පහසු ජයක් සමගින් ක්‍රිකට් ශූරතාවය සෙබලියන්ට

321
Sri Lanka womens cricket finals

අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවති අතර, ඉතා ඇල්මැරුණු ස්වභාවයක් ගත් මේ තරගයේදී, යුද හමුදාවේම B කණ්ඩායම පරදවමින් ශුරතාව දිනාගන්නට යුද හමුදා A කණ්ඩායම සමත්විය.

පසුගිය ලිපි: පැතුම් ගේ පැතුම් පිත්ත පත්තු වෙයි

යුද හමුදා B කණ්ඩායම පසුගියදා පැවති අවසන් පූර්ව තරගයේදී, හිටපු ශූරියන් වන නාවික හමුදා A කණ්ඩායම හමුවේ පරාජය වු අතර ThePapare.com වෙත ලැබුණු තොරතුරු අනුව වාර්තා වන්නේ මාධ්‍ය වෙත හෙළි නොකළ හේතුවක් මත නාවික හමුදා කණ්ඩායමට තරග තහනමක් පනවා ඇති බවයි. එමනිසා යුද හමුදා B කණ්ඩායමට අවසන් තරගයට දොරගුළු විවර වු බවයි.

වෙළඳසේවා ක්‍රීඩාංගනයේ දි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් යුද හමුදා B ක්‍රීඩිකාවන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. නමුත්, ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් සවිමත් වූ A කණ්ඩායමට අභියෝග කරන්නට B පිළේ පන්දු යවන්නියන්ට නොහැකි විය. ඔවුන්ගේ පළමු කඩුළු 2 ඉක්මනින් බිඳ වැටුනත්, රෙබෙකා වැන්ඩොට් සහ නිපුනි හංසිකා ලකුණු වර්ෂාවකින් ක්‍රීඩාංගනය දෙවනත් කිරීමට සමත් විය. වැන්ඩොට් අර්ධ ශතකයකින් තම දායකත්වය ලබා දෙන විට හංසිකා අගනා ලකුණු 104ක් රැස් කලේ හතරේ පහර 15ක් ද සමගින්.

දමයන්ති ද සිල්වා සහ ජනනි කෞශල්‍යා ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් යුද හමුදා A කණ්ඩායම තවත් ඉහලට ඔසවා තබන්නට සමත් විය. ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 285ක්.

තවත් ක්‍රීඩා පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න

යුද හමුදා B කණ්ඩායම තම පිළිතුරු ඉනිමේ මුල සිටම උත්සාහ ගත්තේ, ඉලක්කය හඹා යාම පසෙක තබා පන්දුවාර 50 ම ක්‍රීඩා කිරීමටයි. ටෙස්ට් තරගයක් සිහිගන්වන පිතිහරඹයක නිරතවූ B පිළේ පිතිකාරිනියන්, පන්දුවාර 50ම කඩුල්ලේ රැදී සිටින්නට සමත් වුනත් නියමිත ඉලක්කය අසලටවත් පැමිණෙන්නට ඔවුන් අසමත් වීය.

අචිනි කුලසූරිය සහ නිලූකා කරුණාරත්න අතරේ කඩුලූ 2 බැගින් බෙදී යද්දී, කිසිදු අභියෝගයකින් තොරව, යුද හමුදා A ක්‍රීඩිකාවන් අන්තර් සමාජ පළමු කාණ්ඩයේ කාන්තා එක්දින ශූරතා කුසලානයේ පහස විඳගන්නට සමත් විය.

ලකුණු වාර්තාව

යුද හමුදා A – 285/5 (50) නිපුනි හංසිකා – 104, රෙබෙකා වැන්ඩොට් – 72, දිලුෂා හිඳගොඩ – 2/49, නිශාන්ති පද්මචන්ද්‍ර – 2/46

යුද හමුදා B – 96/7 (50) නිලූකා කුශාන්ති – 24, ක්‍රිෂාන්ති සඳමාලි – 21*, නිලූකා කරුණාරත්න – 2/11, අචිනි කුලසූරිය – 2/11

යුද හමුදා A කණ්ඩායමට ලකුණු 189ක ජයක්.

තවත් පුවත් සදහා පිවිසෙන්න