ඉන්දියාවට වැඩි ගෞරව ගෙනදෙමින් පුහුණු තරගය නිමාවෙයි

2736

තරග 3කින් සමන්විත ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙරාතුව දෙරට අතර පැවති දෙදින පුහුණු තරගය අද (22) සංචාරක ඉන්දීය කණ්ඩායමේ වැඩි දක්ෂතා මැද නිමාවට පත්විය. එහි දී රතු පන්දුව හමුවේ ධනුෂ්ක ගුණතිලක සහ ලහිරු තිරිමාන්න පමණක් සාර්ථක වූ අතර පන්දුවෙන් යම් තරමක හෝ සාර්ථකත්වයක් දැක්වූයේ නවක වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සහ තරිඳු කෞෂාල් පමණි.

නවක ඉන්දීය දඟයෙකුගෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්!

එළඹෙන 26 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන තරග තුනකින් සමන්විත…

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ලකුණු 187ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා සභාපතිගේ ඉනිම හඹා යමින් සිටි ඉන්දීය පිතිකරුවන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 135ක් ලබා සිටියහ. ඒ වෙද්දී නොදැවී පන්දුවට පහර දෙමින් සිටි විරාත් කෝලි අද අර්ධ ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව පිටිය හැර ගිය අතර අජින්ක්‍යා රහානේ ද හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් වාර්තා කිරීමෙන් අනතුරුව තම පිතිකරණය පිළිබඳ සෑහීමකට පත්විය. පසුගිය කාලයේ යම් සංක්‍රාන්ති කාල පරිච්ඡේදයකට මුහුණ දී සිටි රෝහිත් ශර්මා ද ලකුණු 38ක් වාර්තා කිරීමෙන් අනතුරුව අනෙක් පිතිකරුවන්ට අවස්ථාව ලබා දීම සඳහා පිටියෙන් ඉවත් විය. ඒ එක් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟිනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අද එතරම් සුවිශේෂී ක්‍රීඩා විලාශයක් ප්‍රකට නොවීමෙන් ඉන්දියානු පසුපෙළ පිතිකරුවන් පවා වාසි ලබා ගන්නා අයුරු කැපී පෙනුණි. කල් යල් බලා පන්දුව නිවැරදිව ස්ථානගත කරමින් ඔවුන් අද ලකුණු රැස්කළ ආකාරය නම් ඉඟි පළ කළේ ළඟ ළඟම එන ටෙස්ට් තරගාවලිය එතරම් පහසු නොවනු ඇති බවයි. පිතිපෙළේ පහළට ගිය ශිකර් ධවාන් අද ලකුණු 41ක් රැස් කරද්දී කඩුලු රකින පිතිකරු ව්‍රිදිමන් සහා පන්දු 40ක දී වේගවත් ලකුණු 36ක් රැස්කර ගත්තේය. මේ කිසිදු පිතිකරුවෙකු දවා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අපොහොසත් වීම අද දිනයේ සිදු වූ කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.

කෙසේ වෙතත් අවසානයේ ලකුණු 11ක් ලබා සිටි හාර්දික් පාණ්ඩ්‍යාව දවා ගැනීමට තරිඳු කෞෂාල් සමත් විය. ඒ කිත්රුවන් විතානගේ ලබාගත් උඩ පන්දුවක් සමඟිනි. ඒ අනුව අද තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වන විට සංචාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 312ක් රැස් කරගෙන තිබුණි. ඒ පන්දුවාර 68ක් තුලදීය. ශ්‍රී ලංකා පිළ ලබාගත් ලකුණු 187ට වඩා ඉන්දියානු කණ්ඩායම ඒ වන විට ලකුණු 125ක් ඉදිරියෙන් පසුවිය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සහ තරිඳු කෞෂාල් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ඊයේ දිනයේ ඉන්දියානු ක්‍රීඩකයින් අතුරින් කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කිරීමට චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් සමත් වූ අතර රවින්ද්‍ර ජඩේජා ද සිය පිට දඟ පන්දුවෙන් උපරිම ඵල නෙලා ගන්නා අයුරු කැපී පෙනුණි. ඒ අනුව ඉන්දීය දඟපන්දු සංකලනය ශ්‍රී ලංකා පිතිකරුවන්ට ටෙස්ට් තරගාවලිය අතරතුර දී ප්‍රබල අභියෝගයක් විය හැකි බව නම් සහතිකය. අනෙක් අතින් ලකුණු අතර සිටින ඉන්දීය පිතිකරුවන් මට්ටු කිරීමට තරම් විවිධ ආබාධවලට ලක්වීමෙන් බල හීන වී සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වේ දැයි සැක සහිතය.

මේ සියල්ල මැද ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 26 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත අතර එහි දී පළමුව ජය පරාජයකින් තොරව තරගය නිමාකර ගැනීමේ අරමුණ පෙරදැරිව ක්‍රීඩා කිරීම වැදගත් වනු ඇත. නිව්මෝනියාව වැළඳීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මුල් තරග දෙක අහිමි වූ නායක චන්දිමාල්ගේ අඩුව හැකි අයුරින් පිරිමැසීම සෙසු පිතිකරුවන්ගේ වගකීම බවට පත්වන අතර පන්දු යැවීමේ දී වැඩි වගකීමක් වැඩ බලන නායක රංගන හේරත්ට හිමි වනු ඇත. ඒ සිම්බාබ්වේ තරගයේ දීත් සුපිරි දක්ෂතා අතරට පිවිසි ඔහු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල දෙවැනි ස්ථානයේ සිටින පන්දු යවන්නා වන බැවිනි.

සාම්ප්‍රදායික ගාලු තණතිල්ල දිනෙන් දින ගතවෙද්දී සම්පූර්ණයෙන්ම දඟපන්දු යවන්නන්ගේ ග්‍රහණයට නතුවන නිසා ඉන්දීය දඟ පන්දු යවන්නන් සමඟ කරට කර සටනක් ලබා දීමට අපේ දඟපන්දු යවන්නන් ද දැන් සිටම සූදානම් විය යුතුය. ඉතාමත් දුෂ්කර අභියෝගයක් වුවද ශ්‍රී ලංකාවට තම මව්බිමේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම තරග 3 – 0ක් ලෙස පරාජය කළ හැකි වුවහොත් ජගත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 3 දක්වා ක්ෂණයකින් ඉහළ නැගීමට ද අවස්ථාවක් ඇත. නමුත් එවන් වූ විශිෂ්ටත්වයකට ළඟා වීමට නම් ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී මෙන් සියල්ලන්ම විස්මයට පත් කරන ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා සභාපතිගේ පිළ – සියල්ලන්ම දැවී ලකුණු 187 (පන්දුවාර 55.5): ධනුෂ්ක ගුණතිලක 74, ලහිරු තිරිමාන්න 59, සඳුන් වීරක්කොඩි 10, කුල්දීප් යාදෙව් 4/14, රවීන්ද්‍ර ජඩේජා 3/31.

ඉන්දියානු පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 312 (පන්දුවාර 68): කේ.එල්. රාහුල් 54, විරාත් කෝලි 53, ශිකර් ධවාන් 41, අජින්ක්‍යා රහානේ 40, රෝහිත් ශර්මා 38, විශ්ව ප්‍රනාන්දු 2/37, තරිඳු කෞෂාල් 2/81.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<