මසකටත් අධික කාලයක් පුරාවට ඇදී ගිය බංගලාදේශ සංචාරය අද (06) ජයග්‍රාහකයෙකු නොමැතිවම නිමාව දුටුවේ දෙරට අතර ක්‍රියාත්මක වුනු දෙවැනි විස්සයි විස්ස තරඟය බංගලාදේශ කණ්ඩායම ලකුණු 45කින් ජය ගැනීමත් සමගයි. කෙසේ වෙතත් මීට පෙරාතුව බංගලාදේශයට එරෙහිව තම දක්ෂතා පෙන්නුම් කර තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරය පුරාවට දැක්වූ ක්‍රීඩාකරණය සතුටුදායක මට්ටමක පැවතියේ නැත.

ආර්. ප්‍රේමදාස පිටියේ දී උරගා බැලුණු කාසියේ වාසිය ජයග්‍රහණය කළේ අද තරගයෙන් අනතුරුව විස්සයි විස්ස ක්‍රීඩාවට සමුදෙන බංගලාදේශ නායක මශ්රාෆි මොර්ටාසායි. ඒ අනුව පිතිකරණ පාරාදීසයක් ලෙසින් පෙනුණු තණතිල්ලේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළේය. මීට පෙර තරඟය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය මෙම තරඟයටත් එක්කර තිබුණු අතර බංගලාදේශ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව තිබුණි. ඒ කලින් තරගයේ විශේෂ දක්ෂතාවයක් දැක්වීමට අසමත් වුනු තමීම් ඉක්බාල් වෙනුවෙන් ඉම්රුල් කයිස් ද, ටස්කින් අහමඩ් වෙනුවෙන් මෙහෙදි හසන් ද කණ්ඩායමට ඇතුළත් වීමයි.

එදා මෙදාතුර බිහිවුනු විස්සයි විස්ස තරග රටාවේ විශිෂ්ටතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගට නිසි ගෞරවය ලබා දෙමින් බංගලාදේශ පිතිකරුවන් ඉනිම ආරම්භ කළ නමුත් දෙවැනි පන්දු වාරයේ සිටම තම පිතිකරණය මැනවින් දියත් කරන්නට ඔවුන් පසුබට වූයේ නැත. ඒ පවර්ප්ලේ පන්දුවාර කිහිපයේ දී කුලසේකර සහ විකුම් සංජයගේ පන්දු වලට පිටිය සිසාරා පහර එල්ල කරමිනි. බංගලාදේශ පිතිකරුවන් සුපිරි රිද්මයක පවත්වා ගත් එම අවස්ථාවේ දේශීය තරග වල දී පවා එතරම් දක්ෂතා දක්වා නොමැති ඩිල්ශාන් මුණවීරට පන්දුව ලබා දීමට උපුල් තරංග ගත් තීරණය බංගලාදේශයේ ප්‍රවේගකාරී පිතිකරණය තවදුරටත් ඉහළ නංවන්නට සමත්විය.

අවසානයේ බංගලාදේශ ආරම්භක පිතිකරණ යුගලයේ ලකුණු 71ක මනා සබඳතාවය බිඳ හෙලන්නට සමත් වූයේ මද වේග පන්දු යවන ක්‍රීඩක අසේල ගුණරත්නයි. ඒ පන්දු 17කදී ලකුණු 34ක් ලබාගෙන සිටි සෞම්‍ය සර්කාර්ව නැවත ක්‍රීඩාගාරයට හරවා යවමිනි. ඊලඟ පන්දු වාරයේ දී ලකුණු 36ක් ලබා සිටි ඉම්රුල් කයිස්ව දුවද්දී දැවී යාමකට හසුකර ගත් නමුත් බංගලාදේශ මැදපෙළ පිතිකරුවන් ගේ ප්‍රහාරාත්මක පිතිකරණය අඩපණ නොවීය. ඒ අනුව සබ්බීර් රහ්මාන් සහ ශකීබ් අල් හසන් බංගලාදේශ ලකුණු පුවරුව පන්දුවාර 13කදී ලකුණු 124ක් දක්වා ඉහළ නංවන්නට සමත් විය.

මේ වන විට ලකුණු 200ක් වැනි ඉහළ ඉලක්කයක් කරා ලඟා වෙමින් සිටි බංගලාදේශ පිතිකරුවන්ව ලකුණු 176කට සීමා කරන්නට මාලිංග, කුලසේකර සහ තිසර පෙරේරා සතුව ඇති අත්දැකීම් සම්භාරය දායක විය. අවසන් පන්දුවාර 7දී බංග්ලාදේශ පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් ගෙන දෙමින් යෝකර් පන්දු සහ වේගය අඩාල කල පන්දු රාශියක් යැවූ ඔවුන් තිදෙනාගේ පන්දු යැවීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු නැවත ඉහල නැංවීමට සමත්විය.

19 වැනි පන්දු වාරය ක්‍රියාත්මක කළ ලසිත් මාලිංග විස්සයි විස්ස තරගයක දී පන්දු යවන්නෙකුට ලඟා විය හැකි උපරිමයට ලඟා වෙමින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම මොහොතේ දී වැදගත් කඩුලු ත්‍රිත්වයක් බිඳ දැමීය. ඔහුගේ සුපිරි දක්ෂතාව හමුවේ අසරණ වුනු බංගලාදේශ පිතිකරුවන් අතර ප්‍රවේගකාරී පිතිකරු මුෂ්ෆිකර් රහීම්ගේ කඩුල්ල මෙන්ම අද අවසන් විස්සයි විස්ස ඉනිම ක්‍රීඩා කරන මශ්රාෆි මොර්ටාසාගේ කඩුල්ල ද අන්තර්ගත විය. ශ්‍රී ලංකා පිළේ පන්දු රැකීම ද අද දුර්වල මට්ටමක පැවති අතර බංගලාදේශයේ ජය මඟ අහුරාලීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔවුන් මගහැර ගත්හ.

බංගලාදේශය ලබාදුන් ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් හොඳ පදනමක් අවශ්‍ය වුවද කණ්ඩායම වෙනුවෙන් තම වගකීම ඉටුකර දීමට කුසල් පෙරේරා සහ ඩිල්ශාන් මුණවීර මෙවර සමත් වූයේ නැත. ඉනිමේ ප්‍රථම පන්දු වාරයේදීම කඩුල්ල විවර කරමින් අපරික්ෂාරී පහරක් එල්ල කල කුසල් පෙරේරා ඊට ආරම්භය ලබා දුන්නේය. ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ශකීබ් අල් හසන්ව තුට්ටුවකට මායිම් නොකර ඉහළින් පහරක් එල්ල කිරීමට උත්සාහ කල ඩිල්ශාන් මුණවීරට ද සිදුවූයේ කුසල් පෙරේරාගේ අඩිපාරේම පිය මැනීමටයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් කරළියේ ශ්‍රී ලංකා භූමිකාව

2016/17 ජාත්‍යන්තර ක්‍රිකට් තරග වාරය අවසන් අදියරට පැමිණීමත් සමඟ බොහෝ ක්‍රිකට්ලෝලීන්ගේ අවධානය මේ වන විට යොමුවීමට පටන් ගෙන ඇත්තේ ඉන්දියාව දෙසටයි…

ආරම්භයේ දී ගොඩ නැගුණු පීඩනය දෙගුණ තෙගුණ කල අසේල ගුණරත්න සහ මිලින්ද සිරිවර්ධන තමන්ට ලැබුණු ප්‍රථම පන්දු දෙකේදීම මුස්ටාෆිසූර් රහ්මාන්ට කඩුල්ල දෙමින් දැවී ගියේ තමන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හරිමිනි. මෙම කිසිදු පිතිකරුවෙකු සංයමයකින් තොරව පන්දුවට පහර දෙමින් හොඳ ලකුණු සබඳතාවයක් ගොඩ නැගීමට අසමත් වීමේ ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකා පිළේ කඩුලු 5ක්ම ලකුණු 40ක් තුල බිඳ වැටුණි. අංක 3 පිතිකරු ලෙස උපුල් තරංග ලකුණු 23ක් රැස් කළ ද කණ්ඩායම් නායකයාගෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනු ඉනිම එය නොවීය.

දණින් වැටුණු ශ්‍රී ලංකා ඉනිම නැවත නගා සිටුවන්නට උත්සාහයක් හෝ දැරුවේ මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර සහ තිසර පෙරේරා පමණි. සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවයක් ගොඩ නගමින් ප්‍රේක්ෂකාගාරය තවදුරටත් සජීවීව පවත්වා ගන්නට ඔවුන් දෙදෙනා සමත් විය. නමුත් නැවතත් ක්‍රියාත්මක වුනු ශකීබ් අල් හසන් ලකුණු 27ක් ලබාගෙන සිටි තිසර පෙරේරාව ස්ටම්ප් කිරීමකට හසුකර ගනිමින් බංගලාදේශයට නැවතත් ජය මාවත විවර කර දුන්නේය. එතැන් පටන් අනෙක් අන්තයේ සිට හුදෙකලා ඉනිමක නිරත වුනු චාමර කපුගෙදර පන්දු 35කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 50ක් රැස් කලත නමුත් එය බංගලාදේශ පිතිකරුවන් නිර්මාණය කල දැවැන්ත ලකුණු පුවරුව පසුකර යන්නට ප්‍රමාණවත් වූයේ නැත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ ලකුණු 131කට පමණක් සීමා විය.

ලකුණු 45කින් මෙම තරගය ජය ගත් බංගලාදේශ පන්දු යවන්නන් විස්සයි විස්ස තරගාවලිය ද ජය පරාජයෙන් තොරව නිමා කිරීමට සමත් වූහ. මෙම තරගයේ දී බංගලාදේශ පන්දු රකින්නන් තම උපරිමය දක්ෂතා පෙන්වූ අතර ඔවුන්ගේ පිතිකරණය සහ පන්දු යැවීම ද ශ්‍රී ලංකාවට වඩා ඉහළින් පැවතුණු බව දැක ගන්නට ලැබුණි. අද නිමාවුනු තරඟයේ වීරයා සම්මානය ශකීබ් අල් හසන්ට ද තරඟාවලියේ වීරයා සම්මානය ලසිත් මාලිංගට ද හිමිවිය.

ඒ අනුව බංගලාදේශය සමගින් පැවැත්වුනු ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලි තුනම ජය පරාජයෙන් තොරව නිමාවුනු අතර අපහසු සංචාරයක් විශිෂ්ට අන්දමින් නිමාකල බංගලාදේශය තවදුරටත් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ළදරුවන් නොවන බව පෙන්වා දුන්හ. මෙම තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාව තමන්ට හුරුපුරුදු තණතිලි වලදී දැක්වූ දක්ෂතා කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි මට්ටමක නොවීය. කෙසේ වෙතත් ඔවුන්ට තම දුර්වලතා නිවැරදි කර ගැනීමට මාසයකටත් වඩා වැඩි කාලයක් ඉතිරිව ඇත. ඒ ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගාවලිය මැයි මස අගදී ආරම්භ වීමට නියමිතව ඇති බැවිනි.

බංගලාදේශය – කඩුලු 9ක් දැවී ලකුණු 176 (පන්දුවාර 20): ශකීබ් අල් හසන් 38, ඉම්රුල් කයිස් 36, සෞම්‍ය සර්කාර් 34, සබ්බීර් රහ්මාන් 19, මුසැද්දික් හුසේන් 17, ලසිත් මාලිංග 3/34, අසේල ගුණරත්න 1/15, තිසර පෙරේරා 1/24, නුවන් කුලසේකර 1/30.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දුවාර 18): චාමර කපුගෙදර 50, තිසර පෙරේරා 27, උපුල් තරංග 23, සීක්කුගේ ප්‍රසන්න 11, මුස්ටාෆිසූර් රහ්මාන් 4/21, ශකීබ් අල් හසන් 3/24, මහමදුල්ලා රියාද් 1/15.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට