වැස්සේ සහයත් ඇතිව යොවුන් සිංහයන් සටනේ

372
asalanka, sammu, avishka

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග එංගලන්තයේ කේම්බ්‍රිජ් හී පැවැත්වෙන පළමු සිවුදින යොවුන් ටෙස්ට්  ක්‍රිකට් තරගය බේරා ගැනීම පිලිබඳ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගන්නට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකිවිය. ඒ පන්දුවාර 43ක් පමණක් ක්‍රියාත්මක කිරීමට හැකිවූ ඊයේ දිනය තුළ පළමු ඉනිමේ කඩුලු 4ක් ඉතිරි කර ගනිමිනුයි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා යෞවනයන්ට දැවැන්ත අභියෝගයක්

ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට නොදැවී ලකුණු 55ක් ලබා සිටි චරිත් අසලංක තම පෞද්ගලික ලකුණු එකතුව තවත් ලකුණු 26කින් ඉහලා දමාගැනීමෙන් පසු දැවී ගියේ එඩි බාන්ස්ගේ පන්දුවක් හමුවේයි. අවිශ්ක ප්‍රනාන්දු ද සටන්කාමී ලකුණු 45ක් රැස් කිරීමෙන් පසු ජෝෂ් කෝලින් යැවූ පන්දුවක් හමුවේ දැවී යන ලදී.

වර්ෂාව හේතුවෙන් දිවා ආහාරයෙන් පසු පැය 3කට අධික කාලයක් තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර, සම්මු අශාන් සහ අශේන් බණ්ඩාර 5වන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 50කි. සවස 5ට පමණ තරගය නැවත ආරම්භ කිරීමෙන් පසු සම්මු අශාන් ලකුණු 51කටත්, නවිඳු විතානගේ ලකුණු 3කටත් දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ, කඩා වැටීමකට මග විවර කරමිනුයි. කෙසේ වෙතත් අශේන් බණ්ඩාර සහ ජෙහාන් ඩැනියල් පන්දුවාර 4ක් තම කඩුලු ආරක්ෂා කරගත් පසු ශ්‍රී ලංකා යෞවනයන්ගේ සහයට පැමිණි අයහපත් ආලෝකය, තරගයට නැවතීමේ තිත තැබීමට සමත්විය.

එංගලන්තය ගොඩනැගූ ලකුණු 500ක දැවැන්ත පළමු ඉනිමට පිළිතුරු ලෙස ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 235ක් ලබා සිටි අතර, එංගලන්ත දෙවන ඉනිමට පෙර නැවත පන්දුවට පහරදීමෙන් ගැලවීමට නම් ඔවුන්ට තවත් ලකුණු 66ක් අවශ්‍යවේ.

මේ අනුව තරගයේ අවසන් දිනය වන අද (29) දිනය තුළ ලැබීමට ඉහලම සම්භාවිතාවක් ඇති ප්‍රතිඵලය වන්නේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමයි. කෙසේ වෙතත් දිනයට නියමිත සම්පූර්ණ පන්දුවාර ප්‍රමාණය ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත්, එම ප්‍රතිඵලය ලබා ගැනීමටත් ශ්‍රී ලංකා  අවුරුදු 19න් පහළ පිතිකරුවන්ට ඉතා වගකීම් සහගත ලෙස පිතිහරඹයේ යෙදීමට සිදුවනු ඇති.

ලකුණු පුවරුව

එංගලන්ත 19න් පහළ පළමු ඉනිම – 500/9 d  (ඔලී වෙස්ට්බරි – 196, ජෝජ් බාට්ලට් – 131, ඔලී පෝප් – 78, ජෙහාන් ඩැනියල් – 3/91, ලහිරු කුමාර – 2/104, සම්මු අශාන් – 1/21)

ශ්‍රී ලංකා 19න් පහළ පළමු ඉනිම – 235/6 (චරිත් අසලංක – 81, සම්මු අශාන් – 51, අවිශ්ක ප්‍රනාන්දු – 45, අශේන් බණ්ඩාර – 21*, ජෝෂ් කෝලින් – 2/19, අමර් විර්දි – 2/57)

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තවත් කඩුලු 4ක් අතැතිව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 265ක් පසුපසින්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට