දෝනි – කුමාර් සටන නිසා ඉන්දියාවට තියුණු ජයක්!

689
Sri lanka v India 2nd ODI

තම විවාහ මංගල්‍යයෙන් දිනකට පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සේවයට වාර්තා කළ අකිල ධනංජය දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට ඉතාමත් ඉහළ අවස්ථාවක් අද (24) ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. කෙසේ වෙතත් වෙනත් කිසිදු පන්දු යවන්නෙකු ඔහුගේ සහයට නොසිටීම නිසා අවසානයේ ශ්‍රී ලංකාවට උරුම වූයේ කඩුලු 3ක පරාජයකි.

ධවාන්ගේ ශතකය ඉදිරියේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්!

තරග 3-0ක් ලෙසින් නිමාවට පත්වුණු ටෙස්ට් තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ඇරඹුණු එක්දින තරගාවලියේ…

තරග 5කින් සමන්විත තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු එක්දින තරගයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 139ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකාව අනපේක්ෂිත ලෙස ලකුණු 216කට දැවී ගිය අතර ඒ හේතුවෙන් පන්දුවාර 20කටත් වඩා ඉතිරිව තිබිය දී පහසු ජයක් ලබා ගැනීමට ද ඉන්දියානු කණ්ඩායමට අවස්ථාව උදා විය. පන්දු රැකීම, පන්දු යැවීම, පිතිකරණය හෝ උඩ පන්දු රැක ගැනීම යන කිසිදු ආකාරයකින් ඉදිරියෙන් සිටීමට එදින ඔවුන්ට හැකි නොවීය. මේ ආකාරයෙන් කිසිදු සටනක් නොදී පරාජය වැළඳ ගැනීම නිසාවෙන්ම කුපිත වූ ප්‍රේක්ෂකයින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දැක්වූ විරෝධතා නිසා කණ්ඩායමට ක්‍රීඩාංගණයෙන් පිටවී යාමට ද පමාවිය.

අද කාසියේ වාසිය ජයගත් ඉන්දීය නායක විරාත් කෝලි ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිළට ලබා දුන්නේය. අද තරගයට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පවසා සිටියේ තම කණ්ඩායමේ වෙනසක් සිදු කිරීමට තරම් හේතුවක් තමන්ට සිතාගත නොහැකි බවයි. එය සනාථ කරමින් අද ඔවුන් කිසිදු වෙනස්කමකින් තොරවම තරගයට එක්වී තිබුණි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද වනිඳු හසරංග, තිසර පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට මිලින්ද සිරිවර්ධන, දුෂ්මන්ත චමීර සහ අකිල ධනංජය කණ්ඩායමට එක්කර ගනිමින් තරගයට පිවිසියහ.

අද සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලකට සහ නිරෝෂන් දික්වැල්ලට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර දික්වැල්ලගේ වටිනා කඩුල්ල ලකුණු 41දී බිඳ වැටුණි. ඉතාමත් විශ්වාසයකින් යුතුව ප්‍රවේගකාරී ඉනිමක් ගොඩ නැගූ දික්වැල්ල අද පන්දු 24කින් ලකුණු 31ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟිනි. කෙසේ වෙතත් ආරම්භයේ දී එල්ල කළ පහරවල් රැසක් සාර්ථක වීම නිසා ඇති කරගත් අධික ආත්ම විශ්වාසය ඔහුට දිගු ඉනිමක් කරා යාමට තිබූ අවස්ථාව අහුරා දැම්මේය.

ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක අතරේ සුළු ලකුණු සබඳතාවයක් ගොඩ නැගුණු අතර අවසානයේ ඔවුන් දෙදෙනාම ලකුණු 19ක් ලබා සිටිය දී දැවී ගියහ. ඔවුන් දෙදෙනාම දැවී ගියේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චහාල්ගේ පන්දු යැවීම හමුවේයි. තරගාවලියේ මුල් තරග දෙකම අසාර්ථක කරගත් ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග අද දැවී ගියේ ලකුණු 9ක් පමණක් ලබා සිටියදීයි. හාර්දික් පාණ්ඩ්‍යා යැවූ පන්දුවකට පාද චලනයකින් තොරව ඔහු එල්ල කළ අපරීක්ෂාකාරී පහර ස්ලිප් කලාපයේ සිට විරාත් කෝලි රැක ගත්තේ ඉතාමත් පහසු ආකාරයෙනි.

හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද අද රැස්කර ගත්තේ ලකුණු 20ක් පමණි. ඉන් අනතුරුව චාමර කපුගෙදර සහ මිලින්ද සිරිවර්ධන අතරේ ලකුණු 91ක ඉතාමත් වටිනා සබඳතාවයක් ගොඩ නැගුණි. ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාවත් පහසු නොවන වටපිටාවක් තුල දී ඔවුන් දෙදෙනා අතරේ ඇතිවූ මෙම සබඳතාවය ශ්‍රී ලංකා පිළ ලකුණු 212ක් දක්වා ඉහළට ගෙන ආවේය. කලකට පසු නැවත ජාතික කණ්ඩායම හා එක්වුණු මිලින්ද සිරිවර්ධන අද සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 58ක් රැස්කර ගත්තේය. ඔහුගේ ඉනිම හතරේ පහර 2කින් සහ හයේ පහරකින් වර්ණවත් විය.

45 වැනි පන්දුවාරයේ දී මිලින්ද සිරිවර්ධන දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා පිළේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ සම්පූර්ණ වගකීම භාර වූයේ දකුණත් මැදපෙළ පිතිකරු චාමර කපුගෙදරටයි. නමුත් 47වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ජස්ප්‍රිට් බුම්රාහ් එවූ මාරාන්තික යෝකර් පන්දුවක් හමුවේ තම ඉනිම නිමා කිරීමට ඔහුට සිදු විය. දැවී යන විට ඔහු පන්දු 61කදී ලකුණු 40ක් රැස් කරගෙන සිටියේය. ඒ හතරේ පහර 2ක් සමඟිනි.

ඉන් අනතුරුව අවසන් පෙළ පිතිකරුවන්ගේ වෑයම නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 236ක් දක්වා ක්‍රමයෙන් ඉහළ නැගුණි. පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රාහ් ලකුණු 43කට කඩුලු 4ක් දවාගත් අතර යුශ්වේන්ද්‍ර චහාල් කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට වැසි ඇද වැටුණු නිසා ඉන්දියානුවන්ට පන්දුවාර 47ක දී ලකුණු 231ක ඉලක්කයක් හිමි විය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ සුපුරුදු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් පිටියට පිවිසියේ ඉන්දීය කණ්ඩායමට පහසු ජයක් අත්කර දීමේ බලාපොරොත්තුවෙනි. එම අරමුණ සඵල කර දෙමින් පළමු කඩුල්ල වෙනුවෙන්ම ශතක සබඳතාවයක් පිහිටවීමට ඔවුන් දෙදෙනාට අවස්ථාව උදාවිය. පළමු එක්දින තරගයේ දී අසාර්ථක වූ රෝහිත් ශර්මා අද ලකුණු 54ක් රැස් කරමින් නැවතත් ලකුණු අතරට පිවිසීම එහිදී සුවිශේෂී සිදුවීමක් බවට පත්විය.

රෝහිත්ගේ දැවී යාමෙන් පසුව අර්ධ ශතකය කරා කුරුමානම් අල්ලමින් සිටි ශිකර් ධවාන්ව දවා ගැනීමට මිලින්ද සිරිවර්ධනට හැකි විය. ඒ සඳහා ඇන්ජෙලෝ මැතිව්ස් රැකගත් සුපිරි උඩපන්දුව ද මහත් සේ උපකාරී විය. ඒ වන විට ශිකර් ධවාන් හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 49ක් රැස් කරගෙන සිටියේය. ඉන් අනතුරුව උදාවූයේ මීට දිනකට පෙරාතුව විවාහ දිවියට පිවිසි අකිල ධනංජයගේ වාරයයි!

ඒ වන විටත් ඉතාමත් පහසු ජයක් කරා ඇදෙමින් තිබූ ඉන්දියානුවන්ගේ ගමනට හරස් කැපූ ඔහු ලොව පරසිඳු පිතිකරුවන් රැසක් තම ඉන්ද්‍රජාල පන්දුකරණයෙන් මංමුලා කිරීමට සමත් විය. ඔහුගේ විස්මිත පන්දු යැවීම හමුවේ සුපිරි පිතිකරු විරාත් කෝලිගේ මෙන්ම කෙඩාර් ජාදෙව්ගේ සහ ලෝකේෂ් රාහුල්ගේ කඩුලු බිම පතිත වනු පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට රැස්වුණු ප්‍රේක්ෂකයින් බලා සිටියේ උතුරා යන සතුටකින් යුතුවයි. එතකින් නොනැවතුනු ඔහු හාර්දික් පාණ්ඩ්‍යා සහ අක්සාර් පටෙල්ව ද ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවුවේ 2008 වසරේ දී අජන්ත මෙන්ඩිස් ඉන්දියානු කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක් දවා ගනිමින් දැක්වූ විශිෂ්ට දක්ෂතාවය නැවත සිහිපත් කරවමිනි.

කෙසේ වෙතත් ඒ වන විට ලකුණු 131කට කඩුලු 7ක් බිඳ වැටී අසරණ වී සිටි ඉන්දියානු කණ්ඩායමට නැවතත් ජීවය ලබා දීමට හිටපු නායක එම්. එස්. දෝනි සහ බුවනේශ්වර් කුමාර් සමත් විය. ඒ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක නොබිඳුනු සබඳතාවයක් ගොඩ නංවමිනි. තම එක්දින දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කිරීමට තම කණ්ඩායම අසීරුතාවයට පත්ව සිටි දිනයම තෝරාගත් බුවනේශ්වර් කුමාර් අද නොදැවී ලකුණු 53ක් රැස් කර ගත්තේය. ඒ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟිනි. අනෙක් අන්තය ආරක්ෂා කර ගනිමින් ඔහුට ගුරුහරුකම් ලබා දුන් එම්. එස්. දෝනි නොදැවී ලකුණු 45යි.

නවක ක්‍රීඩකයෙකු වශයෙන් ධනංජය දැක්වූ දස්කම් හැරුණු විට අනෙක් කිසිදු පන්දු යවන්නෙකු තමන්ට නියමිත කාර්‍යභාරය ඉටු නොකිරීම මෙවන් අවාසනාවන්ත පරාජයකට මුහුණ දීමට මූලික හේතුව බවට පත්විය. එහි දී මිලින්ද සිරිවර්ධන පමණක් එක් කඩුල්ලක් දවා ගනිද්දී ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු යන වේග පන්දු යවන්නන්ට එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වීම කැපී පෙනුණි. ධනංජය අද ලකුණු 54කට කඩුලු 6ක් දවා ගනිමින් තම පළමු ‘එක්දින කඩුලු 5 බිඳ දැමීම’ සටහන් කළ ද තරගය ජයග්‍රහණයකින් කෙළවර කරමින් ජයපැන් බීමට නොහැකි වීමට එය දැඩි බලපෑමක් එල්ල කළේය.

ඉන්දියානු කණ්ඩායම මෙම තරගය පන්දු 14ක් ඉතිරිව තිබිය දී කඩුලු 3කින් ජය ගැනීමත් සමඟම ඔවුන් තරග 2ක් ජය ගනිමින් තරගාවලි ජයග්‍රහණයට ඉතාමත් ආසන්නව සිටියි. එබැවින් මෙම තරගයේ දී පිතිකරුවන් දැක්වූ අලස ක්‍රීඩා රටාවත් පන්දු යවන්නන්ගේ තර්ජනයකින් තොර ක්‍රීඩා විලාශයත් වෙනස් කරගෙන මීළඟ තරඟ සඳහා මුහුණ දීම වැදගත් වේ. ඉන්දු – ශ්‍රී ලංකා තෙවැනි එක්දින තරගය ලබන 27 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට << 

Scorecard