එක්දින කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට?

1954

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිබඳව තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබුණ ද මෙම මස 18 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය බොහෝ විට ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නටම ලබා දීමට තීරණය වී තිබේ.

නායකත්වය නොදුන්නොත් ලෝක කුසලානයට පෙර මාලිංග සමුගැනීමේ සූදානමක

එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තමාගෙන් ඉවත් කොට වෙනත් අයෙකු වෙත පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…

2015 වසරේ සිට මේ දක්වා එකම එක්දින තරගයකටවත් ක්‍රීඩා කර නොමැති වුවත් පෙරේදා (11) අවසන් වුණු අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කළ දිමුත්, ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 55ක් ලෙස රඳවා තබා ගනිමින් ලකුණු 165ක් රැස් කරමින් පිතිකරුවෙකු ලෙස දක්ෂතා අතරට පැමිණියේය. එපමණක් නොව මීට පෙර පැවති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ද ශතකයක් වාර්තා කිරීමට දිමුත් සමත් විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම පිළිබඳව උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පිළිබඳව අවධානය යොමු කර සිටිය ද, ඔවුන් තිදෙනාම ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වීම ද දිමුත්ට කණ්ඩායමට පැමිණීමට කිසිදු අවහිරයක් මතු නොවන කරුණක් වී තිබේ.

2015 වසරෙන් පසුව පැවති ලෝක කුසලාන තරගාවලියකටවත් ක්‍රීඩා කර නොමැති වුවත්, ඉකුත් වසරේ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් වීමත්, ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ තරග වැදි එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාව අන්ත පරාජයකට මුහුණ දීමත් නිසා, එක්දින තරග අංශයේ නායකත්වය ද දිමුත් කරුණාරත්නට ලබා දීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමු විය.

සුපිරි පළාත් සටනෙන් වැඩ පෙන්වූ සුපිරි සංචිතය

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය දින 8ක් පුරාවට මහනුවර දී හා දඹුල්ලේ දී පැවැත්වුණු අතර එහි දී…

කෙසේ වෙතත් ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස්ව ද ලෝක කුසලාන තරගාවලියේ නායකත්වයට පත් කිරීම කෙරෙහි තේරීම් කමිටුව අවධානය යොමු වී තිබුණ ද, වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ සිටිනා තෙක් කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට මැතිව්ස් අකමැති බව ප්‍රසිද්ධියේම පවසා සිටීම, දිමුත්ට නායකත්වය හිමිවීමට සෘජුවම බලපෑ තවත් සාධකයකි.

“මාලිංග නායකත්වයට නරක කෙනෙක් නොවෙයි. ඔහුගේ දැනුම පිළිබඳව මට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත්, ක්‍රීඩා කරද්දී ඔහුට ක්‍රීඩකයින්ගේ වගේම පුහුණුකරුගේ උදව් උවමනා වනවා. නමුත් ගොඩක් දෙනෙක් එහෙම සහයෝගයක් මාලිංගට දෙනවා පෙන්නේ නෑ. අපිට මේ වෙලාවේ අවශ්‍ය ක්‍රීඩකයන් ඔක්කොම එකට එකතු කරගන්න පුළුවන් නායකයෙක්. එහෙම නොවුණොත් අපි ලෝක කුසලානයේ දී කළින්ම විසි වෙන්න පුළුවන්” යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි තේරීම් කමිටු ප්‍රධාන අසන්ත ද මෙල් මහතා පවසයි.

ThePapare.com අනුමාන කරන ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය

එංගලන්තයේ දී සහ වේල්සයේ දී පැවැත්වීමට නියමිත එළඹෙන 2019 ‘ICC’ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට…

“චන්දිමාල්ට මේ කණ්ඩායමේ තැනක් හිමි වෙයි ද කියන එක ගැටලුවක්. නායකයෙක් කියන්නේ කණ්ඩායමේ 11 දෙනා අතර ස්ථානයක් හිමි කෙනෙක්. නමුත් චන්දිමාල්ට ස්ථානයක් හිමි වීම ගැටලුවක්” බව තේරීම් කමිටු ප්‍රධානියාගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් මේ වන විට ලෝක කුසලානය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ඉසුරු උදාන, දුෂ්මන්ත චමීර සහ ජීවන් මෙන්නඩිස් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් වෙති.

ටෙස්ට් කණ්ඩායමේ උපනායකයා ලෙසින් කටයුතු කරන නිරෝෂන් දික්වැල්ල ද පළාත් තරගාවලියේ දී ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වීම නිසා ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔහුගේ සහභාගිත්වය ද තවමත් පවතින්නේ වැඩ උඩය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<