එකට එක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව දෙවැනි තරගයට

1002

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන සංචාරයේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (14) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට 1-0ක් ලෙස එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරියෙන් පසුවන නිසා දෙවන තරගය කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.

ගාල්ලෙන් ඇරඹී ගාල්ලෙන්ම නිමා වූ විශිෂ්ටයාගේ සුවිශිෂ්ට මෙහෙවර

2010 වසරේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් නික්ම යාමෙන් පසු ශ්‍රී ලංකාවට..

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් දෙරට අතර ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 211කින් ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය.

රංගන හේරත් සහභාගී වූ අවසන් ටෙස්ට් තරගය නිසා එය ජයග්‍රහණයකින් අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. එංගලන්තය හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ඉතාමත් හොඳ සූදානමකින් පිටියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයක් ද සමඟිනි.

මුහුණට මුහුණ

ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්වරුන් ලෙස සැලකෙන එංගලන්තය සමඟින් පළමු ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකාව සහභාගී වී ඇත්තේ වර්ෂ 1981 දී ය. එතැන් සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග 32ක් පවත්වා තිබෙන අතර එයින් තරග 13ක ජය එංගලන්තය සතුවෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 8ක් පමණයි. තවත් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

මොවුන් අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 15න් තරගාවලි 7කම ජය ලියැවී ඇත්තේ එංගලන්තයේ නම ඉදිරියෙනි. ශ්‍රී ලංකාව තරගාවලි 5ක් ජය ගන්නා විට තවත් තරගාවලි 3ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ටෙස්ට් ජයග්‍රහණ

ශ්‍රී ලංකාව අවසන් වරට මෙරට දී එංගලන්ත කණ්ඩායමක් ටෙස්ට් තරගයක දී පරාජය කර ඇත්තේ 2012 වර්ෂයේ දී වන අතර එම තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය මහේල ජයවර්ධනට හා රංගන හේරත්ට හිමි විය යුතු අතර තරගාවලිය අවසානයේ රංගන හේරත් ශ්‍රී ලංකාව ජය ගත් තරගයේ වීරයා බවට ද පත්විය. තරගාවලිය අවසානයේ එම තරගාවලියේ වීරයා බවට පත්වුනේ මහේල ජයවර්ධනයි.

2014 වර්ෂයේ දී එංගලන්තයේ ලීඩ්ස් හිදී පැවති තරගයක් ලකුණු 100කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ තරගය ඉතිහාසයට එකතු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව ඔවුන්ගේ නිජබිමේ දී අවසන් වරට ලබාගත් ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි.

අකිලගේ පන්දු යැවීමේ ඉරියව් ගැන සැකයක් – ICC

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට්…

දිමුත් කරුණාරත්න හා ජෝ රූට්

නිමා වූ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ජය ගැනීම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළ වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එංගලන්තයට එරෙහිව මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග 6ක දී ඉනිම් 12ක් ක්‍රීඩා කර ලකුණු 286ක් ලබා ගැනීමට සමත්ව ඇත. එහි දී ඔහු 27කට ආසන්න ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ඇත්තේ එක් ශතකයක් ද ලබාගෙනයි.

කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් තරග 52කට සහභාගී වෙමින් ඉනිම් 101ක දී ලකුණු 3572ක් ලබා ගනිමිනි. අවසන් වසර දෙක තුල ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 18කට සහභාගී වී ලකුණු 1452ක් ලබාගෙන ඇත්තේ ශතක 4ක් හා අර්ධ ශතක 7ක් ලබා ගනිමිනි. එම නිසා හෙට (14) පැවැත්වෙන ක්‍රිකට් තරගයේ දී කරුණාරත්න පිතිකරුවෙක් ලෙස එංගලන්ත පන්දු යවන්නන් හමුවේ යම් දෙයක් කරනු ඇතැයි වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකිය.

එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් මෑත කාලය තුල ඉතාමත් හොඳින් දස්කම් අතර සිටින පිතිකරුවෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරග 6ක දී ඉනිම් 10කට ක්‍රීඩා කරමින් ලකුණු 374ක් ලබාගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතකයක් ද ලබා ගනිමිනි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ද 46ක් වැනි හොඳ මට්ටමක පවතී.

කෙසේ නමුත් ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නම් මොවුන් දෙදෙනාටම පිතිකරණයෙන් ලකුණු අතරට පිවිසීමට නොහැකි විය.

ඇන්ජලෝ මැතිව්ස් හා මොයින් අලී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවෙකි. ඔහු ඒ බව ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉතාමත්ම හොඳින් ප්‍රදර්ශනය කළේ ඉනිම දෙකේ දී ම අර්ධ ශතක දෙකක් ලබා ගෙනයි.

ඔහු එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 7ක දී ලකුණු  616ක් ලබාගෙන ඇත්තේ ඉනිම් 13ක් සඳහා ක්‍රීඩා කරමිනි. ඔහුගේ ලකුණු සාමාන්‍යය ලකුණු 50ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක පැවතීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම ප්‍රේක්ෂකයින් හට යම් අස්වැසිල්ලක්  වනු නිසැකය.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බැලූ විට වමතින් පිත්ත හසුරුවන මැදපෙළ ශක්තිමත් කළ හැකි පිතිකරුවෙක් වන මොයින් අලී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 6ක ඉනිම් 10ක් සඳහා දායක වෙමින් ලකුණු 351ක් ලබාගෙන ඇත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ආසන්න වශයෙන් ලකුණු 55කට ආසන්න අගයක් ගනී. ඒ අතරට ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ඇතුළත්ය. මොයින් අලී දෙරට අතර පැවැත්වුණු පළමු ක්‍රිකට් තරගයේ දී පිතිකරණයෙන් ලකුණු අතරට නොපැමිණියත් පන්දු යැවීමෙන් ඉනිම දෙකේ දී ම කඩුලු 8ක් දවා ගෙන දස්කම් දක්වන ලදි.

මාලින්ද පුෂ්පකුමාර හා ආදිල් රෂිඩ්

වමතින් දඟපන්දු යවා වැඩිම ටෙස්ට් කඩුලු ගණනක් දවා ගත් ක්‍රීඩකයා ලෙස රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙද්දී ඉන් පසුව එවැනි ආකාරයට පන්දු යවා දස්කම් අතරට පැමිණේවි යැයි අපේක්ෂා කිරීමට පුළුවන් ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නෙක් ලෙස වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාරව හඳුන්වා  දෙන්න අපට පුළුවනි.

තවමත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 2කට පමණක් සහභාගී වී කඩුලු 5ක් දවා ගෙන ඇති පුෂ්පකුමාර පසුගිය වසරේ පැවති ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකාව සමඟින් පසුගිය දා ගාල්ලේ දී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය පමණක් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කර තිබෙන පා දඟපන්දු යවන ක්‍රීඩක ආදිල් රෂිඩ් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 16කට සහභාගී වෙමින් කඩුලු 51ක් දවා ගෙන ඇත්තේ එක් කඩුලු 5 අවස්ථාවක් ද සාර්ථක කරගෙනයි. රෂිඩ්ගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 39.68කි. මාලින්ද පුෂ්පකුමාර හා ආදිල් රෂිඩ් යන දෙදෙනාටම යම් ආකාරයකින් පසුපෙළ පිතිකරණයෙන් ද සිය කණ්ඩායම් සවිමත් කළ හැක.

දෙවැනි ටෙස්ට් තරගයට චන්දිමාල් නෑ?

එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය..

සුරංග ලක්මාල් හා ජේම්ස් ඇන්ඩර්සන්

දිනේෂ් චන්දිමාල්ගේ ආබාධ තත්වය නිසා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලබා දී ඇත්තේ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙතයි. සුරංග ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 50ක දී කඩුලු 120ක් දවාගෙන ඇත්තේ කඩුලු 5 එක් අවස්ථාවක් ද ලබාගෙනයි. එංගලන්තය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරග 8ක දී කඩුලු 16ක් දවාගෙන ඇත්තේ ලකුණු 873ක් ලබා දෙමිනි. එංගලන්තයට එරෙහිව ලක්මාල්ගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 54.56ක්.

ලොව ප්‍රබල වේගපන්දු බල ඇණියක් සිටින කණ්ඩායමක් ලෙස එංගලන්තය හඳුන්වා දීමට හැකි අතර ඒ අතරින් දකුණතින් වේගපන්දු යවන ජේම්ස් ඇන්ඩර්සන් වැදගත් වන්නේ ඔහුට නව පන්දුව හෝ පැරණි පන්දුව කියා භේදයකින් තොරව කළ හැකි දේ බොහෝ නිසාවෙනි. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් තරග 12ක් ක්‍රීඩා කර ඇති ඉනිම 22ක දී ඇන්ඩර්සන් කඩුලු 52ක් දවාගෙන ඇත්තේ 22.86ක තරම් හොඳ මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ ස්වභාවය හා කාලගුණ තත්වය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ලොව ඇති දර්ශනීය ක්‍රීඩාංගණවලින් එකකි. මේ මනරම් ක්‍රීඩාංගණයේ තණතීරුව බොහෝ දුරට පිතිකරුවන්ට උචිත ලෙස හැසිරෙනු ඇත. මෙම ක්‍රීඩා පිටිය විවෘත කරනු ලැබුවේ 2009 වසරේ දී වන අතර ප්‍රේක්ෂකයින් 35,000කට පමණ අසුන් ගැනීමට හැකි.

පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරග 6කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන් එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර තරග දෙකක් පරාජය වී ඇත. එසේම පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ පැවති තවත් තරග 3ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.  එංගලන්තය හා ශ්‍රී ලංකාව පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී ටෙස්ට් තරගයක දී මෙතෙක් එකිනෙකා මුණගැසී නොමැත.

යම්හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දුවට පහර දීමට සුදුසු බවයි දත්ත පිරික්සා බැලූ කල පෙනී යන්නේ. සෙල්සියස් අංශක 26 – 31 අතර පරාසයේ උෂ්ණත්වයක් පවතින මේ ක්‍රිකට් තරගයට සවස් කාලයේ දී විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට ඉඩකඩක් පවතී.

අවසන් නිගමනය

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4722ක් සමඟ ප්‍රසාද ලකුණු 105ක් දිනා ගෙනයි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 3668ක් සමඟ ප්‍රසාද ලකුණු 97ක් දිනා ගෙනයි. ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද එංගලන්තය පෙරමුණේ පසුවෙයි.

නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගය හා තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

අසංලකට ටෙස්ට් වරම්; චන්දිමාල් සංචිතයෙන් ඉවතට

සංචාරක එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ..

දෙවන ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නිමා වූ පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පාදයේ මාංශ පේශි ඇදීමකට ලක්වී ඇති නිසාවෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ඔහු ක්‍රීඩා නොකරනු ඇත.

ඒ නිසාවෙන් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පසුගිය දා (11)  පියවර ගත්තේය.

ශ්‍රී ලංකාව – සුරංග ලක්මාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞශාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා , නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), අකිල දනංජය, දිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර.

එංගලන්තය – ජෝ රූට් (නායක), කීට්න් ජෙනින්ස්, රෝරි බර්න්ස්, මොයින් අලී, බෙන් ස්ටොක්ස්, ජෝස් බට්ලර්, බෙන් ෆෝකස් (කඩුලු රකින්නා), සෑම් කරන්, අදිල් රෂිඩ්, ජැක් ලීච්, ජේම්ස් ඇන්ඩර්සන්.

ටෙස්ට් තරග කාලසටහන

  • 2018 නොවැම්බර් 6-10 – පළමු ටෙස්ට් තරගය – ගාල්ල
  • 2018 නොවැම්බර් 14-18 – දෙවන ටෙස්ට් තරගය – පල්ලෙකැලේ  
  • 2018 නොවැම්බර් 23-27 – තෙවැනි ටෙස්ට් තරගය –  එස්. එස්. සී

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <