කාන්තා ලෝක කුසලාන වරමත් ‘හබක්’

260

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙරට තරග සංචාරය ශ්‍රී ලංකාව පැති කිහිපයකින්ම වැදගත් වූ තරගාවලියක් විය.

2021 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් මෙම තරග ක්‍රියාත්මක වීම ඉන් ප්‍රධානතම වූ කරුණ වූ අතර සත්කාරකත්වය යටතේ තරග වැදීමේ දී සතු ශක්තිය මෙන්ම නවක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවල තක්සේරුවක් ලබා ගැනීමට හැකි වීම අනෙක් අතුරු සාධක බවට පත්විය. එහෙත් ඒ එකම හෝ කරුණක් වත් ඉෂ්ට කර ගැනීමට මේ අවස්ථාවේ දී මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අසමත් වූහ.

තරගයකින් තොරව එංගලන්ත ක්‍රීඩිකාවන් තරගය දිනයි

සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ වූ පළමු තරගයේ දී…

මේ පිළිබඳව ‘ThePapare.com‘ වෙබ් අඩවිය සමඟ අදහස් දැක්වූ එම කණ්ඩායමේ පුහුණුකරු හර්ෂ ද සිල්වා පවසා සිටියේ අවසන් ලෝක කුසලාන තරගාවලියෙන් පසු කණ්ඩායම තුළ වෙනස්කම් විශාල සංඛ්‍යාවක් කළ බවත්, එය මෙම අසාර්ථක භාවයට හේතු වන්නට ඇති බවයි. මෙහි දී එංගලන්තය සමඟ පැවති එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පසුබෑමක් තිබෙන බව තමන් පිළිගන්නා බව ද පැවසූ කාන්තා පුහුණුකරු, කණ්ඩායම තුළ පවතින්නේ ප්‍රතිසංවිධානය වන කාලයක් බව ද පවසා සිටියේය.

එංගලන්තය හමුවේ ලද එම තරගාවලි පරාජයත් සමඟම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගි වූ තරග 15න් 14ක්ම පරාජයට පත්ව ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලැබීම සිහිනයක් බවට පත් කර ගෙන සිටියි. ලෝක කුසලාන සටනට සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ සටනට කණ්ඩායම් 8ක් ඇතුළත්ව සිටින අතර සෑම කණ්ඩායමක්ම එක් එක් රටවල් සමඟ තරග 3ක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව එක රටකට තරග 21කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවන අතර එහි වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබා ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයට වැඩි ඉඩ කඩක් වෙන් කරගෙන සිටිති. ශ්‍රී ලංකාවට එම සටහනේ හිමිව ඇත්තේ අවසාන ස්ථානයයි.

“මම පිළිගන්නවා අපි මේ තරගාවලියේ පැරදුණු විදිය වැරදි බව. මොකද පළමු තරගයේ දී එංගලන්තය අපිට 300ක් ගැහුවා. අපි ගැහුවේ 175යි. එතන පැහැදිලිවම අපේ පන්දුවට පහර දීමේ දුර්වලතාවයක් තියෙනවා කියලා පෙනී යනවා. අනිත් තරගත් එහෙමයි. අපිට එංගලන්තයට එරෙහිව හොඳ සටනක් දෙන්න බැරි වුනා.” යැයි හර්ෂ ද සිල්වා පවසයි.

ලොව කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර අතිදක්ෂ කණ්ඩායමක් ලෙසින් සැලකෙන එංගලන්ත කණ්ඩායම සතුව ශ්‍රේණිගත කිරීමෙහි පළමු 10 දෙනා අතර ක්‍රීඩිකාවන් රැසක් පසුවන බවත්, එබැවින් ඔවුන්ගේ ශක්තිය ශ්‍රී ලංකාවට වඩා ගවු ගානක් ඉදිරියෙන් බව ද ද සිල්වා අනාවරණය කළේය. මෙම තත්ත්වය මත පිරිමි කණ්ඩායම මෙන්ම කාන්තා කණ්ඩායමට ද ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරග මාලාවකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව සිය සුදුසුකම සපුරාගත යුතු වේ.

පිතිකාරිණියන් ලෙස කණ්ඩායමට එක්ව සිටින ක්‍රීඩිකාවන් අසාර්ථකත්වයට පත්වීම කණ්ඩායමේ කඩා වැටීමට ප්‍රධානතම හේතුව බවට පත්ව තිබේ. මෙම තරගාවලියේ වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකාරිණියන් 5 දෙනාගෙන් තිදෙනෙකුම අංක 7 සිට අංක 10 දක්වා පන්දුවට පහර දෙන ක්‍රීඩිකාවන් වේ. ඒ අතරින් අංක 09 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ඕෂධී රණසිංහ එම තරගාවලිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකාරිණිය බවට පත්ව තිබීමෙන් ඉදිරි පෙළ පිතිකාරිණියන්ගේ අසාර්ථකභාවය කොතෙක් ද යන්න පැහැදිලිවම පෙනී යනු ඇත. පැවති තරග 3 දී එංගලන්ත පිතිකාරිණියන් අර්ධ ශතක 6ක් වාර්තා කරද්දී, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් වාර්තා වූ එකම අර්ධ ශතකය ද ඕෂධී විසින් වාර්තා කරන ලදි.

ඉදිරිපෙළ පිතිකාරිණියන් අතරින් දක්ෂතම පිතිකාරිණිය යැයි සැලකෙන නායිකා චමරි අතපත්තුට එක්දින තරග 3 දී රැස්කර ගැනීමට සමත්ව ඇත්තේ ලකුණු 58ක් පමණි. ඇය තරගයක රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වී ඇත්තේ ලකුණු 30කි.

සුරාජ් රන්දීව්ගෙන් විශ්මිත පන්දු යැවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Tier B ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වීමට…

අනෙක් ක්‍රීඩිකාව වන්නේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධනය. හිටපු නායිකාව වශයෙන් ඇයට කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් හිමි වී තිබුණ ද පළපුරුදු ක්‍රීඩිකාවක් වශයෙන් ඇයගෙන් කණ්ඩායමට ලැබෙන දායකත්වය එතරම් සුබදායක නොවන්නීය. මන්දයත් අවසන් තරග 15 ගෙන බැලීමේ දී එකම අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට ඇය අසමත් වී සිටින නිසාය. එම ඉනිම 15 සමස්තයක් ගෙන බැලීමේ දී අවස්ථා 2ක දී 49 බැගින් ද, එක් අවස්ථාවක දී 44ක් ද රැස් කරගෙන තිබීම හැරෙන්නට සෙසු සියලුම අවස්ථාවන් හිදී ඇය ලකුණු 17 සීමාව ඉක්මවාලීමට සමත්වී නොමැත. මුලු ලකුණු සංඛ්‍යාව ගෙන බැලීමේ දී එය ලකුණු 220ක් ලෙසින් සටහන් වන අතර ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් 14.67ක් සටහන් වී තිබේ.

පුහුණුකරු පවසන අන්දමට ගැටලුව ඇත්තේ ද පලපුරුදු ක්‍රීඩිකාවන් සිය දක්ෂතා අතරට නොපැමිණීමය. එහෙත් එය නිදහසට කරුණක් ලෙස හුවා දැක්වීමට පුහුණුකරුට කිසිසේත්ම අයිතියක් නැත්තේ, ඒ සියල්ල දක්ෂතා අතරට ගෙන ඒම ඔහුගේ වගකීම වී තිබෙන බැවිනි.

පන්දු යැවීමේ අංශය ගත්ත ද තත්ත්වය ඉතාම කනගාටුදායකය. පැවති තරග 3 දී එංගලන්ත පන්දු යවන්නියන් ශ්‍රී ලංකාවේ කඩුලු 21ක් දවා ගැනීමට සමත් වද්දී, ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 9ක් පමණි.

සැබැවින් තරගයක් ජය ගැනීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ නොමැති නම් පන්දු යවන්නන්ට ද කළ හැක්කක් නොවේ. එය ඇතැම් විට මෙම අසාර්ථක භාවයට හේතු වන්නට ඉඩ තිබුණ. දෙවැනි සහ තෙවැනි තරග දෙස බැලීමේ දී එසේ සිතිය හැකි නමුත් පළමු තරගය දෙස බැලීමේ දී එය ද පුස්සක් බවට පත් වන්නේ නියමිත පන්දුවාර 50 තුළ දී එංගලන්ත පිතිකාරිණියන් ලකුණු 300 ඉක්මවා රැස් කිරීමට සමත්ව ඇති නිසාය.

“මේ කණ්ඩායම 2013 වසරේ ලෝක කුසලාන ඉවර කළේ පස්වැනි ස්ථානයට ඇවිල්ලා. ඒකෙදි අපි ඉන්දියාව ඇතුළු ගොඩක් රටවල් පැරැද්දුවා. නමුත් ඒකෙන් පස්සේ අපි ගොඩක්ම අලුත් ක්‍රීඩිකාවන්ව කණ්ඩායමට අරගෙන තියෙනවා. විශේෂයෙන්ම පාසල් වයසේ සිටින ක්‍රීඩිකාවන්. ඔවුන් ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා අතරට එන්න කාලයක් අවශ්‍යයි. අපි මේ ගත කරන්නේ ඒ කාලයයි” යැයි ද පුහුණුකරු නිදහස වෙනුවෙන් තම අදහස් ඉදිරිපත් කරයි.

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව පවතින පද්ධතිය පිළිබඳව නම් සෑහීමකට පත්විය නොහැක. මන්ද යත් තවමත් මෙරට පාසල් තුළ කාන්තා ක්‍රීඩාව නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසාය. ඇතැම් පාසල්වල ක්‍රීඩාව සිදු කෙරුණ ද, ජාතික හෝ ජාත්‍යන්තර තලයට පැමිණීමට තරම් එය ප්‍රමිතියකින් තොර වීම තවමත් කාන්තා ක්‍රීඩාව එක තැන පල්වීමට ප්‍රධාන හේතුව වී තිබෙන බව ද පුහුණුකරුගේ අදහසයි. කෙසේ වෙතත් මේ වන විට එම තත්ත්වය තරමක් දුරට සමනය වී තිබෙන නමුත්, එය එංගලන්තය, නවසීලන්තය වැනි රටවල තත්ත්වයට පැමිණීමට නම් තව කල් ගතවනු ඇති බව හර්ෂ ද සිල්වාගේ අදහසයි.

විස්සයි විස්සේ පූර්ණ තරගාවලි ජයත් දකුණු අප්‍රිකානුවන්ට!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තෙවැනි විස්සයි විස්ස තරගයත් නිමාවට පත්වූයේ සත්කාරක දකුණු අප්‍රිකාවට ලකුණු 45ක පහසු ජයක් හිමිකර දෙමිනි…

මෙවන් කරුණු සැලකිල්ලට ගැනීමේ දී මෙරට පිරිමි මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ද දැඩි පසුබෑමකට ලක්වී තිබෙන බව නොරහසකි. එබැවින් මෙකී තත්ත්වයන්ට නිසි පිළියම් යොදමින් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වුවහොත් ක්‍රිකට් ලොව දිග් විජය කළ රටක් බවට ඉතිහාසයේ ලියැවී තිබෙන ජයග්‍රහණයන් හුදෙක්ම ඉතිහාසයටම පමණක් සීමා වනු ඇත. එබැවින් වර්තමානය ජය ගනිමින් අනාගතයේ ජයග්‍රහණ කරා යෑමට පරිපාලනයේ සිට ක්‍රීඩා කරන සියල්ලෝම සිතේ තබා ගත යුතුය.

එංගලන්තය සමඟ පැවති තරගාවලියේ දී වැඩිම ලකුණු ලද පිතිකාරිණියන් 5 දෙනා මෙසේය.

ක්‍රීඩිකාව ඉනිම නොදැවීම් ලකුණු වැඩිම ලකුණු සාමාන්‍ය
ඕෂධී රණසිංහ 3 1 90 51* 45.00
හර්ෂිතා මාධවී 3 0 87 42 29
නිලක්ෂි ද සිල්වා 3 0 82 45 27.33
හංසිමා කරුණාරත්න 3 0 60 28 20
චමරි අතපත්තු 3 0 58 30* 19.333

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<