ශ්‍රී ලංකා කාන්තාවෝ දකුණු කොරියාව පරාජය කරති

210

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ පළමු දිනයේ තරග අද (23) දකුණු කොරියාවේ දී පැවැත්විය. එහි දී B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම, සත්කාරක දකුණු කොරියානු කාන්තා කණ්ඩායම ලකුණු 17 – 07ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර ඒ සමඟින් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වන ස්ථානය ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට හිමි විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාවට A කාණ්ඩයේ 3 වෙනි ස්ථානය

දකුණු කොරියාවේ ඉන්චියෝන් හි නමදොග් ආසිද් ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ මෙම තරගාවලියේ ආරම්භය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට තරමක් අපහසු වූයේ චීන කාන්තා කණ්ඩායම හමුවේ ලකුණු 36-12ක් ලෙස පරාජයට පත් වූ හෙයිනි. අනතුරුව පැවැත්වූ තරගයේ දී පළමු තරගය පරාජය වීම නිසා ඇතිවූ පීඩනය මත ලකුණු 28-00ක් ලෙස හොංකොං කණ්ඩායම හමුවේ දී ද අභාග්‍යසම්පන්න ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායමට සිදු විය.

Sri Lanka Women's Rugbyනමුත් සත්කාරක දකුණු කොරියානු කණ්ඩායම සමඟින් පැවැත්වූ තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙර තරගවල දී පෙන්වූ යම් යම් දුර්වලතා මගහරවා ගෙන සාර්ථකව ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

එම තරගයේ පළමු අර්ධයේ දී තනූජා වීරක්කොඩි විසින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු අර්ධයේ වැඩි වාසිය හිමිකර දුන්නාය.

තරඟයේ පළමු අර්ධය අවසානයේ – ශ්‍රී ලංකාව 05 – 00  දකුණු කොරියාව

තරගයේ දෙවන අර්ධය කණ්ඩායම් ද්විත්වයම දක්ෂ ලෙස කරට කර තරග කිරීම හේතුවෙන් අතිශය තියුණු මුහුණුවරක් ඉසිලීය. සත්කාරක දේශයේ ප්‍රේක්ෂකාගරයේ ඔල්වරසන් හඬ මැදින් කොරියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා යමින් ලකුණු 05–07ක් ලෙස එක් මොහොතක දී තරගයේ පෙරමුණේ පසුවිය.

නමුත් නොපසුබට උත්සාහයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම අභියෝගයට මැනවින් මුහුණ දෙමින් ක්‍රීඩා කළහ. තොමදූරා හා අනූශා මුදියන්සේ යන ක්‍රීඩිකාවන් පිළිවෙළින් දෙවන හා තෙවන උත්සාහක දිනුම් වාර්තා කළේශ්‍රී ලංකා කණ්ඩායමේ ජය තහවුරු කරමිනි.

තරගයේ පළමු අර්ධය අවසානයේ: ශ්‍රී ලංකාව 17 – 07  දකුණු කොරියාව

ශ්‍රී ලංකාව හා චීනය අතර පැවැත්වූ තරගයේ දී, දුලානි පලිකොන්ඩගේ හා අයේශා මදූමා උත්සාහක දිනුම් ලබා ගන්නා විට, අයේශා කළුආරච්චි එහි එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගත්තාය.

ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ සහභාගී වන මීළග තරගය හෙට (24) කසකස්තාන කණ්ඩායම සමඟින් මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වෙන අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11ට පමණ ආරම්භ වීමට නියමිතය.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට