අනාගත ක්‍රිකට් තරු නිර්මාණය කිරීමේ පරමාර්ථය ඇතිව අරවින්ද ද සිල්වා සහ රමීස් රාජා විසින් එක්සත් එමීර් රාජ්‍යයේ ආරම්භ කරන ලද Future Legends Cricket පුහුණු ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවාස් නවතම පරිච්ඡේදයක් ආරම්භ කෙරිණ.

2015 දෙසැම්බර් මස ඩුබායි හී දී වසර දෙකකට ආසන්න කාලයක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නවාස් ආසියානු කලාපයේ පාසල් සිසුන් සමඟ සිය අත්දැකීම් බෙදා ගනිමින් කටයුතු කළේය.

ඕස්ට්‍රේලියානුවාගේ අවධානයට ලක්වීම.

2017 වසරේ ඕස්ට්‍රේලියාවේ Casey-South Malbourn ක්‍රීඩා සමාජයේ පිතිකරණ පුහුණුකාර ධුරය සඳහා නවාස්ට ඇරයුම් ලැබුණි. Casey-South Malbourn ක්‍රීඩා සමාජයේ සභාපති Ross Hibbins මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පළමු පෙළ අත්දැකීම් සහ ඩුබායි හී Future Legends Cricket පුහුණු ආයතනයේ ප්‍රධාන පුහුණුකාර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ නවාස් පිතිකරණ පුහුණුකරු ලෙස තමන් සමඟ සම්බන්ධවන බව නිවේදනය කළේය.

“අපේ අරමුණ හොඳ පුහුණුකරුවෙකු සොයා ගැනීමයි. අත්දැකීම් රාශියක් ඔහු සතුයි. ඔහු ඩුබායි හී ප්‍රධාන පුහුණුකරුව සිටිනවා. පිතිකරුවන් පිළිබදව නවීඩ් වැඩි අවධානයක් යොමු කරාවි.” Ross Hibbins මහතා ඕස්ට්‍රේලියාවේ ස්ටාර් නිව්ස් පුවත්පත වෙත පැවසීය.

.

  • ඕස්ට්‍රේලියාවේ සිට නවාස් බංගලාදේශයට පියාසර කරයි.

මේ අතරතුර බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුගිය ජූලි 17 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිය යොවුන් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ නවීඩ් නවාස් පත් කළ බව පැවසීය.

“මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවැත්වුණා. දෙස් විදෙස් පුහුණුකරුවන් කිහිප දෙනෙකු පිළිබදව ඔවුන්ගේ අවධානය යොමු වන්නට ඇති. නමුත් අවසානයේ දී මට කැඳවීමක් ලැබුණා 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලෙසට. මේක අභියෝගයක්. නමුත් තරුණ ක්‍රීඩකයින් සමඟ වැඩ කිරීමේ දී එතරම් අපහසුවක් දැනෙන්නේ නැහැ. මගේ පළමු කෙටි කාලීන ඉලක්කය මෙම වසරේ ඔක්තෝබර් මස පැවැත්වෙන 19න් පහළ ආසියා කුසලානය සඳහා කණ්ඩායම සූදානම් කිරීමයි. දිගු කාලීන ඉලක්කය තමයි, 2020 දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලානය. ඉදිරියේ දී Grass Routine වැඩසටහනක් තුළින් විසිරී සිටින යොවුන් ක්‍රීඩකයින් හඳුනා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.” යැයි නවාස් පැවසීය.

ශ්‍රී ලාංකීය පුහුණුකරුවන් විසින් බංගලාදේශයේ ක්‍රිකට් සමඟ කළ විස්කම් යළිත් ලෝකයාට පෙන්වමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමට D.S.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නවීඩ් නවාස් හට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<