ශ්‍රී ලංකා කාන්තාවෝ පළඟ ශූරතාවය දිනති

274

ඊයේ (23) දකුණු කොරියාවේ දී ආරම්භ වූ ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ පළමු අදියරේ අවසන් වටයේ තරග අද (24) පැවැත්විය. තායිලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 12-24ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා කාන්තාවන් මෙහි පළඟ ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කාන්තාවෝ දකුණු කොරියාව පරාජය කරති

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ පළමු දිනයේ තරග අද (23) දකුණු කොරියාවේ දී පැවැත්විය..

පළමු වටයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ එක් තරගයක් පමණි. එම නිසා තරගාවලියේ මූලික වටය තුළ B කාණ්ඩය නියෝජනය කරමින් තෙවන ස්ථානය ජයග්‍රහණය කළ ඔවුන්, A කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගෙන සිටි කසකස්තාන කාන්තා කණ්ඩායම සමඟින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා තරග වැදුණි.

එම තරගයේ දී අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවට පරාජය වැළඳ ගැනීමට සිදු වූයේ ලකුණු 27–07ක් ලෙසිනි. තනූජා වීරක්කොඩි එම තරගයේ දී ශ්‍රී ලංකාව වාර්තා කළ එකම උත්සාහක දිනුමේ හිමිකාරිය විය. එම තරගය පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට ශූරතා කුසලාන තරගාවලියෙන් ඉවත්ව පළඟ ශූරතා වටයට ඇතුළත් වීමට සිදු විය.

පළඟ කුසලාන අවසන් පූර්ව තරග වටයේ දී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව එකිනෙකා මුණගැසුණි. එහි දී ලකුණු 15–19ක් ලෙස තියුණු ජයක් ලැබූ ශ්‍රී ලංකාව පළඟ අවසන් මහා තරගයේ දී තායිලන්ත කණ්ඩායම මුණුගැසුණි.  සිංගප්පූරු තරගයේ දී අයේශා කළුආරච්චි,  තනූජා හා තීක්ශනා ලියනගේ යන ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළහ.

තායිලන්ත සමඟින් පැවැත්වූ තරගය මුල සිටම තියුණු තරගයක් විය. එම උණුසුම් තරගයේ ශ්‍රී ලංකා වෙනුවෙන් පළමු ලකුණ ලබා ගැනීමට අයේශා සමත් වූයේ, උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමිනි.

තරගයේ පළමු අර්ධය අවසන් වීමට ආසන්නව තිබිය දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා තනූජා වේගවත්ව දිවගොස් තවත් උත්සාහක දිනුමක් ලබා ගත්තාය.

පළමු අර්ධය අවසානය: තායිලන්තය 00 – 12 ශ්‍රී ලංකාව

තායිලන්ත ක්‍රීඩිකාවෝ දෙවන හා අවසන් අර්ධයට අවතීර්ණ වූයේ, ඉතාමත් ජවසම්පන්න විලාසයක් ආවේශ කර ගෙනයි. ඔවුන් දෙවන අර්ධයේ මුල් මිනිත්තු කිහිපය තුළ ඉතාමත් දක්ෂ ලෙස හා ඉතාමත් සැලසුම්කාරීව ක්‍රීඩා කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස තායිලන්ත ක්‍රීඩිකා රත්නපර්න් විටායාරොනායුට් ඔවුන්ගේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන ලදි.

තරගයට තරගයක් දෙමින් යළිත් තම දස්කම් පෙන්වූ ශ්‍රී ලංකාව වෙනුවෙන් අනූශා අත්තනායක හා දුලානි පලිකොණ්ඩගේ තවත් උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කර ගත්තේ, ශ්‍රී ලංකාව දෙසට තරගයේ වැඩි වාසිය හරවා දෙමිනි. තරගයේ අවසන් මිනිත්තුවේ දී පමණ තායිලන්ත ක්‍රීඩිකාවන් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගන්නවාත් සමඟින්, තරගයේ ප්‍රධාන විනිසුරුවරිය තරගයේ අවසන් නළා නාදය නිකුත් කළාය.

අවසන් ලකුණු තත්ත්වය: තායිලන්ත 12 – 24 ශ්‍රී ලංකාව

මෙහි ශූරතා කුසලානය සඳහා වන කාන්තා අවසන් මහා තරගයට ජපානය හා චීනය යන කණ්ඩායම් සුදුසුකම් ලබාගෙන තිබූ අතර, එම තරගයෙන් ලකුණු 10-14ක් ලෙස තියුණු ජයක් ලබාගත් ජපාන කණ්ඩායම එහි ශූරතා කුසලානය ජයග්‍රහණය කරන ලදි. එහි පිරිමි ශූරතාවය හිමි වූයේ, දකුණු කොරියානු කණ්ඩායමටයි. එහි දී ඔවුන් හමුවේ ප්‍රබල ජපාන කණ්ඩායම ලකුණු 12–17ක් ලෙස පරාජය විය.

මෙම රග්බි සත් සාමාජික තරගාවලියේ දෙවන හා අවසන් අදියර මේ වසරේ ඔක්තෝබර් මස 14 හා 15 යන දෙදින පුරා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර, එහි උණුසුම් හා තරගකාරී සිදුවීම් පිළිබඳව තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට