Home Sinhala ශ්‍රී ලංකාවට දරා ගත නොහැකි පරාජයක්

ශ්‍රී ලංකාවට දරා ගත නොහැකි පරාජයක්

304

නවසීලන්තයේ ආරම්භක පිතිකරුවන් වූ මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝගේ හිත් පිත් නැති ඉනිම් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 12 වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේ දී ම කඩුලු 10ක ලැජ්ජා සහගත පරාජයකට අද (01) මුහුණ දුන්හ.

එංගලන්තයේ කාර්ඩිෆ් හිදී ආරම්භ වූ මෙම තරගය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය වන අතර දෙරට අතර පැවැත්වෙන 99 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයයි.  

ලෝකය දිනන තරගාවලියේ ආරම්භයට හොඳ ගැම්මක් ගමු!

12 වැනි ලෝක කුසලානය තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම….

නවසීලන්තයේ මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පළමු පන්දුවේ සිටම කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් තරගයට අවතීර්ණ වීම කැපී පෙණුනි. ලකුණු 137ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ තවත් පන්දු 203ක් ඉතිරි ව තිබිය දී කිසිවෙක් නොදැවී ලකුණු 137ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා නායකයා ඔවුන් ව අමාරුවේ දැමීමට පන්දු යවන්නෝ 5 දෙනෙක්ම යොදා ගනිද්දීත් ය.   

තරගය ජයග්‍රහණයෙන් නිමා වන විට මාර්ටින් ගප්ටිල් පන්දු 51ක දී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා ගත්තේ ය. ගප්ටිල් තමන් මුහුණ දුන් 39 වැනි පන්දුවේ දී තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ 35 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

කොලින් මුන්රෝ පන්දු 47කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේ ය. එය මුන්රෝගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 8 වැනි අර්ධ ශතකයයි.   

ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ලකුණු 137ක සබඳතාව මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු කඩුල්ලේ හොඳම ලකුණු සබඳතාව වන අතර ඕනෑම කඩුල්ලක් සඳහා වූ හොඳම ලකුණු සබඳතාවය ද විය.

නායකයා ලෙසින් තමන් කළ යුත්තේ කුමක් දැයි මනා වැටහීමකින් පන්දුවට පහර දුන් දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ද ඔහුගේ කරට බර තැබීමකට කිසිවෙක් නොවීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නවසීලන්තය ඉදිරියේ තම ඉනිම ලකුණු 136කට නිමා කර ගත්හ.

දිමුත් කරුණාරත්න මෙම තරගයේ දී තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වූ අතර එය ඔහු සහභාගී වූ මංගල ලෝක කුසලාන තරගාවලියේ මංගල තරගය මෙන් ම මංගල අර්ධ ශතකය ද විය.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගයේ දී කාසියේ වාසිය දිනා ගැනීමට ප්‍රතිවාදී නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් සමත් වූ අතර ඔහු ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නේ ය. ඒ සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතා උරගා බැලීමට අවස්ථාවක් හිමි වූවද ඔවුන්ගේ ඉනිම පන්දුවාර 30ක් නිමා වන තෙක් හෝ ගෙන යෑමට සමත් නොවූහ.  

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

තරගයේ දෙවැනි පන්දුවේ දී ම අවාසනාව කරපින්නා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වූයේ ලහිරු තිරිමාන්නගේ (04) දැවී යෑමත් සමඟ ය. ආරම්භක වේගපන්දු යවන මැට් හෙන්රිගේ පන්දුවක් ලහිරු තිරිමාන්නගේ පා ආවරණයේ වැදුණ ද විනිසුරු නිහඬව සිටීම දරා ගත නොහැකි වූ නවසීලන්ත ක්‍රීඩකයෝ ඊට තෙවැනි විනිසුරුගේ පිහිට පැතූහ. ඔහුගේ තීරණය වූයේ තිරිමාන්න දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස ය.

එතැන් සිට අනෙක් ආරම්භක පිතිකරු නායක දිමුත් කරුණාරත්න පිට මත පැටවුණ බර ඉනිම අවසන් වෙන තුරුම දරා සිටීමට ඔහුට සිදු විය. ඔහු ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියේ ය.

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස ඉනිම අවසානයේ දී නොදැවී රැඳී සිටි පිතිකරුවන් අතර දෙවැනි තැන හිමි වෙන්නේ දිමුත් කරුණාරත්නට ය. එම දක්ෂතාව කළ පළමු ක්‍රීඩකයා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රිඩ්ලි ජාකෝබ් ය. ඔහු 1999 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 49ක් ලබා ගනිමින් මේ දක්ෂතාව වාර්තා කර ඇත.

නවසීලන්තය පරාජය කළ හැකියි – දිමුත් කරුණාරත්න

2019 ලෝක කුසලාන තරගාවලිය සැබවින්ම වසන්තයක් බවට පත්වනු….

පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් දිමුත් සහ කුසල් ජනිත් පෙරේරා එක්ව ශ්‍රී ලංකා ඉනිම යම් තරමකට ස්ථාවර කිරීමට උත්සාහ ගත්ත ද, ඉනිමේ අටවැනි පන්දු වාරයේ දී නැවත ශ්‍රී ලංකාවට අවාසනාව උදා කිරීමට මැට් හෙන්රිම පෙරමුණ ගත්තේ ය. කුසල් පෙරේරා පන්දු 24ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29කට දෙවැනි කඩුල්ලට ලෙසින් ඉනිම හැර යද්දී ඊට පසු පන්දුවේ දී කුසල් මෙන්ඩිස්ගේ (0) ඉනිම ද අවසන් කිරීමට මැට් හෙන්රි සමත් විය. ආරම්භයේ දී ඔහු පෑ දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුනේ මැට් හෙන්රි ය. දිමුත් සහ කුසල් පෙරේරා අතර දෙවැනි කඩුල්ලට ලකුණු සබඳතාව 42කි.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ නාය යෑමකට ලක් කරමින් ධනංජය ද සිල්වා (04), ඇන්ජලෝ මැතිව්ස් (00) සහ ජීවන් මෙන්ඩිස් (01) ද තම ඉනිම් හැර ගියහ. ඔවුන්ගේ දුර්වල පිතිකරණයන් හී වාසිය නවසීලන්ත පන්දු යවන්නෝ ලබා ගනිද්දී ශ්‍රී ලංකා ඉනිම කියවුණේ ලකුණු 60කට කඩුලු 6ක් ලෙසිනි.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 100 වාර්තා කිරීම ද ඉතා අපහසු තත්ත්වයක් වෙද්දී දිමුත් සහ තිසර පෙරේරා එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සබඳතාවක් එක් කිරීමට සමත් වීම එම ඉලක්කය පසු කිරීමට හේතු විය. ඔවුන් දෙදෙනා එක්ව ලකුණු පුවරුව 112ක් දක්වා ඉහළ දමද්දී තිසර පෙරේරා පන්දු 23කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටිය දී දැවී ගියේය.

අනතුරුව යැවුණ පන්දුවාරයේ දී ඉසුරු උදාන කිසිදු ලකුණක් නොලබා දැවී යමින් නැවත වතාවක් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු කවුළුව විවර කළේය. ඒ අවසරයෙන් සුරංග ලක්මාල් ද අද තරගයේ දී ලකුණු 7කට ද, ලසිත් මාලිංග එක් ලකුණකට ද තම ඉනිම් අවසන් කර ගත්හ.

පන්දු යැවීමේ ආරම්භක වේගපන්දු යැවූ මැට් හෙන්රි ලකුණු 29කට කඩුලු 3ක් ද, ලොකී ෆර්ගසන් ලකුණු 22කට කඩුලු 3ක් ද දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම විනාශ කර දැමීමේ පෙරමුණ ගත්හ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය මේ මස 4 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟින් කාර්ඩිෆ් හිදී පැවැත්වීමට නියමිත ය.  

Result


Sri Lanka
136/10 (29.2)

New Zealand
137/0 (16.1)

Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne lbw b Matt Henry 4 2 1 0 200.00
Dimuth Karunaratne not out 52 84 4 0 61.90
Kusal Perera c Colin de Grandhomme b Matt Henry 29 24 4 0 120.83
Kusal Mendis c Martin Guptill b Matt Henry 0 1 0 0 0.00
Dhananjaya de Silva lbw b Lockie Ferguson 4 13 1 0 30.77
Angelo Mathews c Tom Latham b Colin de Grandhomme 0 9 0 0 0.00
Jeevan Mendis c Jimmy Neesham b Lockie Ferguson 1 4 0 0 25.00
Thisara Perera c Tim Southee b Mitchell Santner 27 23 0 2 117.39
Isuru Udana c Matt Henry b Jimmy Neesham 0 3 0 0 0.00
Suranga Lakmal c Mitchell Santner b Trent Boult 7 13 1 0 53.85
Lasith Malinga b Lockie Ferguson 1 2 0 0 50.00


Extras 11 (b 1 , lb 0 , nb 2, w 8, pen 0)
Total 136/10 (29.2 Overs, RR: 4.64)
Fall of Wickets 1-4 (0.2) Lahiru Thirimanne, 2-46 (8.1) Kusal Perera, 3-46 (8.2) Kusal Mendis, 4-53 (11.5) Dhananjaya de Silva, 5-59 (14.4) Angelo Mathews, 6-60 (15.2) Jeevan Mendis, 7-112 (23.4) Thisara Perera, 8-114 (24.4) Isuru Udana, 9-130 (28.1) Suranga Lakmal, 10-136 (29.2) Lasith Malinga,

Bowling O M R W Econ
Matt Henry 7 0 29 3 4.14
Trent Boult 9 0 44 1 4.89
Lockie Ferguson 6.2 0 22 3 3.55
Colin de Grandhomme 2 0 14 1 7.00
Jimmy Neesham 3 0 21 0 7.00
Mitchell Santner 2 0 5 1 2.50


Batsmen R B 4s 6s SR
Martin Guptill not out 73 51 8 2 143.14
Colin Munro not out 58 47 6 1 123.40


Extras 6 (b 0 , lb 3 , nb 1, w 2, pen 0)
Total 137/0 (16.1 Overs, RR: 8.47)
Bowling O M R W Econ
Lasith Malinga 5 0 46 0 9.20
Suranga Lakmal 4 0 28 0 7.00
Isuru Udana 3 0 24 0 8.00
Thisara Perera 3 0 25 0 8.33
Jeevan Mendis 1.1 0 11 0 10.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<