තිසර සහ ලක්මාල් කඩුලු කඩඉම් සමරද්දී ආගන්තුකයින් තරගය ජය ගනී

1258

තිසර පෙරේරා සහ සුරංග ලක්මාල් තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ සුවිශේෂී කඩුලු කඩඉම් ස්පර්ශ කළ ද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද (01) නිමා වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී කඩුලු 4ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වුනා. එම ජයග්‍රහණයත් සමඟින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් සේ ඉදිරියෙන් පසු වීමට ඔවුන් සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම ඉනිම අල කර ගනිති

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට්….

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 244ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 246ක් ලබා ගත්තා. මේ වෙනුවෙන් ඔවුන් උපයෝගී කර ගත්තේ පන්දුවාර 43ක් පමණයි.

ජයග්‍රාහී දකුණු අප්‍රිකා ඉනිමේ ප්‍රබලතම පිතිකරු වූයේ ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ය. ඔහු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 87ක් ලබා ගත්තා. ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් කසුන් රාජිතගේ මංගල ගොදුර බවට පත් වුණේ කොක් ය. ඔහු අද රැස් කළේ තමන්ගේ 16 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි.

ඔහු සහ හෂීම් අම්ලා එක්ව ආරම්භක කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 91ක්. අම්ලා අකිල දනංජයගේ පන්දුවකට පෙරළා ඔහු වෙතටම උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 43කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා.

දකුණු අප්‍රිකා ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණ ලකුණු 53 ද මේ පරාජයට යම් බලපෑමක් කළා. එහි නියමුවන් වූයේ කොක් සහ නායක ඩු ප්ලෙසීස්. කොක් එම අවස්ථාවේ දැවී ගිය අතර ඩු ප්ලෙසිස්ගේ ඉනිම ලකුණු 49 දී අහිමි වුනා. ඒ නැවත වරක් අකිල දනංජයගේ ක්‍රියාත්මක වීමෙන්. ඩු ප්ලෙසිස් දැවී යන විට පන්දු 41කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා.

ඩේවිඩ් මිලර් (03) ගේ කඩුල්ල දවා ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බැලූ නායක සුරංග ලක්මාල් අද තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ කඩුලු 100 වාර්තා කළා. මෙම කඩඉමට ළඟා වූ 17 වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ ඔහුයි.

‘තහනම් ගහේ ගෙඩි කෑ ගමනේ අවසන් පැය 24 දී වර්ණපුරලා ගහපු ගේම

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ චරිත ගණනාවකි. එ් අතරින් බන්දුල වර්ණපුරට හිමිවන්නේ සුවිශේෂී….

දකුණු අප්‍රිකා ඉනිමේ ලකුණු 200 වාර්තා වෙන විට කඩුලු 5ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා. ඒ වෙද්දී ක්‍රියාත්මකව තිබුණේ තරගයේ 33 වැනි පන්දුවාරයයි. දකුණු අප්‍රිකා ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑවටත් වඩා පන්දුවාර තිබුණ ද කඩුලු 5ක් දැවී යෑම ඔවුන් තරමක සසල කිරීමක් වුනා. එහෙත් එම අවස්ථාවේ දී වඩාත් සන්නද්ධ වූ ජේ. පී. ඩුමිනි සහ වියාන් මුල්ඩර් 6 වැනි කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් ගොඩ නගමින් ජයග්‍රාහී ලකුණු ප්‍රමාණයට ආසන්න වුනා.

පන්දු 29ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා සිටි ඩුමිනි දවා ගනිමින් තිසර පෙරේරා තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ කඩුලු 150 සීමාවට පැමිණියා. තරගය නිමා වන විට වියාන් මුල්ඩර් (19*) සහ ඇන්ඩිල් පෙලුක්වායෝ (07*) නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී අකිල දනංජය වේලාසනින්ම තම පන්දුවාර 10 අවසන් කළේ ලකුණු 60කට ඉදිරි පෙළ කඩුලු 3ක් ම දවා ගනිමින්. ඊට අමතරව කසුන් රාජිත, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කලකට පසු ආදර්ශමත් ඉනිමක් ගොඩ නැගූ නායක ඇන්ජලෝ මැතිව්ස් අද තමන්ගේ එක්දින ජාත්‍යන්තර පිටියේ 35 වැනි අර්ධ ශතකය වාර්තා කළා. මැතිව්ස් තමන් මුහුණ දුන් 71 වැනි පන්දුවේ දී තම අර්ධ ශතකය වාර්තා කළ අතර ඉනිම අවසාන වන විට පන්දු 111කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 79ක් ලබා සිටියා.

ඔහු මේ වසරේ එක්දින ජාත්‍යන්තර තරගයක දී අර්ධ ශතකය අභිබවා ගිය පළමු අවස්ථාව මෙයයි. අවසන් වරට මැතිව්ස් අර්ධ ශතකයක් අභිබවා ගිය ඉනිමක් ක්‍රීඩා කර තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මොහාලි හි දී රැස් කළ ශතකයයි.

උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ආරම්භ කළ ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී ආරම්භක පිතිකරු උපුල් තරංග සහ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන ලුන්ගි නිගිඩි සමත් වුනා. ඒ වෙද්දී ලකුණු පුවරුව 13ක් ව තිබූ අතර තරංග පන්දු 8කට හතරේ පහර දෙකක් සමඟ ලකුණු 9ක් රැස් කරගෙන සිටියා. තරංගගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ පන්දුවේ දී මෙන්ඩිස් දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

අනතුරුව ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ කුසල් පෙරේරා (12) එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 43ක් එක් කළා. දික්වැල්ල අද තමන්ගේ එක්දින ජාත්‍යන්තර දිවියේ 6 වැනි අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුනා. කෙළින්ම පන්දුව කඩුල්ලේ වද්දා ගැනීමෙන් දික්වැල්ල දැවී යන විට පන්දු 78කට මුහුණ දී හතරේ පහර 10ක් සමඟ ලකුණු 69ක් ලබා සිටියා. ඔහු නායක ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක් වෙමින් සිව්වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව  67ක්. එය ශ්‍රී ලංකා ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව වුනා.

සිව්වැනි කඩුල්ල ලකුණු 123 දී අහිමි වූ ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල අහිමි වූයේ ලකුණු පුවරුව 165ක් වෙද්දී. ඒ ෂෙහාන් ජයසූරිය ලකුණු 18කට දැවී යෑමත් සමඟින්. කෙතරම් බලාපොරොත්තු තබා සිටිය ද තිසර පෙරේරාට ද අද තරගය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔහු ලකුණු 19කට දැවී ගියා.

ඉන් අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන් වූ අකිල දනංජය (09), සුරංග ලක්මාල් (07) අඩු ලකුණුවලට සීමා වෙද්දී මංගල එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් ප්‍රභාත් ජයසූරිය ඉනිම නතර කෙරෙන විට නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.

ලහිරු කුමාරට ඇබැද්දියක්

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි …..

කඩුලු ලබා ගැනීමේ දී ලුන්ගි නිගිඩි සහ ඇන්ඩිල් පෙලුක්වායෝ කඩුලු 3 බැගින් ලබා ගත් අතර කගීසෝ රබාඩා සහ වියාන් මුල්ඩර් කඩුල්ල බැගින් දවා ගත්තා.

අද තරගයේ දී සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා තම එක්දින ජාත්‍යන්තර තරගවල කඩඉම් කඩුලු දඩබිම් සකස් කළ ද ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නැවත වතාවක් පිතිකරුවන් කෙරෙහි විශ්වාසය තබා පළමුවෙන් පන්දුවට පහර දීමට කාසියේ වාසියේ තීරණය උපයෝගී කර ගත්තා.

සත්කාරක ක්‍රීඩකයෝ අද තරගයට සහභාගී වූයේ පළමු තරගයට සහභාගී වූ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් කරමින්. පළමු තරගයට වේගපන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් සිටි ලහිරු කුමාර පුහුණුවීම්වල දී වූ අනතුරක් හේතුවෙන් අද තරගයට නම් නොකළ අතර ඒ වෙනුවට 25 හැවිරිදි දකුණතින් මඳ වේගපන්දු යවන කසුන් රාජිත එක් වුනා. ඊට අමතරව ලක්ෂාන් සඳකැන්ගේ ස්ථානය ප්‍රභාත් ජයසූරියට හිමි වුනා. රාජිත සහ ප්‍රභාත්ගේ මංගල එක්දින ජාත්‍යන්තර තරග ප්‍රවිශ්ඨයයි මේ.

තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න

දකුණු අප්‍රිකාව පෙර තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ කිසිදු වෙනසක් නොකරමින් අද තරගයට අවතීර්ණ වුනා.

ශ්‍රී ලංකාව; කඩුලු 8ක් දැවී 244 ( 50.0) නිරෝෂන් දික්වැල්ල 69, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 79, තිසර පෙරේරා 19, ලුන්ගි නිගිඩි 3/50, ඇන්ඩිල් පෙලුක්වායෝ 4/45

දකුණු අප්‍රිකාව; කඩුලු 6ක් දැවී 246 (42.5) ක්වින්ටන් ඩි කොක් 87, හෂීම් අම්ලා 43, ෆෆ් ඩු ප්ලෙසිස් 49, වියාන් මුල්ඩර් නොදැවී 19, අකිල දනංජය 3/60

තරගයේ වීරයා; ක්වින්ටන් ඩි කොක් ( දකුණු අප්‍රිකාව )

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මේ මස 05 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දිවා තරගයක් සේ පැවැත්වීමට නියමිත අතර එම තරගයේ සේ ම අනෙකුත් තරගවල ද උණුසුම් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

Sri Lanka

244/8

(50 overs)

Result

South Africa

246/6

(42.5 overs)

SA won by 4 wickets

Sri Lanka’s Innings

Batting R B
U Tharanga c Quinton de Kock b Lungi Ngidi 9 8
N Dickwella b Andile Phehlukwayo 69 78
K Mendis lbw by Lungi Ngidi 0 1
K Janith c Lungi Ngidi b Andile Phehlukwayo 12 24
A Mathews not out 79 111
S Jayasuriya c Quinton de Kock b Willem Mulder 18 27
NLTC Perera c Quinton de Kock b Lungi Ngidi 19 20
A Dananjaya c David MIller b Kagiso Rabada 9 12
S Lakmal b Andile Phehlukwayo 7 8
P Jayasuriya not out 10 11
Extras
12 (lb 3, w 9)
Total
244/8 (50 overs)
Fall of Wickets:
1-13 (U Tharanga, 1.5 ov), 2-13 (K Mendis, 2 ov), 3-56 (K Janith, 11.5 ov), 4-123 (N Dickwella, 25.2 ov), 5-165 (S Jayasuriya, 34 ov), 6-197 (T Perera, 41.5 ov), 7-216 (A Dananjaya, 45.1 ov), 8-227 (S Lakmal, 46.5 ov)
Bowling O M R W E
K Rabada 9 1 48 1 5.33
L Ngidi 8 1 50 3 6.25
W Mulder 7 0 26 1 3.71
A Phehlukwayo 9 0 44 3 4.89
JP Duminy 7 0 30 0 4.29
T Shamsi 10 0 43 0 4.30

South Africa’s Innings

Batting R B
Quinton de Kock c Suranga Lakmal b Kasun Rajitha 87 78
H Amla c & b Akila Dhananjaya 43 43
A Markram c Kusal Janith b Akila Dhananjaya 3 11
Du Plessis c & b Akila Dhananjaya 49 41
JP Duminy c Kusal Mendis b Thisara Perera 32 29
D Miller c Kusal Mendis b Suranga Lakmal 3 5
W Mulder not out 19 31
A Phehlukwayo not out 7 19
Extras
3 (w 3)
Total
246/6 (42.5 overs)
Fall of Wickets:
1-91 (H Amla, 14 ov), 2-109 (A Markram, 17.2 ov), 3-162 (De Kock, 26.3 ov), 4-195 (Du Plessis, 31.2 ov), 5-198 (D Miller, 32.1 ov), 6-231 (JP Duminy, 38.3 ov)
Bowling O M R W E
S Lakmal 7 0 39 1 5.57
K Rajitha 5.5 0 44 1 8.00
A Dhananjaya 10 0 60 3 6.00
T Perera 7 0 34 1 4.86
P Jayasuriya 10 0 53 0 5.30
S Jayasuriya 3 0 16 0 5.33