ශ්‍රී ලංකා කාන්තාවන් පළමු දිනය ජයග්‍රහණයක් සමඟින් අවසන් කරයි

187

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ 3 වන අදියර ඊයේ (14) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි දී ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම දිනයේ අවසන් තරගයේ දී දකුණු කොරියානු කණ්ඩායම හමුවේ ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් දිනය අවසන් කරන්නට සමත් විය.

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක ජයක්

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වන අදියර අද (14) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි දී චීන තායිපේ කණ්ඩායම හමුවේ ලකුණු 33-00ක පහසු ජයක්…

ඉතා උණුසුම් තරග දෙකකින් අනතුරුව ශ්‍රී ලංකා කාන්තාවන් දිනයේ අවසන් තරගයේ දී තරගාවලියේ 3 වන අදියරේ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය. දිනයේ ආරම්භයේ පටන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉතා හොඳින් ක්‍රීඩා කරන්නට සමත් වූ අතර ඒ අනුව දිනය අවසානයේ ඔවුන් ජයග්‍රහණයක් වාර්තා කර ගනු ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට තනූජා වීරක්කොඩි සමත් විය. ඉන් මිනිත්තු කිහිපයකට පසුව නැවත වරක් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගිය තනූජා ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම ද වාර්තා කර ගනු ලැබීය.

තරගයේ පළමු අර්ධය නිමා වන්නට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් විය. එහි දී තනූජා පන්දුව රැගෙන ගොස් දුලානි පල්ලකොන්දගේ හට බාර කළ අතර ඇය පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 19 – 00 දකුණු කොරියාව

තරගයේ දෙවැනි අර්ධයේ දී ද ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඒ අනුව එහි දී ඔවුන් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනු ලැබීය. දෙවැනි අර්ධයේ දී ද තනූජාගේ ක්‍රීඩා විලාශය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට තරගයේ සිය අණසක පතුරුවන්නට බෙහෙවින් ඉවහල් විය. මිනිත්තු කිහිපයක් ගතවෙද්දී දසුනි ද සිල්වා විසින් දෙවන අර්ධයේ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කර ගත් පළමු උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් විය.

අනතුරුව තරගය අවසන් වන්නට පෙර කුමාරි විසින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ වාර්තා කර ගත් පස්වන උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව තරගයේ දී කසකස්තාන කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 29 – 00 දකුණු කොරියාව


ශ්‍රී ලංකාව – හොං කොං

තරගාවලියේ 3 වන අදියරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හොං කොං කණ්ඩායම පරාජයට පත්කිරීමේ අරමුණ ඇතිව තරගයට පිවිසි අතර කෙසේ නමුත් උණුසුම් තරගයකින් අනතුරුව තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගන්නට හොං කොං ක්‍රීඩිකාවන් සමත් විය. ප්‍රබල ජපාන කණ්ඩායම සමඟ උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආරක්ෂාකාරීව හොඳින් ක්‍රීඩා කළ ද ඔවුන් ලකුණු ලබා ගැනීමට කළ උත්සාහයන්වල දී සිදු වූ දෝෂ හේතුවෙන් තරගය ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව අහිමි විය.

කෙසේ නමුත් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසිනි. එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ වාසනා වීරක්කොඩි විසිනි. එහි දී ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් අතින් ගිලිහුණු පන්දුව දුලානි පල්ලකොන්දගේ විසින් රැගෙන ගොස් වාසනා හට බාර කළ අතර ඇය පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 05 – 00 හොං කොං

දෙවන අර්ධයේ දී හොං කොං කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සිදු කරමින් නව ක්‍රීඩිකාවන් පිටියට ආදේශ කරනු ලැබීය. දෙවන අර්ධයේ දී හොං කොං ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ව ඔවුන්ගේ අර්ධයේම රඳවමින් ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට පන්දුව රැගෙන දිවයන්නට ඔවුන් අවස්ථාවක් ලබා දුන්නේ නැත.

ඔවුන් එල්ල කළ පීඩනය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තනූජා වීරක්කොඩි හට කහ කාඩ්පතක් නිකුත් වූ අතර ඒ අනුව ඇය පිටියෙන් ඉවත්ව යාම නිසා හොං කොං කණ්ඩායමට තරගයේ සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට අවස්ථාව සැලසිණ. එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ ජෙසිකා හෝ විසිනි. ඉන් මිනිත්තු කිහිපයකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර ඇතිවූ හිඩැසකින් ප්‍රයෝජන ලබාගත් හොං කොං කණ්ඩායමේ පූන් හොයි යැන් ඔවුන්ගේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 05 – 10 හොං කොං

වෙනස්කම් 4ක් සහිතව ශ්‍රී ලංකා රග්බි සංචිතය එළියට

ලබන 14 සහ 15 දෙදින පුරාවට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින්…


ශ්‍රී ලංකාව – ජපානය

තරගයේ ලකුණු තත්වය පෙන්නුම් කරන තත්වයට වඩා ඉතා වෙනස් තත්වයක් මෙම තරගයේ දී පැවති අතර මෙහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රබල ජපාන කණ්ඩායමට උණුසුම් තරගයක් ලබා දෙන්නට සමත් විය. තරගය ආරම්භයේ කණ්ඩායම් දෙකම තරමක් දුර්වල ක්‍රීඩා රටාවක් දියත් කළ අතර ජපාන කණ්ඩායම තරගය ආරම්භ වී මිනිත්තු 3ක් යනතුරු මැඩපවත්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්‍ෂක වළලු බිඳ දැමූ ජපාන කණ්ඩායමේ නායිකා නකමූරා තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය.

කෙසේ නමුත් ඉන් මිනිත්තුවකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අයේෂා කළුආරච්චි උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අනපේක්‍ෂිත ලෙස තරගයේ පෙරමුණ ගන්නට සමත් විය.

විද්‍යා ක්‍රීඩකයින් අසරණ කරමින් ශූරතාවය ඉසිපතනය ඩැහැ ගනී

සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ. තරගාවලිය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කළ ඉසිපතන ක්‍රීඩකයින්…

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 07 – 05 ජපානය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ දෙවන අර්ධයට ද හොඳ ආරම්භයක් ලබා ගන්නට සමත් විය. එහි දී ඔවුන් ඉතා ප්‍රබල ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට සමත් වූ අතර ඒ අනුව දෙවන අර්ධයේ පළමු මිනිත්තු කිහිපය තුළ දී ජපාන ක්‍රීඩිකාවන් මැඩපවත්වා ගනිමින් තරගයේ පෙරමුණේ රැඳෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. නමුත් දෙවන අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් සිදු වූ අතපසුවීම් තුළින් ප්‍රයෝජන ලබාගත් ජපාන ක්‍රීඩිකාවන් තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් විය.

ජපානය වෙනුවෙන් දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට නායිකා නකමූරා සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ඔවුන් සාර්ථක කර ගනු ලැබීය. අනතුරුව තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබූ නකමූරා ජපාන කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 07 – 17 ජපානය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<