පාකිස්තාන ක්‍රීඩිකාවන් අනුෂ්කාගේ සහ නිලක්ෂිගේ උත්සාහය අපතේ යවයි

234

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී තියුණු තරගයකින් අනතුරුව කඩුල්ලක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක පාකිස්තාන ක්‍රීඩිකාවෝ අද (28) එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී සමත් වූහ.

[rev_slider LOLC]

දෙරට අතර තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙසින් පළමු තරගයේ දී ම ඉදිරියට පැමිණීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූයේ එක්දින තරගාවලි ජයග්‍රහණයේ උණුසුමත් එලෙසින්ම තබා ගනිමිනි.

අද තරගයේ දී පළමු වරට ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වරම් දිනා ගැනීමට 24 හැවිරිදි ඉමල්කා මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් සමත් වූ අතර පාකිස්තානය වෙනුවෙන් ෆරීනා මෙහෙමුද් සහ ගුලාම් ෆාතිමා සමත් වූහ.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක ක්‍රීඩිකාවන්ට ලබා දුන්හ. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 129ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ තරගය අවසානයට පන්දුවක් ඉතිරිව තිබිය දී ය. ඒ වන විට ඔවුන්ගේ කඩුලු 9ක්ම ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්ව සිටියහ.

ශ්‍රී ලංකා ඉනිමේ හපනිය වූයේ ආරම්භක දකුණත් පිතිකාරිනි අනුෂ්කා සංජීවනී ය. ලකුණු පුවරුවේ දැවී ගිය හය වැනි කඩුල්ල දක්වාම පිටියේ රැඳී සිටි ඇය අනෙක් අන්තයෙන් තම සහායිකාවන් දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ඉනිම අවසන් වීමට පන්දුවක් පමණක් ඉතිරිව තිබිය දී දක්වාම සටන්කාමී ඉනිමක නිරත වූවාය. නමුත් අවසන් අවස්ථාවේ දී ඇය දැවී ගියේ ලකුණක් කරා යෑමට ගත් උත්සාහයේ දී ය. ඒ වෙද්දී ඇය පන්දු 58කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියාය. ඇය අද ලබා ගත්තේ තමන්ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ මංගල අර්ධ ශතකයයි.  

වරෙක කඩුලු 5ක් දැවී ලකුණු 38ක්ව තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුවේ අනුෂ්කා සමඟින් 6 වැනි කඩුල්ලට එක්වූ නිලක්ෂි ද සිල්වා ය. ඔවුන් දෙදෙනා අතර එම කඩුල්ලේ සබඳතාව ලකුණු 84කි. ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට නිලක්ෂි පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා සිටියා ය.

ඔවුන් දෙදෙනාට අමතරව නායිකා චමරි අතපත්තු පන්දු 13ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා ගත්තාය. අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 5 සීමාව පසුකර යෑමට පාකිස්තාන පන්දු යවන්නන්ගෙන් කිසිදු අවස්ථාවක් නොලැබූණි.

පන්දු යැවීමේ දී ඩයනා බායි සහ සනා මිර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ පාකිස්තාන ඉනිමේ පළමු සහ දෙවැනි කඩුලු අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කළ ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් ස්ථාවර ලකුණු පුවරුවක් ගොඩ නැගීමට නායිකා බිස්මා මාරූෆ් සහ ජවේරියා කාන් සමත් වූහ. ඔවුන් දෙදෙනා එම කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් එක් කළේ ලකුණු පුවරුව 79ක් දක්වා ඔසවා තබමිනි. එම කඩුල්ලේ සබඳවතාව නිමා කරමින් බිස්මා පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට ගොදුරු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පාකිස්තාන ක්‍රීඩිකාවන් වේලාසනින්ම තරගාවලිය අවසන් කරයි

ශ්‍රී ලංකා නායිකාව අද (22) තම කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සහිතව කාසියේ වාසිය…

අනෙකුත් පිතිකාරින්ගෙන් තරගය දිනවීම වෙනුවෙන් වැඩි දායකත්වයක් නොලැබෙද්දී ජවේරියා කාන් 6 වැනි කඩුල්ල ලෙසින් ලකුණු පුවරුව 121ක්ව තිබිය දී පිටියෙන් ඉවත් කිරීමට සුගන්ධිකා කුමාරි සමත් වූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමෙනි. ඒ වෙද්දී ජවේරියා පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා ය.

ඊළඟ ලකුණු 8 තුළ තවත් කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූව ද තරගය නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබිය දී ගුලාම් ෆාතිමා විසින් එල්ල කරන ලද හතරේ පහරකින් පාකිස්තානය ජය වාර්තා කළේය.

පන්දු යැවීමේ දී සුගන්ධිකා කුමාරි ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත් අතර නිපුනි හංසිකා, ඕෂදී රණසිංහ සහ ශෂිකලා සිරිවර්ධන කඩුල්ල බැගින් ලබා ගත්හ.

තරගාවලියේ දෙවැනි තරගය මේ මස 30 වැනිදා කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 129 (20.0) අනුෂ්කා සංජීවනී 61, නිලක්ෂි ද සිල්වා 35, ඩයනා බායි 2/18, සනා මිර් 2/25

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 133 (19.5) බිස්මා මාරූෆ් 42, ජවේරියා කාන් 52, සුගන්ධිකා කුමාරි 3/23

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<