බස්නාහිර සහ උතුරු මැද අවසන් තරගයට

712
Sri Lanka Womens Provincial T20 report

අන්තර් පළාත් කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග ඊයේ (07) පැවැත්වුනේ කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදීයි. කෙසේ වෙතත් ඒ වන විටත් අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් තීරණය වී තිබීම හේතුවෙන් මෙම තරග ප්‍රතිපල එතරම් තීරණාත්මක වූයේ නැත.

දකුණු පළාත් සහ මධ්‍යම පළාත් කණ්ඩායම් අතර තරගය

මෙම කණ්ඩායම් දෙකම තමන් සහභාගී වූ සියලු තරග පරාජය වී තිබීම හේතුවෙන් මෙම තරගය අභිමානය රැක ගැනීම සඳහා පැවති සටනක් බවට පත්ව තිබුණි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් මධ්‍යම පළාත් ක්‍රීඩිකාවන් සිය නියමිත පන්දුවාර 20 තුල ලකුණු 115 ක් ලබා ගත්තේ යශෝධා මෙන්ඩිස් රැස් කළ අර්ධ ශතකයෙන් සවිමත් වෙමිනුයි.

දකුණු පළාත් ක්‍රීඩිකාවන් පිළිතුරු ඉනිම තුල මධ්‍යම ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. කෙසේ වෙතත් ඔවුන් හට  නියමිත ඉලක්කයට වඩා ලකුණු 7ක් පසුපසින්  ඉනිම අවසන් කරන්නට සිදුවුනේ මධ්‍යම පලාතට සැනසිලි ත්‍යාගයක් බඳු ජයග්‍රහණයක් හිමි කර දෙමිනුයි.

ලකුණු පුවරුව

මධ්‍යම පළාත – 115/6 (20)   :  යශෝධා මෙන්ඩිස් – 61, රුචිනි සමරසේන – 2/26

දකුණු පළාත –  108/8 (20)  : රේශානි පෙරේරා – 34, ශ්‍රීපාලි වීරක්කොඩි – 2/19, උදේශිකා ප්‍රබෝධිනී – 2/21

මධ්‍යම පළාතට ලකුණු 7ක ජයක්


බස්නාහිර පළාත් සහ උතුරු මැද පළාත් කණ්ඩායම් අතර තරගය

මෙම තරගය හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ පෙරහුරුවක් බවට පත් වූයේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන්ම මෙම තරගයටද එක්වීම හේතුවෙනුයි.

අවසන් තරගය පිලිබඳ දල අදහසක් පෙන්වමින් තියුණු සටනකින් පසු මේ තරගය ජය ගන්නට බස්නාහිර ක්‍රීඩිකාවන් සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන්නේ උතුරු මැද පළාත් කණ්ඩායමයි. ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුල ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 101ක් පමණකි.

කෙසේ වෙතත් පන්දුවෙන් බස්නාහිර ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල කරන්නට උතුරු මැද කණ්ඩායම සමත් වූ අතර අවසන් පන්දු වාරය දක්වා තරගයේ තීරණය ඇදී යන ලදී. හන්සිමා කරුණාරත්න අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් බස්නාහිර කණ්ඩායම කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වෙත ගෙන යන්නට සමත් විය.

ලකුණු පුවරුව –

උතුරු මැද පළාත – 101/8 (20)   :  නිලක්ෂි සිල්වා – 24*, දිනුෂා හිඳගොඩ – 20, සචිනි සෙව්වන්දි –  3/14

බස්නාහිර පළාත – 102/8 (19.3) : හංසිමා කරුණාරත්න – 41*, අමා කාංචනා – 2/10, නිලූකා කරුණාරත්න – 2/31

බස්නාහිර පළාත් කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට