1982 සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිවල පැවති 70 වැනි එක්දින ක්‍රිකට් තරගය ප්‍රතිඵලයක් නොමැතිව පසුගිය දා (10) නිමාවට පත්වූයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බාධා හමුවේ තරගය අතරමැද නතර කරදමමිනි.  

වසර 36ක ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල පැවැත්වෙන තවත් සුවිශේෂී හා වැදගත් තරග සංචාරයක් වන මෙම  තරගාවලිය එක්දින ක්‍රිකට් තරග 5කින්, එක් විස්සයි විස්ස තරගයකින් හා ටෙස්ට් ක්‍රිකට් තරග 3කින් සමන්විත වේ.

“ටිට්ලි” දඹුලු තරගය විනාශ කරයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙන් ඇරඹි “ටිට්ලි සුළි කුණාටුවත්” සමඟම මෙරට සංචාරයක …

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසය

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මෙතෙක් තරග 70ක් පවත්වා ඇති අතර ඒ අතරින් එංගලන්ත කණ්ඩායම තරග 33ක් ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකාව තරග 34ක් ජයග්‍රහණය කර ඇත. එසේම එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී පසුගිය දා නිමා වූ තරගය ද ඇතුලත්ව තවත් තරග දෙකක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

තවද එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සංචාරවල පැවැත්වූ එක්දින තරගාවලි අතරින් 2007 පැවති තරගාවලිය හැර අනෙක් තරගාවලි පහම සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

අවධානය දිනා ගන්නා ක්‍රීඩකයින්

උපුල් තරංග හා ජෝස් බට්ලර්

වමතින් පිත්ත හසුරුවන උපුල් තරංග හා දකුණතින් පිත්ත හසුරුවන කඩුලු  ක්‍රීඩක ජෝස් බට්ලර් මේ එක්දින ක්‍රිකට් තරගාවලිය පුරාවටම දෙපිලේම පන්දු යවන්නන් මෙන්ම පුහුණුකරුවන් ද වැඩි අවධානයක් යොමු කරනු ඇත්තේ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිවල දී ඔවුන් ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වෙමින් ලකුණු රැස්කරන නිසාවෙනි.

තරංග එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග 16කට ක්‍රීඩා කරමින් ලකුණු 674ක් ලබාගෙන ඇත්තේ ශතක හා අර්ධ  ශතක 3 බැගින් ලබා ගනිමිනි. බට්ලර් 48.72ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු රැස්කරගෙන ඇත. ඔහු තරග 19ක දී ඉනිම 16කට සහභාගි වෙමින් ලකුණු 536ක් රැස්කරගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක තුනක් සිය ලකුණු ගොන්නේ සටහන් කරගෙනයි.

හැමදෙයක්ම පුළුවන් චීනයට ක්‍රිකට්වලින් බින්දු ගොඩක්

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සුදුසුකම් …

ලසිත් මාලිංග හා ක්‍රිස් වෝක්ස්

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෑත කාලයේ බිහි වූ සාර්ථකම වේගපන්දු යවන්නා ලසිත් මාලිංග බව නොරහසකි. එංගලන්ත ක්‍රීඩකයින් අතරේ නම් දක්ෂ වේගපන්දු යවන්නන් රාශියක් සිටින අතර ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත එක්දින සංචිතය තුල ද එවැනි වේගපන්දු යවන්නන් කිහිප දෙනකේ සිටියි. ක්‍රිස් වෝක්ස්ට අමතරව බෙන් ස්ටොක්ස්, ඔලී ස්ටෝන්, මාර්ක් වූඩ් එවැනි වේගපන්දු යවන්නන් කිහිප දෙනෙකි.

නමුත් ඒ අතරින් දකුණතින් මද වේගපන්දු යවන ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 76කට සහභාගී වෙමින් කඩුලු 109ක් දවාගෙන ඇති අතර ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහිව දවා ගත් කඩුලු 19ක් තිබේ. ඒ සඳහා ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින ක්‍රිකට් තරග 13ක් පමණි. මාලිංග එංගලන්තය සමඟ පැවති එක්දින තරග 26කට ක්‍රීඩා කරමින් කඩුලු 29ක් දවාගෙන ඇත්තේ 28.35ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

දිනේෂ් චන්දිමාල් හා ජෝ රූට්

ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හා එංගලන්ත ටෙස්ට් කණ්ඩායම් නායක ජෝ රූට් සිය කණ්ඩායම්වල මැදපෙළ සවිමත් කරන ප්‍රබල පිතිකරුවන් ලෙස හැඳින්වීමට හැකිය.

චන්දිමාල් එංගලන්තය සමඟ පවත්වා තිබෙන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 16ක දී ඉනිම් 14කට පිතිකරණයෙන් දායක වෙමින් එක් ශතකයක් හා අර්ධ ශතක හයක් රැස්කර ගෙන සිටින්නේ 45.75ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

දකුණතින් පිතිකරණයේ නිරත වෙන රූට් ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පවත්වා ඇති එක්දින තරග අතරින් තරග 20ක දී ඉනිම් 18කට ක්‍රීඩා කරමින් ශතක දෙකක් හා අර්ධ ශතක පහක් ලබා ගෙන ඇත්තේ ලකුණු 850ක් සිය නමට ඉදිරියෙන් සටහන් කරගනිමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 121 වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණය ලෙස සටහන් කරගෙන තිබෙන රූට් ශ්‍රී ලංකාවට එරෙහිව 60.71ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන ඇත.

දෙවන  එක්දින තරගයට අපේක්ෂිත කණ්ඩායම්

වර්ෂාවෙන් බාධා එල්ල වූ පළමු තරගය තුල එංගලන්ත පිතිකරුවන් හා ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රීඩා කළ පන්දුවාර 15 සලකා බලා බොහෝ විට ක්‍රීඩකයින් වෙනස් නොකරනු ඇති අතර යම් හෙයකින් ක්‍රීඩකයෙක් වෙනස් වුවහොත් එය සිදුවන්නේ තණතීරුවේ හැසිරීම මත හෝ දිවා තරගයක් වීම යන කරනු සැලකිලි කරගෙනයි.

ශ්‍රී ලංකා කණ්ඩායම: නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, අකිල ධනංජය,  නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, ලක්ෂාන් සඳකැන්.

එංගලන්ත කණ්ඩායම: ජේසන් රෝයි, ජොනී බෙයාර්ස්ටෝව්, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ජෝස් බට්ලර්, ඉයන් මෝර්ගන් (නායක), මොයින් අලී, බෙන් ස්ටෝක්ස්, ලියාම් ඩෙව්සන්, ක්‍රිස් වෝක්ස්, ඔලී ස්ටෝන්

>> පළමු එක්දින තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න << 

දඹුල්ලේ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින මතකයන්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බලද්දී 2001, 2003, 2007, 2018 යන වර්ෂවල දී රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එක්දින තරග 6කට සහභාගී වී ඇති අතර ඉන් තරග 3ක් ශ්‍රී ලංකාව ජය ගන්නා විට සංචාරක එංගලන්තය ජයගෙන ඇත්තේ තරග දෙකක් පමණි. පසුගිය දා පැවති පළමු  එක්දින තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් විය.

දඹුල්ල තණතීරුව හා කාසියේ වාසියේ වැදගත්කම හා කාලගුණික තත්වය

ප්‍රේක්ෂකයින් 17000කට පමණ අසුන් ගැනීමට හැකි මේ ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට දෙවනුව පන්දුවට පහර දීම තෝරාගනු ඇත. එසේම මේ දිනවල දඹුල්ල අවට දේශගුණික තත්වය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හොඳ තත්වයක පවතින නමුත් සෙල්සියස් අංශක 25ත්–31ත් අතර තරමක උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට හැකිය. සවස් කාලයේ දී යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් ඇත.

අවසන් නිගමනය

ශ්‍රී ලංකා – එංගලන්ත තරග ඉතිහාසය බැලූ විට ශ්‍රී ලංකාවට ද, ශ්‍රේණිගත කිරීම්වලින් බැලූ කළ එංගලන්තයට වැඩි වාසි හිමි වේ. ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීමේ පළමුවැනි තැන පසුවෙයි. නමුත් ඒ කිසිවක් මේ තරගය සඳහා අදාළ වන්නේ නැත. අදාළ වන්නේ තරගය පැවැත්වෙන දිනයේ දී අඩුපාඩුකම් අවම කරගෙන ක්‍රීඩා කිරීමයි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට (13) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<