ජවේරියා කාන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අමාරුවේ දමයි

195

අයි. සී. සී. එක්දින කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලිය ආරම්භ කරමින් අද (20) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 69ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

[rev_slider LOLC]

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණයත් සමඟින් සංචාරක ක්‍රීඩිකාවෝ ලෙහෙසියෙන්ම තරගාවලියේ 1-0ක් ලෙසින් ඉදිරියට පිවිසිය හ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාවගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දිය ක්‍රීඩිකාවෝ තම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 250ක් රැස් කළහ. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 181ක් පමණි. ඒ තවත් පන්දු 28ක් ඉතිරිව තිබිය දී ය.  

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ දකුණත් පිතිකාරිනී ජවේරියා කාන් අද තමන්ගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කළා ය. මීට ප්‍රථම ශ්‍රී ලංකාවටම එරෙහිව 2015 වසරේ දී සාජා පිටියේ දී ලකුණු 133ක් රැස් කර ඇති ඇයගේ හොඳම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉනිම වෙන්නේ ද එයයි.

පළමු කඩුල්ල ලකුණු 15 දී දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ජවේරියා කාන් පාකිස්තාන ඉනිම අවසන් වන තුරු කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 113ක් ලබා ගත්තා ය. ඇයගේ ඉනිම පන්දු 142කින් සමන්විත වූ අතර හතරේ පහර 15ක් ඊට ඇතුළත් කර තිබුණි.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු ද්විත්වය පන්දුවාර 5ක් ඇතුළත දැවී ගිය ද තෙවැනි කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් ගොඩ නැගීමට ජවේරියා කාන් සහ නායිකා බිස්මාහ් මාරූෆ් (19) සමත් වූහ. අනතුරුව සිව්වැනි කඩුල්ල ද ලකුණු 72ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එතැන් සිට නැවත ලකුණු සබඳතාවක් ගොඩ නැගීමට ජවේරියා කාන් සමත් වූයේ නිඩා ඩාර් හා එක් වෙමිනි. එකී සබඳතාව ලකුණු 72කි. නිඩා ඩාර් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් රැස් කළාය. දැවී ගිය අවසන් කඩුල්ලේ දී ද ලකුණු 46ක් රැස් කිරීමට ජවේරියා කාන් සහ සානා මිර් (27) සමත් වූහ.

පාකිස්තාන ඉනිම නිමා වෙද්දී නටාලියා පර්වීස් පන්දු 20කට හතරේ සහ හයේ පහරක් බැගින් තම ඉනිමට එක් කර ගනිමින් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා ය. ඇය ජවේරියා කාන් සමඟ රැස් කළ හත්වැනි කඩුල්ලට එක් කළ නොදැවුණ ලකුණු සංඛ්‍යාව 60කි.

පන්දු යැවීමේ දී ශෂිකලා සිරිවර්ධන සහ චමරි අතපත්තු කඩුලු 2 බැගින් දවා ගත් අතර ආරම්භක පන්දු යවන්නියන් වූ අචිනි කුලසූරිය සහ ශ්‍රීපාලි වීරක්කොඩි කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකාරිනියන්ගේ ආරම්භක වමත් පිතිකාරිනී හෂිනි පෙරේරා (00) දෙවැනි පන්දුවේ දී ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පාකිස්තානුවෝ සමත් වූහ. අනතුරුව පිටියේ තරමක ස්ථාවර ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අනෙක් ආරම්භක පිතිකාරිනී නිපුනි හංසිකා සමඟින් නායිකා චමරි අතපත්තු සමත් වූහ. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 51ක් දක්වා රැගෙන ආ අතර නිපුනි හංසිකාගේ (18) දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව නිමා විය.

>>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<<

චමරි අතපත්තු එක් අන්තයක් ප්‍රවේසම් කර ගනිමින් පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගනිමින් අද තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. ඩිලානි මනෝදරා (13) සහ රෙබාකා වැන්ඩොට් (08) අඩු ලකුණු ප්‍රමාණයකට තම කඩුලු පූජා කරද්දී නැවත ශක්තිමත් ඉනිමක් ගොඩ නැගීමේ අඩිතාලම දැම්මේ ශෂිකලා සිරිවර්ධන ය. පන්දු 74කින් පරිපූර්ණ ඇගේ ඉනිම හතරේ පහර 6කින් අලංකාර වූ ලකුණු 44කි.

අනෙකුත් පිතිකාරිනියන් අතුරින් අමා කාංචනා (16) සහ 17 වියැති කවීෂා ඩිල්හාරි (14) පමණක් යම් තරමකින් කණ්ඩායම ගොඩ නගද්දී, ශ්‍රීපාලි වීරක්කොඩි (05), අචිනි කුලසූරිය (00) සහ ඉනෝකා රණවීර (02) අසාර්ථක පිතිකාරියන්ගේ ගොන්නට ඇද වැටුණි.

පන්දු යැවීමේ දී නායිකා බිස්මා මාරූෆ් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දක්වද්දී සනා මිර් ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත්හ.

තරගාවලියේ දෙවැනි එක්දින තරගය මාර්තු 22 දින දඹුල්ලේ දී ම පැවැත්වීමට නියමිත ය.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 250 (50.0) ජවේරියා කාන් නොදැවී 113, නිඩා දාර් 34, සනා මිර් 27, නටාලියා පර්විස් නොදැවි 21, ශෂිකලා සිරිවර්ධන 2/40, චමරි අතපත්තු 2/42

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 181 (45.2) චමරි අතපත්තු 46, නිපුනි හංසිකා 18, ශෂිකලා සිරිවර්ධන 44, සනා මිර් 2/29,බිස්මා මාරූෆ් 3/17

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<