වාර්තාගත ජයක් සමඟින් සිම්බාවේ කණ්ඩායම සිංහයන් හඬවයි

2397

ශ්‍රී ලංකා පොළොව මත දී ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹා ගොස් එක්දින තරගයක් ජය ගන්නට ලොව කිසිදු කණ්ඩායමක් සමත්ව සිටියේ නැත. නමුත් අද (30) එම දුර්ලභ අවස්ථාව දැක ගැනීමට ගාලු ක්‍රීඩාංගණයට පැමිණි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව හිමි වූ නමුත් එම ගෞරවයේ හිමිකරුවන් වූයේ ඔවුන් බලාපොරොත්තු වූ කණ්ඩායම නම් නොවේ.

ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

පාදයේ ආබාධයකට ලක්ව සිටීම නිසා කුසල් ජනිත් පෙරේරා හට සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය..

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු 316ට පිළිතුරු වශයෙන් පන්දුවාර 47යි පන්දු 4ක් තුල කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 322ක් ලබා ගත් සිම්බාබ්වේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ දී පළමු වරට සත්කාරකයන්ට එරෙහිව එක්දින තරගයක් ජය ගන්නට සමත් වුනේ මෙරට දී එක්දින තරගයක හඹා ගොස් ජය ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද අලුත් කරමිනුයි.  

කෙසේ නමුත් අද දිනය ආරම්භ වූයේ වසර 17කට පසු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වර්ණවත් ඇඳුමින් සැරසුණු ජාත්‍යන්තර නායකයන් දෙදෙනෙක් කාසියේ වාසිය සඳහා පිටිය මැදට ගෙන එමිනි. ශ්‍රී ලංකා නායකයෙකුගේ සුරතින් ඉහළ ගිය කාසිය බිම පතිත වුනේ ග්‍රැහැම් ක්‍රීමර්ගේ තීරණයට විරුද්ධවයි. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් ගාලු තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ශ්‍රී ලංකා සංචිතයට පසුව කැඳවුම් ලැබූ අමිල අපොන්සෝ, ලක්ෂාන් සඳකැන් අභිබවමින්  කණ්ඩායමේ ස්ථානයක් වෙන් කර ගනිද්දී, ලහිරු මධුශංක සහ කලකට පසු අකිල ධනංජය ද ජාතික කණ්ඩායමට ඇතුලත් වීමේ වරම් දිනා තිබුණි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 10කට දැවී යාමෙන් අනතුරුව ගුණතිලක සමඟින් එක්වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමට ස්ථාවරත්වයක් එක් කළේ දෙවන කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක් ගොඩ නගමිනි. ආරම්භයේ දී තම සුපුරුදු වේග රිද්මය සොයා ගැනීමට අසමත් වුවත්, පරික්ෂාකාරී පිතිහරඹයකින් පසු ලකුණු අතරට පිවිසි ගුණතිලක පන්දු 77ක දී ලකුණු 60ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟයි.

 >> ඡායාරූප ඇල්බමය <<

මෙන්ඩිස් සිය සුපුරුදු තාක්ෂණයෙන් අනූන පිතිහරඹයේ නිරත වෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් එල්ල කළ අතර ඔහුගේ ඉනිම ලකුණු 86කට සීමා වූයේ ග්‍රැහැම් ක්‍රීමර් හට පෙරලා උඩපන්දුවක් ලබා දීමත් සමඟයි. මේ අතරතුර එක්දින ලකුණු 1000 සම්පූර්ණ කළ දෙවන වේගවත්ම (සම) පිතිකරුවා බවට පත් වන්නටත් මෙන්ඩිස්ට හැකියාව ලැබුණි. ඔහු ඒ සඳහා ඉනිම 28ක් වැය කර ඇති අතර රෝයි ඩයස් ඉනිම 27කිනුත් උපුල් තරංග ඉනිම 28කිනුත් අදාළ කඩ ඉම පසු කර තිබේ.

මේ අතර තරංග ද තම එක්දින දිවියේ කඩ ඉමක් පසු කළේ ලකුණු 6000 සම්පූර්ණ කරමිනි. ඔහුගේ 192 වන එක්දින ඉනිම මෙය වන අතර ලකුණු 6000 පසු කළ තෙවන වේගවත්ම ශ්‍රී ලාංකික පිතිකරුවා තරංගයි.

තරංග සමඟ එක්ව පන්දු 62ක දී ලකුණු 74ක වේගවත් සබඳතාවක් ගොඩනගන්නට මූලිකත්වය ගත්තේ නායක ඇන්ජලෝ මැතිව්ස් ය. මැතිව්ස් හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 43ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 30ක් පමණයි. ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි උපුල් තරංග හතරේ පහර 8ක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු 79ක් රැස් කරන ලදි.

ලකුණු 28ක් රැස් කළ අසේල ගුණරත්නගේ දායකත්වය ද සමඟින් ලකුණු 300 සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාර විවේකය සඳහා පිවිසුනේ ඉහළ මට්ටමේ ඉලක්කයක් පිහිටුවීමේ සතුට මෙන්ම පිතිකරුවන් සියලු දෙනාම පාහේ සිය රිද්මය සොයා ගැනීමේ සතුට ද සමඟයි.  

කෙසේ වෙතත් ඔවුන්ගේ එම සතුට පැය කිහිපයකට වඩා රඳවා ගන්නට සොලමන් මයර් ප්‍රමුඛ සිම්බාබ්වේ පිතිකරුවන් ඉඩ ලබා දුන්නේ නැත.

ලකුණු 317ක විශාල ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 46ක් වෙද්දී බිඳ වැටුණි. ලසිත් මාලිංග පන්දු යැවීමේ සීමා ඉරේ අන්තිම දශමයටම පා තබමින් යැවූ පන්දුවකට ලකුණු 5ක් ලබා සිටි හැමිල්ටන් මසකඩ්සා කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දුන් අතර ලකුණු 18ක් ලබා සිටි ක්‍රෙග් අර්වින් දැවී ගියේ අකිල ධනංජයගේ පන්දුවක් හමුවේයි.

අනතුරුව පිටියේ එක්වූ සොලමන් මයර් සහ ෂෝන් විලියම්ස් 3 වන කඩුල්ලට ලකුණු 161ක දැවැන්ත සහ වේගවත් සබඳතාවක් ගොඩනැගුවේ පන්දු 133ක් පමණක් වැය කරමිනුයි. එම සබඳතාව සඳහා ධනුෂ්ක ගුණතිලක සහ ලසිත් මාලිංග අතින් ගිලිහී ගිය උඩ පන්දුවලින් මෙන්ම සමස්තයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමෙන් ද හිමි වුනේ අනගි සහයකි.

සිය මංගල එක්දින ශතකය වාර්තා කළ මයර් සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතේ ස්ථාවරව ඉදිරියට ගෙන යන්නට සමත් විය. ඔහු පන්දු 96ක දී ලකුණු 112ක් ලබා ගත්තේ හතරේ පහර 14ක් ද සමඟිනි. මයර් හට අනගි සහයක් ලබා දුන් ෂෝන් විලියම්ස් ලකුණු 65ක් ලබා ගන්නා ලදි.

සිම්බාබ්වේ ඉනිමේ හරි අඩක්ම අවසන් වන තෙක් මේ දෙදෙනාගේ ප්‍රහාරය හමුවේ සියලු පන්දු යවන්නන් අසරණව සිටි මොහොතක නායක ඇන්ජලෝ මැතිව්ස් හට අසේල ගුණරත්න තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව සිහියට නැගීම තරගයේ ගමන්මග තරමකට හෝ වෙනස් කළ තීරණයක් විය. සිය දෙවන පන්දු වාරයේ දී සොලමන් මයර් ලබා දුන් උඩපන්දුවක් ගිලිහී යන අයුරු බලා සිටි අසේල තම 4 වන පන්දුවාරයේ දී මයර් ව නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීම සඳහා කිසිදු පන්දු රකින්නකුගේ සහාය බලාපොරොත්තු වූයේ නැත.

තවත් පන්දු වාරයක අවෑමෙන් ෂෝන් විලියම්ස්ගේ ඉනිම අවසන් කිරීම සඳහා ක්‍රියාත්මක වූයේද අසේල ගුණරත්නයි. ඒ වන විටත් සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 100කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත යුතුව තිබුණි. කෙසේ වෙතත් සිකන්දර් රාසා සහ මැල්කම් වොලර් තවත් සාර්ථක සබඳතාවක් ගොඩනගන විට ඊට ලබා දිය හැකි විසඳුමක් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිවෙකු සතුව නොතිබුණි.

රාසා නොදැවී ලකුණු 67ක් ලබා ගනිද්දී වොලර් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 40ක්. අමිල අපොන්සු ක්‍රියාත්මක කළ 48 වන පන්දු වාරයේ 4 වන පන්දුවට සිම්බාබ්වේ ඉනිමේ පළමු සහ එකම හයේ පහර එල්ල කරමින් රාසා ඔවුන්ගේ ශතක සබඳතාව සපුරා ගත්තා පමණක් නොව ඔවුන්ගේ එක්දින ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන පරිච්ඡේදයක අවසානය මාණික්‍යයකින් සරසන්නට ද සමත් විය.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<  

Sri Lanka - BattingToss: Sri Lanka
Niroshan Dickwellac Burl b Chatara10 (13)
Danushka Gunathilakac Ervine b Williams60 (77)
Kusal Mendisc & b Cremer86 (80)
Upul TharangaNot Out79 (73)
Angelo Mathewsb Mire43 (30)
Asela Gunarathnec Waller b Chatara28 (26)
Lahiru MadushankaNot Out1 (1)
Akila Dananjaya
Amila Aponso
Lasith Malinga
Nuwan Pradeep
TotalExtras (9)316/5 (50 overs)
Zimbabwe - BowlingOMRW
Tendai Chatara91492
Donald Tiripano60450
Sean Williams90571
Graeme Cremer100571
Solomon Mire70471
Sikandar Raza90580
Zimbabwe - BattingToss: Sri Lanka
Hamilton Masakadzac Dickwella b Malinga5 (14)
Solomon Mirec & b Gunarathne112 (96)
Craig Ervinec Tharanga b Dananjaya18 (23)
Sean Williamsb Gunarathne65 (69)
Sikandar RazaNot Out67 (56)
Malcolm WallerNot out40 (29)
Ryan Burl
PJ Moor
Graeme Cremer
Donald Tiripano
Tendai Chatara
TotalExtras (15)322/4 (47.4 overs)
Sri Lanka - BowlingOMRW
Lasith Malinga90501
Nuwan Pradeep91510
Akila Dananjaya100611
Amila Aponso8.40770
Danushka Gunathilaka20130
Lahiru Madushanka20180
Asela Gunarathne 70462