ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පියවරක් ඉදිරියට

1428

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් කඩඉමක් පසු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (04) සමත් වූහ. මැලේසියාව හා සමඟින් ක්වාලාලම්පූර් නුවර රෝයල් සෙලංගර් ක්‍රීඩා සමාජ පිටියේ පැවති තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 90ක ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු තරගයෙන්ම ආසියානු කුසලානයට ඉව අල්ලති

මැලේසියාවේ දී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම ඉතා පහසු…….

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට පිවිසීමට සමත් වූහ. පළමු ස්ථානයේ සිටිනුයේ ඉන්දීය ක්‍රීඩිකාවෝ ය. පළමු තරගය නිමාවේ දී ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගෙන සිටිය ද අද පෙරවරුවේ පැවති පාකිස්තානය හා බංග්ලාදේශය අතර තරගයෙන් බංග්ලාදේශය ජය ගැනීමත් සමඟින් පාකිස්තානය තෙවැනි තැනට පත්විය.

තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක මැලේසියානු නායිකාවගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 136ක් ලබා ගත්හ. ප්‍රතිවාදී මැලේසියානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 46ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට සහභාගී වූවන්ගේ කිසිදු වෙනසක් නොමැතිව අද තරගයට ද කැඳවා තිබුණ අතර වෙනසකට වූයේ කාසියේ වාසිය අහිමි වීමත් පළමුවෙන් පන්දුවට පහර දීමට සිදු වීමත්ය.

ඉනිම ආරම්භ කළ දකුණත් සහ වමත් පිතිකාරිනයන් වූ යසෝදා මෙන්ඩිස් සහ නිපුණි හංසිකා ඉනිමේ අඩක් ගෙවෙන තුරු පිටියේ රැඳී සිටිමින් මැලේසියානු නායිකාවගේ කාසියේ වාසියේ තීරණය අභියෝගයට ලක් කෙරුණි.

කාන්තා ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නිකුත් වේ

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු විස්සයි විස්ස ක්‍රිකට්….

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ යසෝදා මෙන්ඩිස් ය. ඇය පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 29කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා ය. ඇය සහ නිපුනි හංසිකා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 59ක් විය. ඒ සඳහා ඔවුන් වැය කර තිබුණේ පන්දු 58ක් පමණි.

අනතුරුව ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් ලකුණු 66ක්ව තිබිය දී නිපුණි හංසිකා දුවද්දී දැවී ගියා ය. ඇය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා ය.

අනුශ්කා සංජීවනී සහ හසිනි පෙරේරා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 46ක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 112ක් දක්වා රැගෙන ආහ. එම කඩුල්ල සබඳතාව නිමා කරමින් දකුණත් පිතිකාරිනි අනුශ්කා සංජීවනී ලකුණු 26කට දැවී ගියා ය. ඇයගේ ඉනිමට පන්දු 25ක් වැයව තිබූ අතර හතරේ පහර 3කින් එම ඉනිම අලංකාරවත්ව තිබුණි.

ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට වමත් පිතිකාරිනී හසිනි පෙරේරා පන්දු 27කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් නිලක්ෂි ද සිල්වා (05) පිටියේ නොදැවී රැඳී සිටියා ය.

පන්දු යැවීමේ දී අයින්නා හමීෂා හසීම් සහ සාෂා අස්මි කඩුල්ල බැගින් ලබා ගත්හ.

ලකුණු 137ක පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මැලේසියානු ක්‍රීඩිකාවන්ගේ පළමු කඩුල්ල ඉනිමේ දෙවැනි පන්දු වාරයේ දී දවා ගැනීමට ඕෂදී රණසිංහ සමත් වූයේ යසෝදා මෙන්ඩිස් රැකගත් උඩ පන්දුවක් හේතුවෙනි. ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ 01ක් ලෙසිනි.

ඉතා මන්දගාමී ලකුණු රැස් කිරීමකින් යුත් මැලේසියානු ඉනිමේ දෙවැනි සහ තෙවැනි කඩුලු, 8 වැනි පන්දුවාරයේ දී දවා ගැනීමට දකුණතින් මඳ වේගපන්දු යවන නිලක්ෂි ද සිල්වා සමත් වූවාය. ඉනිමේ කඩා වැටීම සනිටුහන් වූ එම අවස්ථාවේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3කට ලකුණු 14ක් ලෙසිනි. දැවී ගිය එම කඩුලු අතර මැලේසියානු නායිකා විනිෆ්‍රීඩ් දුරෙයිසිංගම් (01) ද විය. එතැනින් නතර නොවූ නිලක්ෂි ද සිල්වා මැලේසියානු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ කඩුලු රැකි ක්‍රීඩිකා ක්‍රිස්ටිනා බැරෙට් ද දවා ගැනීමට සමත් වූවාය.

ක්‍රිස්ටිනා බැරට් දැවී යන විට ලකුණු 14ක් ලබා සිටි අතර ඒ සඳහා පන්දු 32ක් වැය කර තිබුණ ද එම ඉනිමට එකදු සීමා ලකුණක්වත් එක් කිරීමට ඇය සමත් වී නොතිබුණි. සත්කාරක කණ්ඩායමේ අනෙක් ලකුණුලාභිනිය වූයේ මහිරා ඉසටි ඉස්මයිල් ය. ඇය පන්දු 31කට මුහුණ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව වූයේ 10කි. අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාවට ළඟා වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ නොතැබූහ.

ඉනිමේ වාර්තා වූ එකම සීමා ලකුණ වූයේ 4 පහරකි. එය අංක 8 ස්ථානයෙන් පිටියට පිවිසි සුමිකා අස්මි (07*) ලබා ගැනීමට සමත් වූවාය.

කොදෙව් තරග බිමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් වෙයි ද?

බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය සංචාරක…

පන්දු යැවීමේ දී නිලක්ෂි ද සිල්වා ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද නම් කෙරුණි. මීට අමතරව ශෂිකලා සිරිවර්ධන ලකුණු 12කට කඩුලු 2ක් දවා ගත්තා ය. දුවද්දී දැවී ගිය කඩුල්ලට අමතරව අනෙක් කඩුල්ලේ හිමිකාරිත්වය ඕෂධී රණසිංහ සතු වූවාය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වෙන මීළඟ තරගය මේ මස 6 වැනිදා ක්වාලාලම්පූර් නුවර කින්රාරා ක්‍රිකට් ඇකඩමි පිටියේ දී පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවන් හා සමඟින් පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 136 (20.0) : යසෝදා මෙන්ඩිස් 36, නිපුනි හංසිකා 20, අනුශ්කා සංජීවනී 26, හසිනි පෙරේරා නොදැවී 32

මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 46 (20.0) : ක්‍රිස්ටිනා බැරට් 14, ශෂිකලා සිරිවර්ධන 2/12, නිලක්ෂි ද සිල්වා 3/13,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<