ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය වර්ෂාවට සේදී යයි

230
CRICKET-ZIM-SRI

සිම්බාබ්වේ හිදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද (21) ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් බුලවායෝ නුවර අද පැවති අයහපත් කාලගුණ තත්වය නිසා තරගයේ ක්‍රියාත්මක කල හැකි වූයේ පන්දුවාර 13යි පන්දු 3ක් පමණි.

පසුගිය ලිපි: ලකුණු සමවීමෙන් කෙලවර වූ සිම්බාබ්වේ – කොදෙව් ක්‍රිකට් සටන

ඊයේ රාත්‍රී කාලයේ පැවති වර්ෂාවත්, වළාකුළු සහිත කාලගුණයත් නොසලකා හැරි සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් තීරණය කළේ කලින් තරගයේදී මෙන්ම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි චමු චිබාබා, නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ලකුණු 8ක් පමණක් ලබා සිටියදීය. බ්‍රයන් චාරි ලකුණු 11ක් රැස් කරගෙන සිටියදී දුවද්දී දැවී යාමකට හසු විය. වමත් පිතිකරු ක්‍රේග් අර්වයින් හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 23ක් වාර්තා කළේය.

තරගය අතරතුර බුලවායෝ අහස වළාකුළින් බරවීම නිසාත්, අකුණු සහිත කාළගුණයක් පැවති නිසාත් තරගය නතර කර ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරු තීරණය කළහ. ඉන් අනතුරුව ඇදහැලුණු දැඩි වර්ෂාව නිසා පිටිය තෙත බරිත වී තිබීම හේතුවෙන් තරගය නැවත ආරම්භ කල හැකි තත්වයක් උදා නොවීය. විනිසුරුවරුන් දෙවරක්ම පිටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තරගය අත්හැර දැමූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

අද තරගය අත්හැර දැමීමත් සමඟ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමෙන් තවදුරටත් ඈත්විය. ඔවුන්ට අවසන් තරගයේ ස්ථානයක් වෙන්කර ගැනීමට සුළු අවස්ථාවක් හෝ හිමිකර ගැනීමට නම් නොවැම්බර් 25 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජය ගැනීමට දැන් සිදුවේ. මේ වන විට කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව ලකුණු 7 බැගින් ලබමින් ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල පසුවන අතර සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 4ක් ලබාගෙන අවසන් ස්ථානයේ පසුවෙයි. තරගාවලියේ මීලඟ තරගය නොවැම්බර් 23 වැනිදා ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර බුලවායෝ හිදීම පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ – කඩුලු 2ක් දැවී ලකුණු 55 (පන්දුවාර 13.3): ක්‍රේග් අර්වයින් 23*, බ්‍රයන් චාරි 11, චමු චිබාබා 8, නුවන් කුලසේකර 1/17.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට