ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නැවතත් අතපත්තුට

273

එක්දින ක්‍රිකට් තරග 3කින් හා විස්සයි විස්ස තරග 5කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (6) නිල වශයෙන් මාධ්‍යට නිකුත් විය. ඒ කණ්ඩායමේ නායිකාව ලෙස පත් කර ඇත්තේ චමරි අතපත්තුය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තීන්දු වෙයි

ඉදිරි වසර දෙකක කාලය සඳහා බලපැවැත්වෙන ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග තුනකින් හා විස්සයි විස්ස ක්‍රිකට් තරග පහකින් සමන්විත කාන්තා ක්‍රිකට් තරගාවලියක් සැප්තැම්බර් මස 11 වැනිදා සිට 25 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායිකාව වන චමරි අතපත්තු මීට සති කිහිපයකට ඉහත දී නිමා වූ ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී නොවූයේ අසනීප වී සිටි නිසාවෙනි. ඊට අමතරව ඒ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවූ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන අමා කාංචාන හා අත්දැකීම් බහුල වමතින් මද වේගපන්දු යවන උදේශිකා ප්‍රබෝධනී නැවතත් කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්ව ඇත.

කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජිවනී හා මද වේගපන්දු යවන ක්‍රීඩිකා නිලක්ෂි ද සිල්වා වසර දෙකකට පමණ පසුව නැවතත් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතයට පැමිණ සිටී. ඒ නිසාවෙන් පසුගිය තරගාවලි කිහිපයම නියෝජනය කළ රෙබේඛා වැන්ඩොට් හට කණ්ඩායමේ සිය

අසුන මඟ හැරෙද්දී, අනුෂ්කා සංජිවනී හා ඩිලනි මනෝදරා නැවතත් කණ්ඩායම හා එක්ව තිබීම කැපීපෙනේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට සහභාගී වූයේ මැලේසියාවේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා වන අතර එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය, ඉන්දියාව හා පාකිස්තානු කණ්ඩායම් හමුවේ පරාජය වී දිනා ගත්තේ සමස්ත තරගාවලියේ සිව්වැනි ස්ථානයයි. ඊට පෙර පාකිස්තානු කණ්ඩායම සමඟ මෙරට දී පැවති ක්‍රිකට් තරගාවලියේ දී එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙසත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙසත් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදු විය.

එම පරාජයන් හමුවේ එවකට ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හේමන්ත දේවප්‍රිය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කරන ලදි. පසුව ඉදිරි වසර දෙකක කාලය සඳහා බලපැවැත්වෙන ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ ද සිල්වා මහතා හට එම තනතුර ලබා දී තිබෙන අතර ඒ මහතා යටතේ පුහුණුව ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලියක් සඳහා ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ලෝක කණ්ඩායමට කුක් නම් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ කවුද?

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා මෙන්ම, වැඩිම ශතක ලාභියා ද වන හිටපු එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට….

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා තරග වැදීම වෙනුවෙන්ම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මෙරටට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර අවසන් වරට එක්දින ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2015 වර්ෂයේ දී වන අතර එම තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගාවලිය සඳහා තරග වදිනු ලබන ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස සංචිතයන් පසුගිය මස (24) දිනයේ දී ප්‍රකාශයට පත් කළේය.

මේ තරගාවලියේ සියලුම තොරතුරු, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය – චමරි අතපත්තු (නායිකාව), ප්‍රසාදනී වීරක්කොඩි, අනුෂ්කා සංජිවනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඩිලනි මනෝදරා, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි සිල්වා, ඉමල්කා මෙන්ඩිස්, ශ්‍රීපාලි වීරක්කොඩි,  සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, අමා කාංචානා, කවීෂා දිල්හාරි.

සම්පූර්ණ තරග කාලසටහන

  • සැප්තැම්බර් 11 – පළමු එක්දින ක්‍රිකට් තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • සැප්තැම්බර් 13 – දෙවන එක්දින ක්‍රිකට් තරගය  ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • සැප්තැම්බර් 16 – තෙවන එක්දින ක්‍රිකට් තරගය  කටුනායක නිදහස් කලාප පිටිය
  • සැප්තැම්බර් 19 – පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කටුනායක නිදහස් කලාප පිටියේ දී
  • සැප්තැම්බර් 21 – දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කොළඹ කොල්ට්ස් පිටියේ දී
  • සැප්තැම්බර් 22 – තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ
  • සැප්තැම්බර් 24 – සිව්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ දී
  • සැප්තැම්බර් 25 – පස්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කටුනායක නිදහස් කලාප පිටියේ දී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<