දිමුත් සහ කෞෂාල්ගෙන් ශ්‍රී ලංකාවට සුපිරි ආරම්භයක්

754
Sri Lanka vs South Africa Practice match day 1 report

නුදුරේදීම ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය පිලිබඳ සුබවාදී බලාපොරොත්තු ඇති කරමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායම අතර තෙදින පුහුණු තරගයේ පළමු දිනය ඊයේ (18) නිමාවට පත්විය. එහිදී කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිනය නිමාවන විට කඩුලු 6ක් දැවී ලකුණු 328ක් ලබා සිටියි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ජයග්‍රහණය

පසුගිය ඕස්ට්‍රේලියානු තරගාවලියේ ලකුණු නියඟයකට මුහුණ දී සිටි දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ඊයේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිස සාර්ථක පිති හරඹයක යෙදෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 159ක සබඳතාවයක් ගොඩනැගීය. දිමුත් කරුණාරත්න හතරේ පහර 10ක් සමඟින් ලකුණු 71ක් ද, කෞෂාල් සිල්වා හතරේ පහර 11ක් සමඟින් ලකුණු 80ක් ද ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් පිටිය හැර යාමට තීරණය කළහ.

ඊයේ අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා ලකුණු 25කට දැවී ගියේය. එළඹෙන දකුණු අප්‍රිකානු තරගාවලියේ තීරණාත්මක සාධකයක් විය හැකි පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් ඊයේ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය. ආබාධයෙන් පසු නැවත ජාතික කණ්ඩායම සමඟ එකතු වූ ඇන්ජෙලෝ මැතිව්ස් ඊයේ ලකුණු නොලබාම දැවී ගියේ ෆෙඩ්‍රික් ලින්ඩ්ගේ පන්දුවකට මොසෙලි අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. දිනේෂ් චන්දිමාල්ට ඊයේ රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 23ක් පමණි.

ඊයේ සවස් භාගයේ අංක 7 පිතිකරු ලෙස පැමිණි ධනංජය සිල්වා දිනය නිමාවන තුරුම කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය. ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහර දෙන උපුල් තරංග ලකුණු 8ක් ලබා සිටියි. ඊයේ දිනයේ පන්දුවෙන් වැඩි සාර්ථකත්වයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් නොවූ අතර ෆෙඩ්‍රික් ලින්ඩ් ලකුණු 72කට කඩුලු 2ක් බිඳ හෙලීය. ප්‍රථම දිනයේ පිත්තෙන් දැක්වූ සාර්ථකත්වය නිසාම හෙට දිනයේ ධනාත්මක මානසිකත්වයකින් පිටියට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දැන් උදාවී තිබේ.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 328 (පන්දුවාර 87): කෞෂාල් සිල්වා 80, කෞෂාල් සිල්වා 71, ධනංජය සිල්වා 57*, කුසල් මෙන්ඩිස් 51, දිල්රුවන් පෙරේරා 25, දිනේෂ් චන්දිමාල් 23, ෆෙඩ්‍රික් ලින්ඩ් 2/72, ජේසන් ස්මිත් 1/26, ඩුවාන් ඔලිවර් 1/33.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට