හේරත්ට ජයග්‍රාහී නික්ම යෑමක් ලබා දෙන්නට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද?

851
Sri Lanka vs England 1st Test cricket

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන ක්‍රිකට් සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (06) ගාල්ල ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

ඒ තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට වගේම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේත් සුවිශේෂී තරගයක් වන්නේ ලොව බිහි වූ දක්ෂතම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත් නොහොත් “වමතා” ලෙස විරුදාවලිය ලැබූ සුපිරි හා නිහතමානී ක්‍රිකට් ක්‍රීඩකයාගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වන නිසයි.

මෙවර ප්‍රිමියර් ලීගයට පාසල් කණ්ඩායම් දෙකක්

2018/19 වර්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොකඩවා දෙවන වතාවටත්..

එක්දින ක්‍රිකට් තරග 5කින්, එක් විස්සයි විස්ස ක්‍රිකට් තරගයකින් හා ටෙස්ට් තරග තුනකින් සමන්විත මෙම ක්‍රිකට් තරගාවලියේ දී, නිමා වූ එක්දින තරගාවලිය තරග 3-1ක් ලෙස හා පැවති එකම විස්සයි විස්ස තරගය එංගලන්තය ජයග්‍රහණය කරමින් ටෙස්ට් තරගාවලියට අවතීර්ණ වන්නේ ඉතාමත් හොඳ මානසිකත්වයකිනි. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් මෙරට ටෙස්ට් ක්‍රිකට් තරග සංචාරයකට පැමිණෙන්නේ වසර 6කට පමණ පසුව වීම ද විශේෂත්වයක්.

මුහුණට මුහුණ

වර්ෂ 1981 සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරග 31ක් පවත්වා තිබෙන අතර එයින් තරග 12ක ජය එංගලන්තය සතුවෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 8ක් පමණයි. තවත් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

මොවුන් අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 15න් තරගාවලි 7කම ජය ලියැවී ඇත්තේ එංගලන්තයේ නම ඉදිරියෙන්. ශ්‍රී ලංකාව තරගාවලි 5ක් ජය ගන්නා විට තවත් තරගාවලි 3ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ටෙස්ට් ජයග්‍රහණ

ශ්‍රී ලංකාව අවසන් වරට මෙරට දී එංගලන්ත කණ්ඩායමක් ටෙස්ට් තරගයක දී පරාජය කර ඇත්තේ 2012 වර්ෂයේ දී වන අතර එම තරගාවලිය  තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය මහේල ජයවර්ධනට හා රංගන හේරත්ට හිමි විය යුතු අතර තරගාවලිය අවසානයේ රංගන හේරත් ශ්‍රී ලංකාව ජය ගත් තරගයේ වීරයා බවට ද පත්වුනා. තරගාවලිය අවසානයේ එම තරගාවලියේ වීරයා බවට පත්වුනේ මහේල ජයවර්ධනයි.

2014 වර්ෂයේ දී එංගලන්තයේ ලීඩ්ස් හිදී පැවති තරගයක් ලකුණු 100කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ තරගය ඉතිහාසයට එකතු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව ඔවුන්ගේ නිජබිමේ දී අවසන් වරට ලබාගත් ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලොකු හා පොඩි ඉනිම්

වසර 37ක් අතීතයට දිවයන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාස පොතේ වාර්තා වන පරිදි මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග තුල ඉනිමක් තුල දී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු වාර්තාව ශ්‍රී ලංකාවේ නමට ඉදිරියෙන් සටහන් වී ඇත. ඉනිමක ලබාගත් වැඩිම ලකුණ ලෙස දැක්වෙන්නේ 2003 වර්ෂයේ දී ලබා ගත් ලකුණු 628/8d වන අතර මෙතෙක් ඉනිමක වාර්තා වී ඇති අඩුම ලකුණ ශ්‍රී ලංකාව හා එංගලන්තය සමව වාර්තා කරගෙන තිබේ. එම ලකුණු ගණන 81ක්.

සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 15 අතරින් එක් තරගාවලියක දී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ මහේල ජයවර්ධන වන අතර ඔහු එම තරගාවලියේ තරග 3ක් තුල ඉනිම 4කට පමණක් දායක වෙමින් ශතක 2ක් සමඟ ලකුණු 474ක් ලබාගෙන ඇත්තේ ලකුණු 158කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. මහේල 2007/08 වසරේ දී මෙරට දී පැවති ක්‍රිකට් තරගාවලියක දී එම දස්කම දැක්වූවා.

එසේම මුත්තයියා මුරලිදරන් රටවල් දෙක අතර මෙතෙක් පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක දී වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ තරග 3ක් තුල කඩුලු 26ක් දවා ගෙනයි. එම වාර්තා දෙකම ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සතුවීම මෙහි ඇති අනෙක් සුවිශේෂිතාවයයි.

දිමුත් කරුණාරත්න හා ජෝ රූට්

නිමා වූ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ජය ගැනීම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළ වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එංගලන්තයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරග 5ක දී ඉනිම 10ක් ක්‍රීඩා කර ලකුණු 256ක් ලබා ගැනීමට සමත්ව ඇත. එහි දී ඔහු 28.44ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ඇත්තේ එක් ශතකයක් ද ලබා ගෙනයි.

නමුත් ඒ එදා කරුණාරත්නය. එම දත්තවලින් පමණක් ඔහුව මැනීමට නොහැක. අවසන් වසර දෙක තුල ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 17කට සහභාගී වී ලකුණු 1422ක් ලබාගෙන ඇත්තේ ශතක 4ක් හා අර්ධ ශතක 7ක් ලබා ගනිමිනි. එම නිසා හෙට (6) පැවැත්වෙන ක්‍රිකට් තරගයේ දී කරුණාරත්න පිතිකරුවෙක් ලෙස එංගලන්ත පන්දු යවන්නන් හමුවේ යම් දෙයක් කරනු ඇතැයි අපට වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමට පුළුවන්.

එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් මෑත කාලය තුල ඉතාමත් හොඳින් දස්කම් අතර සිටින පිතිකරුවෙක් ලෙස සැලකීමට හැකි අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරග 5ක දී ඉනිම 8කට ක්‍රීඩා කරමින් ලකුණු 346ක් ලබාගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතකයක් ද ලබා ගනිමිනි.  ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ද 49.45ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක පවතී.

ඇන්ජලෝ මැතිව්ස් හා මොයින් අලී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවෙක්. ඔහු එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 6ක දී ලකුණු  511ක් ලබාගෙන ඇත්තේ ඉනිම් 11ක් සඳහා ක්‍රීඩා කරමිනි. ඔහුගේ ලකුණු සාමාන්‍යය ලකුණු 48.50ක්.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බැලූ විට වමතින් පිත්ත හසුරුවන මැදපෙළ ශක්තිමත් කළ හැකි පිතිකරුවෙක් වන මොයින් අලී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 5ක ඉනිම් 8ක් සඳහා දායක වෙමින් ලකුණු 351ක් ලබාගෙන ඇත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ආසන්න වශයෙන් ලකුණු 58.55ක් පමණ වේ. ඒ අතරට ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ඇතුළත්.

රංගන හේරත් හා ආදිල් රෂිඩ්

වමතින් දඟපන්දු යවා වැඩිම ටෙස්ට් කඩුලු ගණනක් දවා ගත් ක්‍රීඩකයා ලෙස රංගන හේරත්ව අපට හැඳින්වීම පුළුවන්. තරග 92කට සහභාගී වී කඩුලු 430ක් දවා ගෙන ඇති හේරත් සිය ක්‍රිකට් දිවියේ අවසන් ජාත්‍යන්තර තරගයේ ඔහුට කළ හැකි උපරිමය කරනු ඇත. එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 10ක් ක්‍රීඩා කර ඇති හේරත් එහි දී කඩුලු 40ක් දවාගෙන ඇත්තේ ඔවුන්ට එරෙහිව කඩුලු 5ක් දවා ගත් අවස්ථාවන් තුනක් ද ඔහුගේ නමට ඉදිරියෙන් ලියා ගනිමිනි.

ශ්‍රී ලංකාව සමඟින් එකඳු ටෙස්ට් තරගයක් සඳහා හෝ මෙතෙක් ක්‍රීඩා කර නොමැති පා දඟපන්දු යවන ආදිල්රෂිඩ් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 15කට සහභාගී වෙමින් කඩුලු 48ක් දවාගෙන ඇත්තේ  එක් කඩුලු 5 අවස්ථාවක් ද සාර්ථක කරගෙනයි. රෂිඩ්ගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 40.31කි. රංගන හේරත්ට හා අදිල් රෂිඩ් යන දෙදෙනාටම පසුපෙළ පිතිකරණයෙන් ද සිය කණ්ඩායම් සවිමත් කළ හැක.

සුරංග ලක්මාල් හා ජේම්ස් ඇන්ඩර්සන්

සුරංග ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 49ක දී කඩුලු 117ක් දවාගෙන ඇත්තේ කඩුලු 5 එක් අවස්ථාවක් ද ලබාගෙනයි. එංගලන්තය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරග 7ක දී කඩුලු 11ක් දවාගෙන ඇත්තේ ලකුණු 770ක් ලබා දෙමිනි. එංගලන්තයට එරෙහිව ලක්මාල්ගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 59.23ක්.

ලොව ප්‍රබල වේගපන්දු බල ඇණියක් සිටින කණ්ඩායමක් ලෙස එංගලන්තය හඳුන්වන බව අප කොයි කවුරුත් හොඳින් දන්නා කාරණයක් වන අතර ඒ අතරින් දකුණතින් වේගපන්දු යවන ජේම්ස් ඇන්ඩර්සන් වැදගත් වන්නේ ඔහුට නව පන්දුව හෝ පැරණි පන්දුව කියා භේදයකින් තොරව කළ හැකි දේ බොහෝ නිසාවෙනි. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් තරග 11ක් ක්‍රීඩා කර ඇති ඇන්ඩර්සන් කඩුලු 51ක් දවාගෙන ඇත්තේ 22.17ක තරම් හොඳ මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

සංචිතයේ වෙනස්කම් කිහිපයක් සමඟින් මැතිව්ස්ට එක් දොරක් වැසේ

ලබන 10 වැනිදා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත..

ගාලු ක්‍රිකට් පිටියේ ස්වභාවය හා කාලගුණික තත්වය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාලු ක්‍රීඩාංගණය ලොව ඇති දර්ශනීය ක්‍රීඩාංගණවලින් එකක් ලෙස සැලකෙනවා. මේ මනරම් ක්‍රීඩාංගණයේ තණතීරුව බොහෝ දුරට දඟපන්දු යවන්නන්ට උචිත ලෙස හැසිරෙනු ඇත. ගාලු ක්‍රිකට් සමාජයේ සත්කාරක ක්‍රීඩා පිටිය වන මෙම ක්‍රීඩා පිටිය විවෘත කරනු ලබන්නේ 1876 වසරේ දී ය. 1927 වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පමණක් මෙම ක්‍රීඩා පිටිය වෙන්වනවා.

ගාලු පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරග 31කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 18ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 7ක් පරාජය වී ඇත. එසේම ගාලු ක්‍රීඩා පිටියේ පැවති තවත් තරග 6ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.

එංගලන්තය හා ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් පිටියේ දී පළමු වතාවට ටෙස්ට් තරගයක දී එකිනෙකා මුණගැසී ඇත්තේ 2001 වර්ෂයේ වන අතර ඒ තරගය ඉනිමකින් හා ලකුණු 28කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබුණි. 2003 හා 2007 වර්ෂයේ පැවති ටෙස්ට් තරග ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී අවසන් වරට (2012) පවත්වා ඇති ටෙස්ට් තරගය ද ශ්‍රී ලංකාව ලකුණු 75කින් ජයග්‍රහණය කර ඇත.

යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහර දීමට සුදුසු බවයි දත්ත පිරික්සා බැලූ කල පෙනී යන්නේ. සෙල්සියස් අංශක 26 – 31 අතර පරාසයේ උෂ්ණත්වයක් පවතින මේ ක්‍රිකට් තරගයට සවස් කාලයේ දී විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට ඉඩකඩක් තිබෙනවා.

අවසන් නිගමනය

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම තෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4722ක් සමඟ ප්‍රසාද ලකුණු 105ක් දිනා ගෙනයි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 3668ක් සමඟ ප්‍රසාද ලකුණු 97ක් දිනා ගෙනයි. ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද. එංගලන්තය පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගය හා තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම

ශ්‍රී ලංකාව – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞශාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, අකිල දනංජය, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්.

එංගලන්තය – ජෝ රූට් (නායක), කීට්න් ජෙනින්ස්, රෝරි බර්න්ස්, මොයින් අලී, බෙන් ස්ටොක්ස්, ජෝස් බට්ලර්, බෙන් ෆෝකස් (කඩුලු රකින්නා), සෑම් කරන්, අදිල් රෂිඩ්, ජැක් ලීච්, ජේම්ස් ඇන්ඩර්සන්

ටෙස්ට් තරග කාලසටහන

  • 2018 නොවැම්බර් 6-10 – පළමු ටෙස්ට් තරගය – ගාල්ල
  • 2018 නොවැම්බර් 14-18 – දෙවන ටෙස්ට් තරගය – පල්ලෙකැලේ  
  • 2018 නොවැම්බර් 23-27 – තෙවැනි ටෙස්ට් තරගය –  එස්. එස්. සී.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <