බෝම්බ වරුසා මැද පැවති අනූදෙකේ නවසීලන්ත සංචාරය 

(පළමු කොටස)

4946
Ken Rutherford / Getty Images

1992 වසරේ නොවැම්බර් මාසයේ දිනයකි. ගාලු මුවදොර අසල ටාජ් සමුද්‍රා හෝටලය අසලින් විශාල පිපුරුම් හඬක් නැගුණි. ගිනිකෙළි, ගිණි අවි සහ බෝම්බ පිපුරුම් සුලබ වූ සමයක මෙවර බිල්ල කවුරු දැයි සැවොම විමසිලිමත් වූහ. 

දමිළ ඊළාම් මරාගෙන මැරෙන බයිසිකල්කරුවාගේ මෙවර ඉලක්කය වී තිබුණේ එවකට නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු මහතාය. මෙම ප්‍රහාරය හේතුවෙන් ප්‍රනාන්දු මහතා ඒ ස්ථානයේ දී ම මිය ගියේය. ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහභාගී වීමට මෙරටට පැමිණ සිටි සංචාරක නවසීලන්ත කණ්ඩායම නවාතැන් ගෙන සිටියේත් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වූ ස්ථානය අසල තිබෙන ටාජ් සමුද්‍රා හෝටලයේය.

වනිඳුගේ තුන් ඉරියව් දස්කම් ඉදිරියේ බංගලියෝ අසරණ වෙති!

යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා….

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ බෝම්බ පිපුරුම් අමුතු අත්දැකීමක් නොවේ. 1987 වසරේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීත් මේ ආකාරයෙන්ම විශාල බෝම්බයක් පුපුරා ගියේය. පිටකොටුවේ පුපුරා ගිය එම බෝම්බයෙන් අනතුරුව නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෝ සියල්ල පොදි බැඳගෙන වහාම ශ්‍රී ලංකාවෙන් පිටව ගියහ.

1992 වසරේ මාසයක පමණ දිගු සංචාරයක් සඳහා මෙහි පැමිණි නවසීලන්ත කණ්ඩායමේ සිටි එක් ආරම්භක පිතිකරුවෙකු වූයේ කෙන් රදර්ෆර්ඩ්ය. තමන් නවාතැන් ගෙන සිටි හෝටලය ඉදිරිපිට පුපුරා ගිය බෝම්බය ගැන රදර්ෆර්ඩ් මතකය අවධි කරන්නේ මෙසේය.

“මම හෝටලයේ උදේ ආහාරයට සූදානම් වුනා පමණයි. විශාල ශබ්දයක් ඇහුණා. මගේ කෑම පිඟාන විසි වී ගොස් බිම වැටුණා. එක පාරටම හිතාගන්න බැරි වුනා මොකක්ද වුනේ කියල”

ප්‍රහාරයෙන් මොහොතක් යන්නට පෙර නවසීලන්ත ක්‍රීඩකයින් සියලු දෙනාම වහ වහාම හෝටලයේ කොරිඩෝවට එක්වූහ. තමන්ගේ නඩයේ සියල්ලන්ම නිරුපද්‍රිතව සිටින බව සැක හැරගත් නවසීලන්ත ක්‍රීඩකයින් සිදු වූයේ කුමක් ද යන්න විමසා බැලූහ.

දීර්ඝ ගුවන් ගමනකින් පසුව නවසීලන්ත ක්‍රීඩකයින්ට අවැසි වූයේ යම් විවේකයක් සහ තරගාවලිය වෙනුවෙන් යම් පුහුණුවකි. නමුත් ඔවුන්ගේ අභිප්‍රායන්ට ගෝල්ෆේස් බෝම්බ පිපිරීම ඇති කළේ යහපත් උත්තේජනයක් නොවේ. සංචාරක නඩයේ සියලුම දෙනාම සිටියේ දැඩි පීඩනයකිනි.

පිපිරීමෙන් මොහොතකට පසු රදර්ෆර්ඩ් පිපිරීම සිදු වූ ස්ථානයට ගියේය. ඒ බෝම්බ ප්‍රහාරයේ සිදු වූ විනාශය සියැසින් දැක ගන්නටය.

“එතන ලොකු වලක් හෑරී තිබුණා. මිය ගිය අයගේ ශරීර කොටස් ඒ වෙද්දීත් තැන් තැන්වල එල්ලෙමින් තිබුණා. නවසිලන්ත ජාතිකයෙකු ලෙස මා මහත් කම්පනයකට ලක්වුනා.”

ආපසු එන අතරවාරයේ නවසීලන්ත නායක මාටින් ක්‍රෝ රදර්ෆර්ඩ්ගෙන් ඇසුවේ එළියේ තත්වය කෙසේ ද කියාය. ක්‍රෝට දැන ගැනීමට අවශ්‍යය වූයේ තරගාවලිය දිගටම කරගෙන යෑමට අවස්ථාවක් තිබේ ද යන්නයි.

මාටින් ක්‍රෝ / Getty Images

“මට දැනෙන විදියට නම් එතරම් හොඳ නැහැ.” රදර්ෆර්ඩ්ගේ පිළිතුර විය.

නවසීලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ දී බෝම්බ තර්ජනයකට මුහුණ දුන් මුල්ම අවස්ථාව එය නොවීය. 1987 නවසීලන්ත කණ්ඩායම මෙහි පැමිණි අවස්ථාවේදීත් බෝම්බයක් පුපුරා ගිය අතර තරගාවලිය අතර මැද නතර කෙරුණි. පිටකොටුවේ පුපුරා ගිය මෙම බෝම්බය නිසාම මෙරට අනාරක්ෂිත බව පවසමින් බොහෝ විදේශීය කණ්ඩායම් මෙරට සංචාරය කිරිමෙන් වැළකී සිටියහ.

1987 වසරේ බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ සංචාරය දිගටම පවත්වනවා ද යන්න තීරණය කිරීමට ඡන්ද විමසීමක් පවත්වන ලදි. එහි දී ක්‍රීඩකයින්ගේ ඒකමතික තීරණය වූයේ සංචාරය අතර මැද නවත්වා නැවත සිය රට බලා යෑම උචිත බවයි. මෙම ප්‍රහාරය නිසාවෙන් සිය ගණනකගේ ජීවිත අහිමි වූ අතර පුපුරා ගිය ස්ථානයේ මීටර තුනක් පමණ වූ ආවාටයක් ඇති වූ බව පැවසේ.

1987 වසරේ මෙන්ම නැවත වතාවක් ඡන්දයක් පැවැත්වීමට තීරණය කෙරුණු අතර මාක් ග්‍රේට්බැච්, දීපක් පටෙල්, ගැවින් ලාසන්, වීලී වොට්සන්, රොඩ් ලේතම් සහ පුහුණුකරු වොරන් ලීස්ට අවශ්‍යය වූයේ හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමටය.

සෙසු නවසීලන්ත ක්‍රීඩකයින් තත්වය සමනය වන විට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට සහ තරගාවලිය පවත්වා ගෙන යෑමට යම්  එකඟතාවයකට පැමිණ සිටියහ.

තීරණය දෙපසට දෝලනය වෙමින් තිබිය දී කේන් රදර්ෆර්ඩ් සිටියේ තීරණයක් ගත නොහැකිව වැට උඩය. ඔහු දුරකතනයෙන් ඩනේඩීන් නුවර සිටි ඔහුගේ බිරිඳ අමතමින් ඇසුවේ තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ සිටිය යුතු ද යන්නයි. රදර්ෆර්ඩ්ගේ බිරිඳගේ මතය වූයේ තම සැමියා තරගාවලියට දිගටම සහභාගී විය යුතු බවයි.

“ඇය මට කිව්වා දිගටම මා ශ්‍රී ලංකාවේ රැඳී සිට තරගාවලිය නිමා කර පැමිණිය යුතු බව. පසුව කලෙක මම ඇයගෙන් දික්කසාද වුනා. ඇයගේ මතය අනුව ඔබට හිතාගන්න පුළුවන් ඇය මා කෙරෙහි කෙතරම් සැලකිල්ලක් දැක්වූවාද කියා රදර්ෆර්ඩ් පසුව කියන්නේය.

අවසානයේ ඡන්ද විමසීම අවසන් වූයේ නමයට නමයක් ලෙසින් සම තත්වයෙනි. ක්‍රිකට් තරගයකට අවශ්‍ය අවම පිරිසක්වත් එකල ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නොවූ බැවින් බොහෝ නවසීලන්ත ක්‍රීඩකයින් එදා නින්දට ගියේ සංචාරය නිමාව ගැන කල්පනා කරමිනි. නවසීලන්ත කණ්ඩායමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් දෙදෙනා වූ නායක මාටින් ක්‍රෝට සහ ඇන්ඩෲ ජෝන්ස් දෙදෙනාට සංචාරයේ රැඳී සිටීමට සිදු වූයේ නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ගිවිසුම් ගතව සිටි ක්‍රීඩකයින් දෙදෙනා ඔවුන් වූ බැවිනි. සෙසු ක්‍රීඩකයින්ට සහභාගී වන තරගවලට පමණක් දීමනාවක් ගෙවනු ලැබීය.

කරුණු කාරණ මෙසේ දෝලනය වෙමින් තිබිය දී කිසිවෙකු නොසිතන පරිද්දෙන් සියල්ල වෙනස් වෙමින් තිබූ බව නවසීලන්ත ක්‍රීඩකයින් දැන සිටියේ නැත. සිදු වූයේ කුමක් ද ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<