කොදෙව් කාන්තාවන්ට සුපිරි ජයක්

120
Sri Lanka womens v West Indies womens cricket

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර ට්‍රිනිටෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ තෙවන එක්දින තරගය අද (15) අවසන් වූයේ, කොදෙව් කණ්ඩායමට ලකුණු 40ක ජයක් හිමි කර දෙමිනි. ඒ අනුව තරගාවලිය 3-0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ටේලර් – ඩොටින් සබඳතාවය හමුවේ ශ්‍රී ලංකාව යළිත් අසරණ වෙයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව්…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා ඉනෝකා රණවීර පළමුව පන්දු යැවීමට තීරණය කළාය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා යම් ප්‍රමාදයකට පසුව තරගය ආරම්භ වූ අතර, පළමුව පිටියට පිවිසුණු කොදෙව් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 182ක් රැස්කර ගත්තේ, තරගය සඳහා නියමිතව තිබූ පන්දුවාර 45 තුලයි.

එහි දී 19 හැවිරිදි කොදෙව් ආරම්භ පිතිකාරිනි හේලි මැතිව්ස් 4 පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නා ලදි. දකුණතින් පිත්ත හසුරුවන ඇය හා එක්වූ කණ්ඩායම් නායිකා ස්ටෙෆනි ටේලර් වර්ණවත් 4 පහර 7ක් සමඟින් ලකුණු 55ක් ලබාගෙන සිය 29 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළාය.

එක් මොහොතක කඩුලු 5ක් දැවී ලකුණු 121ක් ලෙස සටහන්ව තිබූ කොදෙව් ඉනිම තවදුරටත් සවිමත් කළ මෙරීසා ඇගියුලේරියා, පන්දු 43ක් තුල ලකුණු 37ක් ලබාගෙන තරගකාරී ලකුණු පුවරුවක් වෙත කොදෙව් කණ්ඩායම ඇදගෙන යාමට සමත් විය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දකුණතින් දඟපන්දු යවන ශසිකලා සිරිවර්ධන කඩුලු 3ක් දවා ගන්නා විට, නායිකා රණවීර කඩුලු 2ක් දවා ගත්තාය.

ලකුණු 183ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භ පිතිකරණ සබඳතාවය, ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙරාතුව බිඳ වැට්ටවීමට කොදෙව්වන්ට හැකි විය. චමරි අතපත්තු ලකුණු 11යි. දකුණතින් පිත්ත හසුරුවන යසෝදා මෙන්ඩිස් හා ඩිලනි මනෝදරා ලකුණු 18කට කඩුලු 2ක් ලෙස සටහන්ව තිබූ ඉනිමට ලකුණු 33ක සබඳතාවයක් එක් කරමින් තරමක හොඳ සබඳතාවයක් තෙවන කඩුල්ල සඳහා ගොඩ නැංවිය. මෙන්ඩිස් ලකුණු 18ක් ලබාගත්තේ 4 පහර 2ක් සමඟිනි.

ශ්‍රී ලංකා කාන්තා ඉනිම තුල දුවද්දී දැවී යාම් දෙකක් සටහන් වූ අතර, එසේ දැවී යාම්වලට හසු වූයේ  හසිනි පෙරේරා හා සිරිවර්ධන යන ක්‍රීඩිකාවන්ය. කඩුලු රකින ක්‍රීඩිකා රෙබේකා වැන්ඩොර්ට් පන්දු 42ක් තුළ 4 පහර 2ක් සමඟින් ලකුණු 36ක් වාර්තා කළ අතර, මනෝදරා ලකුණු 42ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම ගෞරවාන්විත තැනකට ගෙන ආවේය. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර ප්‍රමාණය නිමාවීමටත් පෙර සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 142ක් පමණි.

හේලි හා මෙරීසා ලංකාවට එරෙහි වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ පළමු එක්දින..

පන්දු යැවීමේ දී සකීරා සොලමන් හා ටේලර් කඩුලු 3 බැගින් දවා ගන්නා ලද්දේ, කොදෙව් ජය සනාථ කරමිනි. අවසානයේ කොදෙව්වන්ට ලකුණු 40ක ජයක් ලැබුණේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රිකට් වලින් ඉගෙනීමට තවත් බොහෝමයක් දෑ ඇති බව පසත් කරමිනි.

කොදෙව් කාන්තා කණ්ඩායම – 182/8 (45): ස්ටෙෆනි ටේලර් 55, හේලි මැතිව්ස් 41, මෙරීසා ඇගියුලේරියා 37, ශසිකලා සිරිවර්ධන 3/26, ඉනෝකා රණවීර 2/24.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 142/10 (40.4): ඩිලනි මනෝදරා 42, රෙබේකා වැන්ඩොර්ට් 36, යසෝදා මෙන්ඩිස් 18, ස්ටැෆනි ටේලර් 3/29, ශකීරා සොලමන් 3/32.

තරගයේ සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වයම ජයග්‍රහණය කිරීමට කොදෙව් නායිකා ටේලර්ට හැකි විය.

මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන තරග 3කින් යුතු විස්සයි- විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 20 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 4.00ට ආරම්භ වන අතර, එම තරග සියල්ලම විදුලි ආලෝක මධ්‍යයේ දී පැවැත්වේ.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<