2014 වර්ෂය ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගනිමින් ජයග්‍රාහීව නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව ගෙවී ගිය වසර තුනේ දී ඇති කර ගත් කළු පැල්ලම් අතරට තවත් ලැජ්ජා සහගත කළු පැල්ලමක් අද (14) දිනයේ දී ඇති කර ගත්තේය.

ඒ දීර්ඝ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු කණ්ඩායමට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය තරග 3-0ක් ලෙස බන්දේසියක තබා පිළිගැන්වීම මඟිනි. අද නිමාවට පත්වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ඔවුන් ජය ගත්තේ දින 3ක් ගෙවී යාමටත් මත්තෙනි.

දෙවැනි දිනය ගෙවෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් අඳුරෙන් අඳුරට!

කලකට පෙර සමස්ත ලෝකයම පුදුම කළ වික්‍රමාන්විත ජයග්‍රහණ සහ වාර්තා රැසකට හිමිකම් කියූ ශ්‍රී ලංකා ක්‍රිකට්…

තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 487ක් එක් කළහ. එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 188ක සබඳතාවයක් ගොඩ නැගුවේ සැබෑ ටෙස්ට් ක්‍රීඩාව යනු කුමක් දැයි කියා පාමිනි. ඉනිම ගොඩ නැගීමට දායක වුනු ශිකර් ධවාන් පළමු දිනයේ දීම ලකුණු 119ක් රැස්කර ගත්තේ තම 6වැනි ටෙස්ට් ශතකය ලෙසයි. ඉන්දීය ප්‍රථම ඉනිමේ අවසන් භාගය හතරේ පහර 8කින් සහ හයේ පහර 7කින් වර්ණවත් කළ හාර්දික් පාණ්ඩ්‍යා තම මංගල ශතකය ලෙස ලකුණු 108ක් රැස්කර ගත්තේය.

ඒ හැරුණු කොට අනෙකුත් ඉන්දීය පිතිකරුවන් ද තම නොමසුරු දායකත්වය කණ්ඩායම වෙත ලබා දුන්නේ ජාත්‍යන්තර තරගයකට උචිත ක්‍රීඩා රටාව සෑම මොහොතකම පවත්වා ගනිමිනි. ඉන්දියානු කණ්ඩායම ලකුණු 500කට ආසන්න ඉලක්කයක් කරා යෑමට ශ්‍රී ලංකා නායකත්වයෙන් ද නොමද ආශිර්වාදයක් හිමි වූයේ පිටියේ පන්දු රකින්නන් යෙදවීමේ දී සිදු වූ අඩුපාඩු නිසාවෙනි. මීට අමතරව පන්දු රකින්නන් ද දැක්වූ දක්ෂතා ජාත්‍යන්තර ටෙස්ට් තරගයකට ප්‍රමාණවත් මට්ටමක නොතිබුණි.

කෙසේ වෙතත් තම දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මාලින්ද පුෂ්පකුමාර පළමු තරගයට වඩා කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කරමින් ලකුණු 82ට කඩුලු 3ක් බිඳ හෙලීය. ඒ හැරුණුකොට අනෙක් සාර්ථක පන්දු යවන්නා බවට පත්වූ ලක්ෂාන් සඳකැන් ලකුණු 132ට කඩුලු 5ක් බිඳ හෙලමින් ඉහළ දක්ෂතා අතරට පැමිණියේය. නවක වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු කඩුලු 2යි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේ දී ටෙස්ට් තරගයකට උචිත අන්දමින් මනා සංයමයක් පවත්වා ගෙන පිතිකරුවන් වරදකට පොළඹවා ගැනීමට උත්සාහ නොකිරීම මෙවන් දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට ලබා ගැනීම පහසු කළේය.

මෙම දැවැන්ත ඉලක්කය හමුවේ තරගය ජය පරාජයෙන් තොරව බේරා ගැනීමත් අපහසු වී තිබූ වටපිටාවක අතිශයින්ම දියාරු ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා පිතිකරුවන් තමන්ගේ වල තමා විසින්ම කපා ගැනීම ආරම්භ කළහ. ඒ ලකුණු 135ක් තුල දී සියලුම කඩුලු අහිමි කර ගනිමිනි. එහි දී ටෙස්ට් තරගයකට යන්තමින් හෝ උචිත පිතිකරණයක් කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගෙන් නිරූපනය නොවූ අතර බොහෝ පිතිකරුවන් ඉතාමත් අපරීක්ෂාකාරී ලෙස දැවී ගියේ පාසල් ක්‍රිකට් තරගයක් සිහිපත් කරමිනි. එහි දී ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට රැගෙන යා යුතු වූ උපුල් තරංග, දිමුත් කරුණාරත්න සහ ඇන්ජෙලෝ මැතිව්ස් වැනි පළපුරුදු ක්‍රීඩකයින් ලකුණු 10කටත් අඩුවෙන් දැවී ගියේ තම වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හරිමිනි.

ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි වරටත් ඉන්දීය ප්‍රථම ඉනිම හඹා යාමේ අවමානයට මුහුණ පෑමට ද සිදු විය. එහි දී නැවතත් ඉනිම ආරම්භ කළ උපුල් තරංග එකම දිනයක් තුල දී දෙවතාවක්ම දැවී ගියේ ලකුණු 7ක් පමණක් ලබා සිටිය දී යි. මේ සියල්ල අවසානයේ දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 19ක් පමණක් ලබා සිටියේ ඉන්දීය ප්‍රථම ඉනිමට වඩා ලකුණු 333ක් පිටුපසින් සිටිමිනි.

ඉන් නොනැවතී අද දිනයේ උදෑසනින්ම ඉන්දියානු පන්දු යවන්නන් හමුවේ නැවත වතාවක් දණ නැමූ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය දෙවැනි ඉනිම නිමා කළේ ලකුණු 181ක් තුල දී සියලු දෙනාම දැවී යමිනි. එහි දී ද එකදු අර්ධ ශතකයක් හෝ වාර්තා කර ගන්නට කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට හැකි නොවීය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 41ක් පමණක් රැස් කරද්දී ප්‍රේක්ෂක බලාපොරොත්තු වලට සාධාරණයක් ඉටු නොකළ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් පිළිවෙළින් ලකුණු 36ක් සහ 35ක් බැගින් රැස් කළහ.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් එල්ල කළ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 68ට කඩුලු 4ක් බිඳ හෙලද්දී මොහොමඩ් ශමී කඩුලු 3ක් ද උමේෂ් යාදෙව් කඩුලු 2ක් ද දවා ගනිමින් ඉන්දීය වේග පන්දුවේ ජවය විදහාලූහ. ඒ අනුව ශ්‍රී ලංකාවට සිදු වූයේ තම මව්බිමේ දී ම සංචාරක ඉන්දීය කණ්ඩායම හමුවේ ඉනිමක සහ ලකුණු 171ක අන්ත පරාජයක් අත්විඳීමටයි. තරගයේ වීරයා සම්මානය පිත්තෙන් සුපිරි දස්කම් පෑ හාර්දික් පාණ්ඩ්‍යා හිමි කර ගනිද්දී තරගාවලියේ වීරයා සම්මානය වමත් පිතිකරු ශිකර් ධවාන්ට හිමි විය.

ඉන්දීය කණ්ඩායම මීට පෙර සිදු කළ කිසිදු සංචාරයක දී තරග 3කින් යුතු ටෙස්ට් තරගාවලියක් සම්පූර්ණයෙන්ම ජය ගෙන නොතිබූ අතර මෙවර ශ්‍රී ලංකා පිළේ දුර්වලතා වලින් ප්‍රයෝජන ගත් ඔවුන්ට එම බලාපොරොත්තුව ද සඵල කර ගැනීමට අවස්ථාව උදා විය. මීට අමතරව මෙම ලැජ්ජා සහගත පරාජය ශ්‍රී ලංකා පිළ මව්බිමේ දී ලැබූ දෙවැනි දරුණුතම පරාජය ලෙස ද ඉතිහාසයට එක්විය. ශ්‍රී ලංකාව මීට වඩා වැඩි ලකුණු ගණනකින් (ඉනිමකින් සහ ලකුණු 201කින්) පරාජය වී ඇත්තේ 1993 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පමණි.

මෙම තරග තුනේ දී ම ශ්‍රී ලංකාවට කාසියේ වාසිය හෝ දිනා ගැනීමට හැකි නොවීම ද ඉන්දීය ජයග්‍රහණය තවදුරටත් පහසු කිරීමට හේතු විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් දිනෙන් දිනම ප්‍රපාතය කරා යන අයුරු සැලකිල්ලට ගැනීමේ දී මීට වඩා වැඩි යමක් කණ්ඩායමෙන් බලාපොරොත්තු වීම ද අසීරු වී තිබේ. ඊට සියලුම ක්‍රිකට් බලධාරීන්, තේරීම් කමිටුව සහ ක්‍රීඩකයින් ද අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. කනගාටුවට කරුණ වන්නේ මේ කිසිවක් සඳහා වගකිව යුතු නොවන ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතිශය කලකිරීමකින් යුතුව දිනෙන් දිනම ක්‍රීඩාවෙන් ඈත්වී යාමයි.

 >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට<<