යොවුන් පිතිකරුවෝ තරගය බේරා ගනියි

535
sri lanka youth cricket

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවති පළමු යොවුන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්නට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට හැකිවිය. කේම්බ්‍රිජ් හී පැවති මේ තරගයේ සිව්වන සහ අවසන් දිනය තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ පන්දුවාර 63ක් පමණක් වුවත්, දෙවන ඉනිමේ වඩාත් සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා යෞවනයන් තරගය ජයග්‍රහණය කිරීම පිලිබඳ එංගලන්තය තබා තිබූ බලාපොරොත්තු බිඳ දැමීමට සමත්කම් දැක්වූහ.

පසුගිය ලිපි: වැස්සේ සහයත් ඇතිව යොවුන් සිංහයන් සටනේ

අවසන් දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 235ක් ලබා සිටින ලදී. තවත් පන්දුවාර 24ක් තුල ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 335කට සීමා කරන්නට එංගලන්ත පන්දු යවන්නන්ට හැකි විය.

දිනයේ පළමු පන්දුවෙන්ම ලකුණු 21ක් ලබා සිටි අශේන් බණ්ඩාර දැවී ගියත්, ජෙහාන් ඩැනියල් සහ දමිත සිල්වා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවනීය තත්ත්වයකට ගෙන ආවේ 8වන කඩුල්ලට ලකුණු 90ක විශිෂ්ට සබඳතාවක් ගොඩනගමිනි. ඩැනියල් ලකුණු 62ක් රැස් කළේ හතරේ පහර 11ක් සමගිනි. දමිත හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 33ක් ලබා ගන්නා ලදී.

අවසන් කඩුලු 3 ලකුණු 10ක් තුල බිඳවැටීමත් සමග එංගලන්ත නායකයා තීරණය කලේ ලකුණු 165ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පන්දුවට පහර දිය යුතු බවයි.

මේ අනුව ආරම්භ වූ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 26දී බිඳවැටුණි. නමුත් ඩිලාන් ජයලත් සමගින් එක්වූ නායක චරිත් අසලංක, කණ්ඩායම පරාජයෙන් ගැලවිය හැකි ආරක්ෂක ස්ථානයක් වෙත ගෙන යාමට සමත් විය. ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 112කි.

අසලංක ලකුණු 70ක් රැස් කළේ දර්ශනීය හතරේ පහර 13ක් ද  එල්ල කරමිනි. ඩිලාන් හතරේ පහර 11ක් සමග නොදැවී ලකුණු 77යි. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් දෙවන ඉනිමේ ලකුණු 17ක වාසියක්ද හිමි කරගෙන සිටියේ තවත් කඩුලු 7ක් අතැතිවයි.

ලකුණු පුවරුව

එංගලන්ත 19න් පහළ පළමු ඉනිම – 500/9 d  (ඔලී වෙස්ට්බරි – 196, ජෝජ් බාට්ලට් – 131, ඔලී පෝප් – 78, ජෙහාන් ඩැනියල් – 3/91, ලහිරු කුමාර – 2/104, සම්මු අශාන් – 1/21)

ශ්‍රී ලංකා 19න් පහළ පළමු ඉනිම – සියල්ලන් දැවී – 335 (චරිත් අසලංක – 81, ජෙහාන් ඩැනියල් – 62, සම්මු අශාන් – 51, අවිශ්ක ප්‍රනාන්දු – 45, අමර් විර්දි – 5/77, ජෝෂ් කෝලින් – 2/45)

ශ්‍රී ලංකා 19න් පහළ දෙවන ඉනිම – 182/3 (ඩිලාන් ජයලත් – 77*, චරිත් අසලංක – 70, ජෝජ් පනායි – 2/62)

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට