ඉන්දීය දඟයන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි!

2230

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වන ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වෙද්දී තරගය තුල ඉදිරියෙන් පසුවන්නේ ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 622ක් රැස් කරගත් සංචාරක ඉන්දීය කණ්ඩායමයි. එතකින් සෑහීමකට පත් නොවූ ඔවුන් ශ්‍රී ලංකා පිළේ මුල්පෙළ කඩුලු 2ක් ද බිඳ හෙළීමට අද (04) සන්ධ්‍යා කාලයේ දී සමත්කම් දැක්වූහ.

රහානේ – පුජාරා සබඳතාවය ශ්‍රී ලංකා පන්දු යවන්නන් හඬවයි

ඉන්දීය ප්‍රථම ඉනිම ශක්තිමත් කරමින් චෙටෙස්වර් පුජාරා සහ අජින්ක්‍යා රහානේ අතර ගොඩ නැගුණු නොබිඳුනු ද්විත්ව ශතක සබඳතාවය නිසා…

අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි චෙටෙස්වර් පුජාරා සහ අජින්ක්‍යා රහානේ යන පිතිකරුවන් දෙදෙනාම ශතක රැස් කරගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා අතරේ ගොඩ නැගුණු සබඳතාවය ලකුණු 200ද ඉක්මවා ගොස් තිබුණි. එබැවින් ශ්‍රී ලංකා පිළ වටා ගොඩනැගී තිබුණු පීඩනය සුළුපටු නොවේ. කෙසේ වෙතත් අද දිනයේ ක්‍රියාත්මක කළ දෙවැනි පන්දුවාරයේ දී ම ලකුණු 133ක් ලබා සිටි පුජාරාව දවා ගනිමින් විස්මිත දක්ෂතාවයක් ප්‍රකට කිරීමට දිමුත් කරුණාරත්න සමත් විය. ඒ විනිසුරු තීරණය පවා අභියෝගයට ලක් කරමිනි. ශ්‍රී ලංකා පිළේ ඉල්ලීම හමුවේ පරීක්ෂා කළ පුනරූපන මඟින් පැහැදිලි වූයේ එම පන්දුව පුජාරාගේ පා ඉන්නේ කෙළින්ම ගැටිය යුතු බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස දිමුත් කරුණාරත්නට තම ටෙස්ට් දිවියේ පළමු කඩුල්ල දවා ගැනීමේ අවස්ථාව උදා විය!

පුජාරාගේ දැවී යාමෙන් අනතුරුව පිත්ත අතට ගැනීමට ව්‍රිදිමන් සහා, හාර්දික් පාණ්ඩ්‍යා සහ රවින්ද්‍ර ජඩේජා වැනි පිතිකරුවන් රැසක් සැදී පැහැදී සිටියත් ඒ සියල්ලන්ටම වඩා දඟපන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන රවිචන්ද්‍රන් අශ්වින් කෙරෙහි විශ්වාසය තැබීමට ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් අද තීරණය කොට තිබුණි. ඒ අනුව අංක 5 පිතිකරු ලෙස පිටිය මැදට පිවිසියේ ඔහුයි. එම තීරණයට අශ්වින් සාධාරණය ඉටු කළේ තවත් වටිනා අර්ධ ශතකයක් තම සුවිශේෂී ටෙස්ට් මතකයන් ගොන්න අතරට එක්කොට ගනිමිනි. මිඩ්-ඕෆ් කලාපයට ඉහළින් එල්ල කළ දැවැන්ත හයේ පහරක් සමඟින් අශ්වින් අද 11වැනි අර්ධ ශතකයත්, ටෙස්ට් දිවියේ ලකුණු දෙදහසත් සපුරා ගැනීමට සමත් විය.

තම මංගල තරගයට ක්‍රීඩා කරන මාලින්ද පුෂ්පකුමාර ලකුණු 132ක් ලබා සිටි අජින්ක්‍යා රහානේව දවා ගත්තේ තම මංගල ටෙස්ට් කඩුල්ල ලෙසයි. ඊයේ දිනයේ අඳුරු මතකය නිමා කරමින් දක්ෂ ලෙස පන්දු යැවූ මාලින්ද අද රහානේව දවා ගත්තේ පිට ඉන්න කෙලින් ගුවනේ පාකර හැරි අනර්ඝ පන්දුවක ආධාරයෙනි. දැවැන්ත පහරක් කරා යොමුවීමට සීමා ඉරෙන් ඉදිරියට පිනූ රහානේට දඟ කැවුණු පන්දුව මඟ හැරීමත් සමඟ ඉතිරි කාර්‍යයන් සපුරාලීමට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සමත් විය. ඒ වන විට රහානේගේ පිත්තේ වැදී හතරේ සීමාව කරා පන්දුව 14 වතාවක් ගමන් කොට තිබුණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද දිනය තුලදී දැවැන්ත ලකුණු සබඳතා ගොඩ නැගීමට ඉඩක් ලබා නොදුන්නත් ඉන්දියානුවන් සෑම කඩුල්ලකටම පාහේ අර්ධ ශතක සබඳතා ගොඩ නැගීම නිසා ඔවුන්ට අවශ්‍ය වූ ඉලක්කය සපුරා ගැනීම අසීරු නොවීය. විශේෂයෙන්ම අංක 9 දක්වා පිතිකරණ ගැඹුරක් සහිත ඉන්දීය කණ්ඩායමේ සෑම පිතිකරුවෙකුම පාහේ තම කාර්‍යභාරය මැනවින් ඉටු කළේ ඒ මොහොතේ පිටියේ පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ටත් ආදර්ශයක් සපයමිනි. රවිචන්ද්‍රන් අශ්වින් (54) සහ කඩුලු රකින පිතිකරු ව්‍රිදිමන් සහා (67) අතරේ ගොඩ නැගුණු සබඳතාවය රංගන හේරත් විසින් බිඳ දැමීමත් සමඟ ඉන්දියානුවන් තම ලකුණු වේගය ඉහළ දැමූ අතර එහිදී මූලිකත්වය ගත්තේ පන්දු 85ක් තුල දී නොදැවී ලකුණු 70ක් රැස් කර ගත් රවින්ද්‍ර ජඩේජායි. ඔහුගේ වේගවත් ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

මීට අමතරව හාර්දික් පාණ්ඩ්‍යා පන්දු 20කින් ලබාගත් ලකුණු 20ත්, මොහොමඩ් ශමී පන්දු 8ක් තුල වාර්තා කර ගත් ලකුණු 19ත් නිසා ඉන්දීය ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 622ක් දක්වාම දළුලා වර්ධනය විය. ඒ සමඟින් ඉන්දීය නායක විරාත් කෝලි තීරණය කළේ තම ප්‍රථම ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවස්ථාව ලබා දීමටයි. ඒ අද දිනය නිමා වීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු කිහිපයක් දවාගෙන ජයග්‍රහණයේ දොරටු හැර ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ අනුව වෙහෙසකර ක්‍රියාවලියක් අවසානයේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් ක්‍රීඩාගාරය වෙත හැරී එන විට වමත් පිට දඟ පන්දු යවන්නන් දෙදෙනා වන රංගන හේරත් කඩුලු 4ක් ද, මාලින්ද පුෂ්පකුමාර කඩුලු 2ක් ද බිඳ හෙලා තිබුණි.

Photo Album – Sri Lanka vs India 2017 – 2nd Test Day 2

විරාත් කෝලිගේ සිහින සැබෑ කරමින් ශ්‍රී ලංකා පිළේ පළමු කඩුල්ල ලකුණු බිංදුවේ දී ම බිඳ වැටුණු අතර වගකීම පැහැර හැරි ශ්‍රී ලංකා පිතිකරුවන් අතරට මුලින්ම එක්වන්නට උපුල් තරංගට සිදු විය. ඒ අශ්වින් යැවූ පන්දුවක් තමන් අසලම පන්දු රැකි ලෝකේෂ් රාහුල් වෙත උඩපන්දුවක් ලෙස හරවා යැවීම හේතුවෙනි. ඒ අනුව ශතකයක් ලබා ගත යුතු පිතිකරුවෙකුගේ ඉනිම තම කණ්ඩායම වෙනුවෙන් කිසිදු ලකුණක් එක් නොකරම නිමාවට පත්විය. ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දෙන මොහොතේ පිතිකරණ පාරාදීසයක් ලෙසින් දිස්වූ තණතිල්ල ක්ෂණයකින් කණපිට හැරවූ අශ්වින් අද දිමුත් කරුණාරත්නව දවා ගත්තේ ඔහු ලකුණු 35ක් ලබා සිටියදීයි. ඒ ස්ලිප් කලාපයේ පන්දු රැකි අජින්ක්‍යා රහානේට පහසු උඩපන්දුවක් ලබා දෙමිනි.

තම කණ්ඩායමේ කඩුලු 2ක් ඉක්මනින්ම බිඳ වැටුණු මොහොතේ පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් අද පැමිණි විගස හයේ පහරක් කරා යොමු වූයේ 2015 වසරේ ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය මතකයට නංවමිනි. ගාල්ලේ දී පැවති තරගයේ දී මුල්පෙළ පිතිකරුවන් කිහිප දෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් තිබූ අවස්ථාවක දී චන්දිමාල් එල්ල කළ ප්‍රති ප්‍රහාරය නිසා ශ්‍රී ලංකා පිළට නොසිතූ ජයග්‍රහණයක් හිමි විය. කෙසේ වෙතත් මෙවර තමන් නායකත්වය උසුලන තරගයේ දී තම ප්‍රහාරය පාලනය කර ගත් චන්දිමාල් හෙට දිනයේ දිගු ඉනිමක් කරා යෑමේ අටියෙන් කඩුල්ල ආරක්ෂා කර ගත්තේය.

මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන ඔහු ලකුණු 8ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 16ක් ද ලබා සිටියි. ඒ අනුව ලකුණු 50ට කඩුලු 2ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම තවමත් තිබෙන්නේ ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 572ක් පිටුපසිනි. මේ වන විට යන්තම් ලකුණු 17ක් ලෙස සටහන් වන මෙම තෙවැනි කඩුල්ලේ සබඳතාවය හෙට දිනයේ අතු ඉති දමා වැඩෙනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තුවයි. කෙසේ වෙතත් අශ්වින්, ජඩේජා ඇතුළු ඉන්දියානු පන්දු යවන්නන්ගෙන් ද හෙට දිනයේ එල්ල විය හැකි අභියෝගය සුළුපටු නොවේ. එබැවින් තරගයේ තෙවැනි දිනය වන හෙට දිනයේ පිත්තත් පන්දුවත් අතර සීතල යුද්ධයක් නැරඹීමට දෙපිළේම ක්‍රිකට් රසිකයින්ට අවස්ථාව උදාවනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට 

ලකුණු සටහන