සංජුගෙන් ශතකයක්; පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි!

782
photo credits - AP Photo

තරග 3කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා තීරණාත්මක ටෙස්ට් තරගාවලිය ඇරඹීමට පෙර පැවති එකම පුහුණු තරගය අද (12) නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවයි.

සදීර සහ දික්වැල්ලගෙන් ඉන්දියානු පන්දු යවන්නන්ට ප්‍රහාරයක්!

ළඟ ළඟම එන ඉන්දියානු ටෙස්ට් තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් තුල සුබ පෙරනිමිති…

දෙපිළ අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිත කල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ දී ම පැවති මෙම තරගයේ පන්දු යවන්නන්ට වඩා කැපී පෙනුණේ පිතිකරුවන් දැක්වූ දක්ෂතායි. එහි අද දිනයේ සුවිශේෂී ක්‍රීඩකයා බවට පත්වීමට තවමත් 23 වැනි වියේ පසු වුවත් වයසට වඩා වැඩි දස්කම් විදහා දක්වන සංජු සැම්සන් සමත් විය.

ඊයේ පළමු දිනය වෙනුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 411ක් රැස් කරගෙන සිටියහ. ඒ දිමුත් කරුණාරත්න සහ ඇන්ජෙලෝ මැතිව්ස් රැස්කළ අර්ධ ශතක දෙකත් සදීර සමරවික්‍රම සහ නිරෝෂන් දික්වැල්ල පිළිවෙළින් රැස්කළ ප්‍රවේගකාරී ලකුණු 74 සහ 73* නිසාවෙනි. මෙම දැවැන්ත ලකුණු පුවරුව පිළිබඳ අතිශයින්ම සෑහීමකට පත්වුනු ශ්‍රී ලංකා පිළ අද උදෑසන පිත්තට අත නොතියාම කල්කටා පිටිය මැදට ගියේ සභාපතිගේ පිළට හඹා යාමේ අවස්ථාව සලසා දෙමිනි.

ඉන්දීය ඉනිමේ හරියටම පන්දුවාර 10ක් ගත වෙද්දී ශ්‍රී ලංකා පිළ කඩුලු ද්විත්වයක් දවා ගනිමින් ආරම්භය සාර්ථක කර ගත් නමුත් ඉන් අනතුරුව ගොඩ නැගුණු ලකුණු සබඳතා කිහිපය නිසා පන්දු යවන්නන්ගේ වැඩි දක්ෂතා ප්‍රකට නොවීය. අද දිනයේ දැකිය හැකිවුනු සුවිශේෂීම සිදුවීම වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන් කඩුලු දවා ගන්නා අයුරුයි. ඒ අනුව ඉන්දීය පිළේ මුල්ම කඩුලු දෙක දවා ගත්තේ ඉතාමත් කලාතුරකින් පන්දු යැවීමේ යෙදෙන ලහිරු තිරිමාන්නයි!

ගුරුකුල විද්‍යාලයට විශිෂ්ට ජයක්

වෙස්ලි විද්‍යාලයට එදිරිව ගුරුකුල විද්‍යාලය කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අද (11) දිනය අවසන්…

ඉන් අනතුරුව අර්ධ ශතක සබඳතා ත්‍රිත්වයක් එක පෙළට දළුලා වැඩුණු අතර එම සබඳතා තුනේම එක් අන්තයක් රැකගෙන රැඳී සිටියේ කඩුලු රකින පිතිකරු සංජු සැම්සන් විසිනි. ඉන්දියන් ප්‍රිමියර් ලීගය හරහා ලොවක් හඳුනාගත් මෙම යොවුන් දකුණත් පිතිකරුවා අද ලකුණු 128ක් රැස්කර ගැනීමට ද සමත් විය. පන්දු 143ක් පමණක් වැයවුනු මෙම විශිෂ්ට ඉනිමට හතරේ පහර 19ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ඉන්දීය පිළ වෙනුවෙන් දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ රොහාන් ප්‍රේම් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් රැස්කර ගත්තේය.

අද සන්ධ්‍යා කාලයේ දී සභාපතිගේ ඉනිමේ කඩුලු 5ක් ලකුණු 255කදී බිඳ වැටී තිබියදී නොබිඳුණු සබඳතාවයක් ගොඩ නැගූ භවනක සන්දීප් සහ ජලාජ් සක්සීනා පිළිවෙලින් ලකුණු 33* සහ 20* බැගින් රැස් කරමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කළහ. තිරිමාන්න බිඳ දැමූ කඩුලු ද්විත්වයට අමතරව තවත් පිතිකරුවන් දෙදෙනෙකු අද එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූහ. ඒ සදීර සමරවික්‍රම සහ ධනංජය සිල්වායි. ඉතිරි කඩුල්ලට දිල්රුවන් පෙරේරා හිමිකම් කියද්දී අද පන්දු යැවූ ලක්ෂාන් සඳකැන්, රංගන හේරත්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ වැනි කිසිවෙකුටත් කඩුලු දවා ගැනීමට හැකි නොවීය.

වැඩිම ශතක ගණනකින් ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස හොල්ලපු අපේ අය

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග රටාවන් තුනේදීම වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කරමින්…

මීට අමතරව පුහුණු තරගයේ නිදහස උපරිමයෙන් භුක්ති විඳි ශ්‍රී ලංකා පිළේ ක්‍රීඩකයින් 14 දෙනෙකුම අද පන්දු යවනු දැකගන්නට ලැබුණි. ඒ අනුව අද දිනයේ පන්දු නොයැවූ එකම ක්‍රීඩකයා බවට පත්වූයේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පමණි. ඒ අනුව තර්ජනකින් තොර පන්දුවාර රැසකටම මුහුණ දුන් ඉන්දීය සභාපතිගේ කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 287ක් රැස් කර ගැනීමට සමත් වූහ. දෙරට අතර තීරණාත්මක පළමු ටෙස්ට් තරගය ලබන 16 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දීම ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 411 (පන්දුවාර 88): සදීර සමරවික්‍රම 74, නිරෝෂන් දික්වැල්ල 73*, ඇන්ජෙලෝ මැතිව්ස් 54, දිමුත් කරුණාරත්න 50, දිල්රුවන් පෙරේරා 48, රොෂේන් සිල්වා 36*, දිනේෂ් චන්දිමාල් 29, සන්දීප් වොරියර් 2/60, ආකාෂ් භණ්ඩාරි 2/111.

ඉන්දීය සභාපතිගේ පිළ – කඩුලු 5ක් දැවී ලකුණු 287 (පන්දුවාර 75): සංජු සැම්සන් 128, රොහාන් ප්‍රේම් 39, ජිවන්ජොට් සිං 35, භවනක සන්දීප් 33*, ජලාජ් සක්සීනා 20*, ලහිරු තිරිමාන්න 2/22, සදීර සමරවික්‍රම 1/13, දිල්රුවන් පෙරේරා 1/22, ධනංජය ද සිල්වා 1/35.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<