අභිමානය බේරාගන්න ලැබෙන අවසන් අවස්ථාවට පෙර

1590

නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලි කිහිපය තුලම සාර්ථක අවසානයක් කරා ළඟා වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලිය තුලත් යම් පසුබැස්මකට ලක්ව ඇති බව පෙනේ.

එංගලන්තය 2-0ක් ලෙස දැනට තරගාවලියේ පෙරමුණේ සිටින පසුබිමක තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට නම් ශ්‍රී ලංකාව අවසන් එක්දින ක්‍රිකට් තරග දෙකම ජය ගත යුත්තේ සිය අභිමානය හෝ රැක ගැනීම වෙනුවෙනි.

ශ්‍රී ලංකා පරාජයන් රැල්ල නොනැවති ඉදිරියට

ශ්‍රී ලංකාව හා එංගලන්ත අතර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පැවැත්වූ තෙවන එක්දින තරගයත්..

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසය

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මෙතෙක් තරග 72ක් පවත්වා ඇත. ඒ අතරින් එංගලන්ත කණ්ඩායම තරග 35ක් ජයග්‍රහණය කරමින් පෙරමුණේ සිටින අතර ශ්‍රී ලංකාව තරග 34ක් ජයග්‍රහණය කරමින් එංගලන්තයට වඩා පසුපසින් සිටී. එසේම එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී පසුගිය දා නිමා වූ තරගය ද ඇතුලත්ව තවත් තරග දෙකක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

තවද එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සංචාරවල දී පැවැත්වූ එක්දින තරගාවලි අතරින් 2007 වසරේ පැවති තරගාවලිය හැර අනෙක් තරගාවලි පහම සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

අවධානය දිනා ගන්නා ක්‍රීඩකයින්

ධනංජය ද සිල්වා හා ජෝස් බට්ලර්

මේ තරගාවලියේ දෙරට අතර මෙතෙක් පැවැත්වූ එක්දින තරගවල දී ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුම දෙනා පාහේ යම් අසාර්ථකත්වයක් පෙන්නුම් කළ අතර දනංජය දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී යම් ධනාත්මක පිතිකරණයක නිරත විය.

දකුණතින් පිත්ත හසුරුවන පිතිකරුවන් දෙදෙනෙක් වන ධනංජය හා කඩුලු රකින ක්‍රීඩක ජෝස් බට්ලර් මේ එක්දින ක්‍රිකට් තරගාවලිය පුරාවටම දෙපිලේම පන්දු යවන්නන් මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන් ද වැඩි අවධානයක් යොමු කරනු ඇත්තේ සාමාන්‍ය එක්දින ක්‍රිකට් තරගාවලිවල තුල දී ඔවුන් ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වෙමින් ලකුණු රැස්කරන නිසාවෙනි.

බට්ලර් ශ්‍රී ලංකාවට එරෙහිව 47.00ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ඇත. ඔහු තරග 22ක දී ඉනිම 17කට සහභාගි වෙමින් ලකුණු 564ක් රැස්කරගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක තුනක් සිය ලකුණු ගොන්නේ සටහන් කරගෙනයි.

ධනංජය එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග 3කට පමණක් ක්‍රීඩා කර තිබුනත් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ එක්දින ක්‍රිකට් තරග 25කට සහභාගී වී ලකුණු 521ක් ලබාගෙන ඇත්තේ අර්ධ  ශතක 4ක් සමඟ ලකුණු 25කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. තවද පන්දු යැවීමෙන් ද යම් අකාරයක පීඩනයක් එලල කිරීමට හැකි ක්‍රීඩකයෙක් ලෙස ධනංජය ද සිල්වා කැපී පෙනෙන ක්‍රීඩකයෙකි.

දිනේෂ් චන්දිමාල් හා ජෝ රූට්

ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හා එංගලන්ත ටෙස්ට් කණ්ඩායම් නායක ජෝ රූට් සිය කණ්ඩායම්වල මැදපෙළ සවිමත් කරන ප්‍රබල පිතිකරුවන් ලෙස හැඳින්වීමට හැකි නමුත් චන්දිමාල් පසුගිය දා පැවති තරගයේ දී අනෙකුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාපේක්ෂව කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වීමට අවස්ථාව ලබා ගත්තේය.

චන්දිමාල් එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා තිබෙන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 18ක දී ඉනිම් 16කට පිතිකරණයෙන් දායක වෙමින් ලකුණු 589ක් ලබාගෙන ඇත. එක් ශතකයක් හා අර්ධ ශතක හයක් රැස්කර ගෙන සිටින චන්දිමාල් ලකුණු 41කට ආසන්න ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ. ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ අංක 2ක පිතිකරුගේ වගකීම චන්දිමාල් විසින් බොහෝ දුරට මෙම තරගයේ දී ඉටු කරනු ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පවත්වා ඇති එක්දින තරග අතරින් තරග 22ක දී ඉනිම් 20කට ක්‍රීඩා කරමින් ශතක දෙකක් හා අර්ධ ශතක හයක් ලබා ගෙන ඇත්තේ ලකුණු 929ක් සිය නමට ඉදිරියෙන් සටහන් කර ගනිමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 121 වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණය ලෙස සටහන් කරගෙන තිබෙන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව 59කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන යමින් සිටියි.

Video – එංගලන්ත එක්දින තරගාවලිය ගොඩින් බේරගන්න හැටි – පිටියේ කතා

ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරග තුන අවසන් වන විට සංචාරක එංගලන්ත කණ්ඩායම…

අකිල දනංජය හා අදිල් රශීඩ්

නිමා වූ තරගයේ දී කුසල් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් හට ප්‍රබල අභියෝගයක් වූ දඟපන්දු යවන්නා වූයේ අදිල් රශීඩ්ය. ඔහු එම තරගයේ දී කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්විය. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෑත කාලයේ බිහි වූ සාර්ථකම එක්දින දඟපන්දු යවන්නා වන්නේ අකිල දනංජයයි. සිව්වන එක්දින තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ක්‍රිකට් තණතීරුව යම් කඩතොලුවීම් දැකගන්නට ලැබෙන නිසා මෙන්ම මෙම තරගය දිවා තරගයක් වන නිසා මොවුන් දෙදෙනා ඇතුළු ක්‍රීඩා කරනු ලබන දඟපන්දු යවන්නන්ට යම් වැඩි ප්‍රතිඵලයක් නෙළා ගැනීමට හැකිවෙනු ඇත.

දකුණතින් දඟපන්දු යවන රශීඩ් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 76කට සහභාගී වෙමින් කඩුලු 117ක් දවාගෙන ඇති අතර ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහිව දවා ගත් කඩුලු 10ක් තිබේ. ඒ සඳහා ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින ක්‍රිකට් තරග 8ක් පමණි. එංගලන්ත පසුපෙළ පිතිකරුවෙක් ලෙස පිටියට පැමිණෙන රශීඩ් නිමා වූ එක්දින තරගාවලි කිහිපය තුල දී යම් පිබිදීමක් පෙන්නුම් කර තිබේ.

එක්දින ක්‍රිකට් දිවියේ ආරම්භක අදියරේ තවමත් පසුවන අකිල ජාත්‍යන්තර එක්දින තරග 28කට ක්‍රීඩා කරමින් කඩුලු 40ක් දවාගෙන ඇත්තේ 29.82ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ලොකු කුසල්ට ආබාධයක්; තෙවැනි එක්දින තරගයට අවිනිශ්චිතයි

මහනුවර පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස අනිද්දා (17) පැවැත්වීමට..

සිව්වන එක්දින තරගයට අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා කලව ආශ්‍රිතව ආබාධයකට ලක්ව ඇති නිසා ඔහුට ඉදිරි එක්දින තරග අහිමිව යන නිසාවෙන් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳව තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම: නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, සධීර සමරවික්‍රම, දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, අකිල ධනංජය,  නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, අමිල අපෝන්සු.

එංගලන්ත කණ්ඩායම: ජේසන් රෝයි, ජොනී බෙයාර්ස්ටෝව්, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ජෝස් බට්ලර්, ඉයන් මෝර්ගන් (නායක), මොයින් අලී, බෙන් ස්ටෝක්ස්, ජැක් ලීච්, ක්‍රිස් වෝක්ස්, ඔලී ස්ටෝන්

>> තෙවන එක්දින තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින මතකයන්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බලද්දී 2014 වර්ෂයේ දී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එක්දින තරග 3කට සහභාගී වී ඇති අතර ඉන් එංගලන්තය තරග 2ක් ජයග්‍රහණය කරන විය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි.

පල්ලෙකැලේ තණතීරුව, කාසියේ වාසියේ වැදගත්කම හා කාලගුණ තත්වය

මේ දිනවල පල්ලෙකැලේ අවට කාලගුණ තත්වය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හොඳ තත්වයක පවතින නමුත් සෙල්සියස් අංශක 25ත්–31ත් අතර තරමක උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට හැකිය. සවස් කාලයේ වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් ඇති නමුත් මේ තරගය වෙනුවෙන් අතිරේක දිනයක් වෙන්කර නොමැත. ප්‍රේක්ෂකයින් 35000කට පමණ අසුන් ගැනීමට හැකි මේ ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට දෙවනුව පන්දුවට පහර දීම තෝරාගනු ඇත.

අවසන් නිගමනය

ශ්‍රී ලංකා – එංගලන්ත තරග ඉතිහාසය දෙස බැලූ විට ශ්‍රී ලංකාවට ද, ශ්‍රේණිගත කිරීම්වලින් බැලූ විට එංගලන්තයට ද වැඩි වාසි හිමි වේ. ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීමේ පළමුවැනි තැන පසුවෙයි. නමුත් ඒ කිසිවක් මේ තරගය සඳහා අදාළ වන්නේ නැත. අදාළ වන්නේ තරගය පැවැත්වෙන දිනයේ දී අඩුපාඩුකම් අවම කරගෙන ක්‍රීඩා කිරීමයි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන සිව්වැන එක්දින ක්‍රිකට් තරගය හෙට (20) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.45 දිවා තරගයක් ලෙස මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ. එහි තොරතුරු, එසැණ තොරතුරු හා සේයාරූ ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<