පරාජය පෙනෙන මානයේ දී පොඩි කුසල්ගෙන් විශිෂ්ට ශතකයක්!

569
Sri Lanka Vs India 2nd Test Day 3 Report

තවත් ටෙස්ට් ජයග්‍රහණයක් කරා වේගයෙන් පියවර මනිමින් සිටි ඉන්දියානු කණ්ඩායමේ ජය ගමන යම් පමණකින් අඩාල කිරීමට අද (05) දෙවැනි ඉනිම සාර්ථක කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. ඒ දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතරේ ගොඩ නැගුණු ලකුණු 191ක සබඳතාවය හේතුවෙනි. කෙසේවෙතත් මේ වනවිට කඩුලු 2ක් දැවී ලකුණු 209ක් ලබාසිටින ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ඉන්දීය ප්‍රථම ඉනිමට වඩා ගව් ගණනක් ඈතිනි.

ඉන්දීය දඟයන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි!

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වන ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වෙද්දී තරගය තුල ඉදිරියෙන් …

අද උදෑසන තරගය ආරම්භ කරන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 50ක් පමණක් ලබාසිටි අතර ඔවුන් ඉන්දීය ප්‍රථම ඉනිමට වඩා ලකුණු 572ක් පිටුපසින් පසුවිය. ශ්‍රී ලංකා පිළට දැවැන්ත සබඳතාවයක් අවශ්‍ය වූ ඒ මොහොතේ දිනයේ ප්‍රථම කඩුල්ල බවට පත්වෙමින් සමස්ථ කණ්ඩායමටම වැරදි පූර්වාදර්ශයක් සැපයූවේ නායක දිනේෂ් චන්දිමාල් විසිනි. ලකුණු 10ක් පමණක් ලබාසිටි ඔහු රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ස්ක්වෙයාර්-ලෙග් කලාපයට ඉතාමත් පහසු උඩපන්දුවක් ලබා දෙමිනි.

ඉන් වැඩි වේලාවක් ගත වන්නට පෙර තම නායකයාගේ අඩිපාරේ ගිය යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද උමේෂ් යාදෙව්ට තම කඩුල්ල පූජා කරමින් පිටියෙන් නික්ම ගියේය. ඒ කලින් පන්දුවාරයේ දී උඩපන්දුවක් අතහැරි විරාත් කෝලිට තම වරද නිවැරදි කර ගැනීමට තවත් අවස්ථාවක් ලබා දෙමිනි. ඇත්තෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දැවී යාම් බොහෝමයක්ම තණතිල්ලේ පැවති අභියෝගයකට වඩා තමන්ගේ නොසැලකිල්ල නිසා උරුම වූ ‘සියදිවි නසා ගැනීම්’ බවට පත්වීම සැබවින්ම කණගාටුදායක කරුණක් බවට පත්විය. දැවී යන විට කුසල් මෙන්ඩිස් රැස් කරගෙන සිටියේ ලකුණු 24ක් පමණි.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද පන්දු 33කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් ලකුණු 26ක් රැස්කර ගත්තද දීර්ඝ ඉනිමක් ගොඩ නැගීමෙන් තොරවම පිටියෙන් සමුගත්තේය. ඒ රවිචන්ද්‍රන් අශ්වින්ට දිනයේ පළමු කඩුල්ල හිමිකර දෙමිනි. විශේෂයෙන්ම මැදපෙළ වගකීම් සියල්ල පැවරී ඇති දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් යන පළපුරුදු පිතිකරුවන් දෙදෙනා මේ අයුරින් දිගින් දිගටම අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ගැන සිතීම පවා විහිළුවක් බවට පත්ව තිබේ. අසේල ගුණරත්නගේ අඩුව පිරවීමට කණ්ඩායමට එක්කර තිබූ ධනංජය සිල්වා ද අද මුහුණදුන් පළමු පන්දුවෙන්ම ක්‍රීඩාගාරයට හැරී ගියේ ශ්‍රී ලංකා පිළේ දුර්වල ක්‍රීඩා රටාව ලොවක් හමුවේ නිරාවරණය කරමිනි.

මේ අයුරින් නොසැලකිලිමත් පිතිකරුවන්ගේ කඩුලු එකින් එක බිඳ වැටෙද්දී මව්බිම වෙනුවෙන් එකම අර්ධ ශතකය වාර්තා කිරීමට කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සමත් විය. ඒ පන්දු 48ක් තුලදී ලකුණු 51ක් රැස්කර ගනිමිනි. ඉන්දියානු කණ්ඩායමේ තර්ජනාත්මක පන්දු යැවීම හමුවේ තමන් කොයි මොහොතක හෝ දැවී යාහැකි බව වටහාගත් දික්වැල්ල හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟින් තම ප්‍රහාරක වේගය වැඩි කර ගැනීමට නිරන්තරයෙන්ම උත්සාහ දැරුවේය. පසුපෙළ පිතිකරුවන් ලෙස දිල්රුවන් පෙරේරා සහ මාලින්ද පුෂ්පකුමාර පිළිවෙලින් ලකුණු 25 සහ 15 බැගින් රැස් කළද එය ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ඉන්දියානු ප්‍රථම ඉනිම ආසන්නයට ගෙන ඒමටවත් ප්‍රමාණවත් නොවීය.

ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් අද දහවල වනවිට පළමු ඉනිමේ සියලු කඩුලු අහිමි කරගත්තේ ලකුණු පුවරුවේ යන්තමින් ලකුණු 183ක් සටහන් වෙද්දීය. ඒ සඳහා පන්දුවාර 50ක්වත් ගත වූයේ නැත. පන්දු යැවීමේදී ඉන්දීය දඟ පන්දු යවන්නන් වැඩි වශයෙන් කැපී පෙනුණු අතර රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 69ට කඩුලු 5ක් ද, රවින්ද්‍ර ජඩේජා ලකුණු 84ට කඩුලු 2ක් ද බිඳ දැමූහ. තමන් යැවූ පන්දුවාර 6 තුලදී උපරිම දක්ෂතා ප්‍රකට කළ මොහොමඩ් ශමී ලකුණු 13ට කඩුලු 2යි. ඒ අනුව ඉන්දීය පිතිකරුවන් ලකුණු 600කට වඩා රැස්කළ තණතීරුවේ දීම ශ්‍රී ලංකාවට ලකුණු 200ක් හෝ රැස්කර ගැනීමට නොහැකි වීම පැහැදිලිව ප්‍රදර්ශනය කළේ මේ වනවිට කණ්ඩායම මුහුණ දී සිටින ශෝකාකූල තත්වයයි.

ඒ අනුව ප්‍රථම ඉනිමේ ලකුණු 439ක් පිටුපසින් පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායමට අද දෙවැනි වර පිතිකරණයේ යෙදීමේ අවමානයට ද මුහුණ පෑමට සිදුවිය. එහිදී ඉනිම දෙකේදීම කණ්ඩායම තමාගෙන් බලාපොරොත්තු වූ සේවය පැහැර හැරි උපුල් තරංග දෙවැනි ඉනිමේදී ද ලකුණු 2කට දැවී ගියේය. ඒ උමේෂ් යාදෙව් යැවූ පන්දුවකට තම කඩුල්ල සිප ගැනීමට අවස්ථාව උදාකර දෙමිනි. ඒ වනවිට දින තුනක් ඇතුළත තරගය නිමාවිය හැකි තත්ත්වයක් මතුව තිබූ අතර එම සැක සංකා මකා දැමුවේ දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතරේ ඇතිවූ සුපිරි සබඳතාවයයි.

පරාජය පෙනෙන මානයේ සිටි ශ්‍රී ලංකා පිළට යම් බලාපොරොත්තුවක් එක්කළ කුසල් මෙන්ඩිස් අද මැනවින් තම පිත්ත හසුරුවා ගනිමින් ටෙස්ට් දිවියේ තුන්වැනි ශතකය ලෙසින් ලකුණු 110ක් වාර්තා කර ගත්තේය. ඒ දැකුම්කළු හතරේ පහර 17ක් සමඟිනි. ඉන්දියානු දඟ පන්දු යවන්නන් දෙදෙනාව මෙල්ල කිරීමට අද කුසල්ගේ පිහිටට ආවේ පාලනයකින් යුතුව එල්ල කරන ලද ස්වීප් පහරයි. මීට අමතරව කඩුල්ල විවර කරමින් විශිෂ්ට අයුරින් එල්ල කළ ඩ්‍රයිව් පහර කිහිපයක් ද මෙන්ඩිස්ගේ ඉනිම තුල අන්තර්ගත විය. දිනය නිමා වීමට සුළු මොහොතකට පෙර කුසල් මෙන්ඩිස් දැවී නොයන්නට ශ්‍රී ලංකාවට වැඩි වාසියක් හිමිවීමට ඉඩ තිබුනත් දෛවය අද දිනයේ දී එතරම් කාරුණික වූයේ නැත.

කෙසේවෙතත් කුසල් මෙන්ඩිස් සමඟ ලකුණු 191ක සබඳතාවයක් බිහිකළ දිමුත් කරුණාරත්න මේ වනවිට නොදැවී ලකුණු 92ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි. ඒ මේ වනවිට මනරම් හතරේ පහර 12ක් තම ඉනිම තුල අඩංගු කර ගනිමිනි. ඒ අනුව හෙට දිනයේ දී සංයමයකින් යුතුව පිතිකරණයේ යෙදුනහොත් පෞද්ගලිකව තම ශතකයත්, ශ්‍රී ලංකා පිළේ අභිමානයත් රැක ගැනීමේ අවස්ථාව දිමුත් සතුවේ. ඊට චන්දිමාල්, මැතිව්ස් ඇතුළු පරිණත පිතිකරුවන්ගේත්, දික්වැල්ල, ධනංජය ඇතුළු නවකයින්ගේත් සහයෝගය නොඅඩුව හිමිවිය යුතුය. කෙසේවෙතත් තවමත් ඉන්දියාවට වඩා ලකුණු 230ක් පිටුපසින් සිටින ශ්‍රී ලංකාවට තරග ජයග්‍රහණයක් පිලිබඳව සිතීම විහිළුවක් වූවත් ශ්‍රී ලංකා පිළේ ගෞරවය රැක ගැනීමට හෝ එය හේතු සාධක වනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට

SCORECARD