ශ්‍රී ලංකා පිළේ ගෞරවය මැදපෙළ පිතිකරුවන් අතට!

795
sl v zim day 4

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (17) දිනය ගෙවී යන විට තරගයේ උණුසුම තව තවත් ඉහළ දමමින් ජයග්‍රහණය වෙනුවෙන් දෙපිළ අතර ද්වන්ධ සටනක් ඇතිවී තිබේ. ඒ තවමත් ටෙස්ට් ලෝකයේ ප්‍රාථමික අවධියේ පසුවන සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ඉනිම වෙනුවෙන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව දැනටමත් යුධ ප්‍රකාශ කර ඇති බැවිනි.

දණින් වැටුණු ඉනිම ගොඩ නැගූ රාසා මංගල ශතකයට ඉව අල්ලයි

සිම්බාබ්වේ පිළ සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද දිනය (16) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බලවත් අසීරුතාවයකට පත්ව තිබේ.

දිනය ආරම්භ වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 252ක් ලෙස සටහන් වූ සිම්බාබ්වේ ඉනිමට අද තවත් ලකුණු 125ක් එක්විය. ඒ මැදපෙළ පිතිකරු සිකන්ඩර් රාසා සහ නායක ග්‍රැහැම් ක්‍රීමර් දියත් කළ සාර්ථක පිතිකරණය හේතුවෙනි. තම මංගල ශතකය ලෙස රාසා අද ලකුණු 127ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමඟිනි. මීට අමතරව සිව්වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස මැල්කම් වොලර් ලකුණු 68ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පිළේ හිසරදය තවදුරටත් ඉහළ නංවමින් සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් අද තම මංගල අර්ධ ශතකය ආසන්නයටම පැමිණීමට සමත් විය. ඒ හතරේ පහර 5ක් සමඟින් ලකුණු 48ක් රැස් කරමිනි. තම ටෙස්ට් දිවියේ එක් ශතකයක් රැස්කර ඇති ඔහු මේ දක්වා කිසිදු අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වී නැත. මීට අමතරව අවසන් පෙළ පිතිකරු ඩොනල්ඩ් තිරිපානෝ ලකුණු 19කින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

පන්දු යැවීමේ දී රංගන හේරත් නැවතත් ඉනිමක කඩුලු 5 බැගින් දවා ගැනීමක් සටහන් කළ අතර සමස්ත තරගය පුරාවට ඔහු බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 11ක් බවට පත්විය. ඒ දෙවැනි ඉනිමේ දී ලකුණු 133ට කඩුලු 6ක් දවා ගැනීමත් සමඟයි. මීට අමතරව දිල්රුවන් පෙරේරා ලකුණු 95කට කඩුලු 3ක් දවා ගත්තේය. සිම්බාබ්වේ ඉනිම දෙක පුරාවටම ශ්‍රී ලංකා පිළේ වේග පන්දු යවන්නන්ගෙන් සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රකට නොවීම සිම්බාබ්වේ පිතිකරුවන් මෙල්ල කිරීම අපහසු වීමට ප්‍රබල හේතුවක් බවට පත්විය.

ඒ අනුව අද දිවා කාලය එළඹෙත්ම සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 377ක දැවැන්ත ලකුණු පුවරුවක් ආර්. ප්‍රේමදාස පිටියේ නිර්මාණය කිරීමට සමත් විය. ඒ අනුව පළමු ඉනිමේ දී පිටුපසින් සිටි ලකුණු 10ත් සමඟින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදුවූයේ ලකුණු 388ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමටයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න සහ උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කරමින් ඒ සඳහා යම් සාර්ථක පදනමක් සකසා දෙන්නට සමත් වූහ.

කෙසේ වෙතත් ලකුණු 400කට ආසන්න ඉලක්කයක් හඹා යෑමේ දී වැදගත් කාර්‍යභාරයක් ඉටු කළ හැකිව තිබූ උපුල් තරංගගේ ඉනිම අද ලකුණු 27දී නිමාව දුටු අතර දිමුත් කරුණාරත්න අර්ධ ශතකයට එක් ලකුණක් මෙපිටින් දැවී ගියේය. ඒ සිම්බාබ්වේ දඟපන්දු යවන්නන්ගේ සාර්ථකත්වය නිසාවෙනි. ශ්‍රී ලංකා පිළට ඉහළ ලකුණු සබඳතාවයක් අත්‍යවශ්‍ය මොහොතේ එම වගකීම හිස දරාගෙන පිටියට පැමිණි නායක චන්දිමාල්ගෙන් ද ප්‍රකට වූයේ අවස්ථාවට උචිත පිතිකරණයක් නොවේ. තරගය නිමා වීමට තවත් සම්පූර්ණ දිනයක්ම ඉතිරිව තිබිය දී ඔහු අනවශ්‍ය කලබලයකින් ඉනිම ගොඩ නැගීමට යාමේ අවසන් ප්‍රතිඵලය බවට පත්වූයේ ලකුණු 15ක් ලබා සිටිය දී චන්දිමාල්, ක්‍රීමර්ගේ පන්දුවකට ගොදුරු වීමයි.

කෙසේ වෙතත් තෙවැනි කඩුල්ල දැවී යාමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 37ක නොබිඳුනු සබඳතාවයක් පිහිටුවමින් දිනය නිමා වන තුරුම පිටියේ රැඳී සිටීම ශ්‍රී ලංකාවට යම් සහනයක් ගෙන දීමට සමත් විය. මේ වන විට ශ්‍රී ලංකා පිළේ ඉහළම බලාපොරොත්තුව බවට පත්ව සිටින කුසල් මෙන්ඩිස් අද දිනය නිමා කළේ නොදැවී ලකුණු 60ක් රැස්කර ගනිමිනි. ඔහුගේ ඉනිමට කල්යල් මැන එල්ල කරන ලද හතරේ පහර 6ක් ද ඇතුළත් විය. තරගය අතරතුර දී ඔහු ආබාධයකට මුහුණ දුන්නද ඔහු නැවත ක්‍රීඩාගාරයට හැරී යාම ප්‍රතික්ෂේප කරමින් සටන ඉදිරියට ගෙන ගිය ආකාරය අතිශයින්ම ප්‍රශංසනීය විය. අනෙක් අන්තයේ රැඳී සිටින ඇන්ජෙලෝ මැතිව්ස් මේ වන විට නොදැවී ලකුණු 17ක් රැස් කරගෙන සිටියි.

ඒ අනුව දිනය නිමාවෙද්දී පන්දුවාර 48කට මුහුණ දී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී කඩුලු 3ක් දැවී ලකුණු 170ක් රැස් කරගෙන තිබේ. ඒ අනුව රටවල් දෙකක ගෞරවය තීරණය කෙරෙන තීරණාත්මක පස්වැනි දිනය එළඹෙන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට වඩා තවත් ලකුණු 218ක් පිටුපසිනි. එබැවින් හෙට දිනයේ දී සියලු මැදපෙළ පිතිකරුවන් වගකීම කරට ගෙන ක්‍රීඩා කිරීම අනිවාර්ය වන වේ. කෙසේ වෙතත් මෙම ලකුණු සංඛ්‍යාව සපුරා ගැනීමට අවශ්‍ය තරමේ පන්දුවාර ගණනක් ඉතිරිව ඇති නිසා හෙට  දිනයේ ටෙස්ට් තරග ජයග්‍රාහකයෙකු පිළිබඳ ප්‍රේමදාස පිටිය දෙසින් අසන්නට ලැබෙන බව නම් සහතිකය.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 356 (පන්දුවාර 94.4)
ක්‍රේග් අර්වයින් 160, සිකන්ඩර් රාසා 36, මැල්කම් වොලර් 36, ඩොනල්ඩ් තිරිපානෝ 27, සීන් විලියම්ස් 22, හැමිල්ටන් මැසකඩ්සා 19, පීටර් මුවර් 19, රංගන හේරත් 5/116, අසේල ගුණරත්න 2/28.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 346 (පන්දුවාර 102.3)
උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, අසේල ගුණරත්න 45, ඇන්ජෙලෝ මැතිව්ස් 41, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 25, ග්‍රැහැම් ක්‍රීමර් 5/125, සීන් විලියම්ස් 2/62.

සිම්බාබ්වේ (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 377 (පන්දුවාර 107.1)
සිකන්ඩර් රාසා 127*, මැල්කම් වොලර් 68*, පීටර් මුවර් 40, ග්‍රැහැම් ක්‍රීමර් 48, සීන් විලියම්ස් 22, රංගන හේරත් 6/133, දිල්රුවන් පෙරේරා 3/95.

ශ්‍රී ලංකාව (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 170 (පන්දුවාර 48)
කුසල් මෙන්ඩිස් 60*, දිමුත් කරුණාරත්න 49, උපුල් තරංග 27, ඇන්ජෙලෝ මැතිව්ස් 17*, ග්‍රැහැම් ක්‍රීමර් 2/67, සීන් විලියම්ස් 1/62.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට