“ශ්‍රේණිගත කිරීම් කිසිවක් තරග දිනන්න අදාළ වෙන්නේ නෑ” – චමරි අතපත්තු

345

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හයවැනි වරටත් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 9 වැනිදා සිට නොවැම්බර් මස 25 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වේ.

පන්දුවක් හිසේ වැදී පැතුම් නිස්සංක ආබාධයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන පළමු දෙදින පුහුණු ක්‍රිකට්…

මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ නායකත්වය ලබා දී තිබෙන්නේ  ප්‍රහාරාත්මක වමත් පිතිකාරිණියක් වන චමරි අතපත්තු වෙතයි.

මෙම ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලිය අවසන් වරට 2016 වසරේ ඉන්දියාවේ දී පැවති අතර එහි දී ලොව විස්සයි විස්ස ශූරියන් ලෙස කිරුළු පැලඳ ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. 2009 වසරේ සිට පැවත එන මේ තරගාවලියේ මෙතෙක් වැඩිම ශූරතා ගණනක් දිනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

විස්සයි විස්ස කියන්නේ ඉතාමත්ම අවිනිශ්චිත ක්‍රීඩා රටාවක්. එදා දවසේ අඩුපාඩු අවම කරගෙනම සෙල්ලම් කරන කණ්ඩායමට පහසුවෙන්ම ඕනම තරගයක් දිනන්න පුළුවන්, ශ්‍රේණිගත කිරීම්වල තියෙන ඉලක්කම් ඒකට අදාළ වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි අපේ කණ්ඩායම ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායිකාව වන චමරි අතපත්තු පවසන ලදි.

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය සත්කාරක කොදෙව් කණ්ඩායම හා  නවසීලන්තය කණ්ඩායම අතර පැවැත්වෙන්නේ ගයානා හිදීය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම A කාණ්ඩයෙන් මෙවර තරගාවලියට අවතීර්ණ වෙන අතර ශ්‍රී ලංකාව සමඟ සත්කාරක කොදෙව්වන්, ආසියානු විස්සයි – විස්ස ශූරියන් වන බංග්ලාදේශය, ලෝක ශූරියන් වන එංගලන්තය හා ප්‍රබල දකුණු අප්‍රිකානුවන් තරග වදිනු ඇත. එක් කාණ්ඩයට රටවල් 5 බැගින් තරග වදින මේ ලෝක කාන්තා විස්සයි විස්ස ශූරතාවය වෙනුවෙන් රටවල් 10ක් තරග වදී.

  • A කාණ්ඩය – බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය
  • B කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පාකිස්තානය, ඉන්දියාව, අයර්ලන්තය

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට, පිතිකාරිණියන් පහක්, පන්දු යවන්නියන් හයක් හා තුන් ඉරියව් ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් ඇතුළත්ය.

ජෝ රූට්ස් ටෙස්ට් තරගාවලියට අනතුරු අඟවයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවති පළමු පුහුණු තරගය අද (31) කොළඹ එන්. සී. සී. පිටියේ දී ජය පරාජයෙන් තොරව…

අවසන් වරට පැවති ඉන්දු ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 4-0ක් ලෙස පරාජය වූ නමුත් තරග 3කින් සමන්විත වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ එක් එක්දින තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ තරගාවලියේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතය හා සසඳා බැලීමේ දී මෙවර  ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ සිදුවී ඇත්තේ එක් වෙනස්කමක් පමණි. එනම් කඩුලු රකින පිතිකාරිණියක් වන අනුෂ්කා සංජීවනී සංචිතයෙන් ඉවත් කර ඒ වෙනුවට කඩුලු රකින පිතිකාරිණියක් වන රෙබෙකා වැන්ඩොට් මෙවර සංචිතයට අන්තර්ගත කර තිබේ.

ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායම නිමා වූ ඉන්දීය තරගාවලියේ දී යම් යම් ධනාත්මක කරුණු කිහිපයක්ම ප්‍රදර්ශනය කළ අතර හර්ෂ ද සිල්වා මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පිටව යනු ඇත.

“අපි තරග වදින්නේ A කාණ්ඩයෙන් මෙවර තරගාවලියේ කාණ්ඩයන් දෙකම ඉතාමත් තරගකාරී කාණ්ඩයන් දෙකක්. බංග්ලාදේශය මේ තරගාවලියට ආසියානු විස්සයි විස්ස ශූරියන් ලෙස ආවත් ඒ තරගාවලියේ මූලික වටයේ දී අපි ඔවුන්ව පරාජය කළා. ඒක නිසා විස්සයි විස්ස කියන්නේ ඉතාමත්ම අවිනිශ්චිත ක්‍රීඩාවක්. අපි මේ තරගාවලිය ඉතාමත්ම හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නොවැම්බර් මස 5 හා 8 යන දිනවල දී පිළිවෙළින් නවසීලන්තය හා අයර්ලන්තය සමඟ පුහුණු ක්‍රිකට් තරග දෙකකට ඇන්ටිගුවා හිදී සහභාගී වීමට නියමිතය. ලෝක ශූරියන් වන එංගලන්ත කණ්ඩායම සමඟ ලබන මස 11 වැනිදා පැවැත්වෙන මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අවතීර්ණ වෙනු ලැබේ. තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (31) රාත්‍රියේ දී දිවයිනෙන් පිටව යනු ඇත.

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මේ මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන හර්ෂ ද සිල්වා මහතා, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී රසාංජලි ද අල්විස්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන වරුණ වරාගොඩ මහතා සහභාගී වී සිටියේය.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය – චමරි අතපත්තු (නායිකාව), නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, සුගන්ධිකා කුමාරි, එශානි ලොකුසූරිය, ඩිලනි මනෝදරා, යශෝදා මෙන්ඩ්ස්, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනි, ඉනෝශි ප්‍රියදර්ශනී, ඕෂධී රණසිංහ, ශශිකලා සිරිවර්ධන, රෙබෙකා වැන්ඩොට්, ශ්‍රීපාලි වීරක්කොඩි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග කාලසටහන

පුහුණු තරග කාලසටහන

  • නොවැම්බර්  5 – ශ්‍රී ලංකාව හා  නවසීලන්තය – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට – ඇන්ටිගුවා හිදී
  • නොවැම්බර්  8 – ශ්‍රී ලංකාව හා අයර්ලන්තය – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට – ඇන්ටිගුවා හිදී

මූලික වටයේ තරග කාලසටහන

  • නොවැම්බර් 11 –  ශ්‍රී ලංකාව හා එංගලන්තය  – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 1.30ට – සාන්ත ලුසියා හිදී
  • නොවැම්බර් 12  – ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව  – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට – සාන්ත ලුසියා හිදී
  • නොවැම්බර්  14 – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය  – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 1.30ට -සාන්ත ලුසියා හිදී
  • නොවැම්බර් 16  – ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්  – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට – සාන්ත ලුසියා හිදී

මේ තරගාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම එසැණ පුවත් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<