බංගලියන්ගේ වාර්තාගත ඉනිම ශ්‍රී ලංකාව ක්ෂණයකින් උදුරා ගනී

2145

බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් විසින් වැඩිම ලකුණු ලබා ගනිමින් සැමරූ උද්දාමය තරගය නිමා වීමට තවත් පන්දු 20ක් ඉතිරිව තිබිය දී ම විනාශ කර දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (15) සමත් වූහ.

[rev_slider LOLC]

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 194ක් ලබා ගත්හ. ඩකා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත්තේ තරගාවලිය 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණෙමිනි.

ටෙස්ට් ජයග්‍රහණයට පසුව ඇර​ඹෙන T20 ජයත් ශ්‍රී ලංකාවට ද?

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අනිද්දා…

අද තරගය සඳහා සත්කාරක කණ්ඩායම වෙනුවෙන්ම මංගල විස්සයි විස්ස තරගයට සහභාගී වීමට වරම් ලැබූවන් සිව්දෙනෙක් එක් කර තිබුණි. ඒ සකීර් හසන්, අෆීෆ් හුසේන්, අරිෆුල් හක් සහ නස්මුල් ඉස්ලාම් ය. ශ්‍රී ලංකාව  වෙනුවෙන් දසුන් ශානක එක්කර තිබුණි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත තරගාවලියේ පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තේය. මෙම ඉනිම බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් විසින් රැස් කරන ලද විස්සයි විස්ස වැඩිම ලකුණු ප්‍රමාණය විය. මීට ප්‍රථම මෙම වාර්තාව ලියවී තිබුණේ 2012 වසරේ දී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලබා සිටි ලකුණු 190යි.  

මෙම ලකුණු ප්‍රමාණය හඹා යෑමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වැය කළේ පන්දුවාර 16කුත් පන්දු 4ක් පමණි. දැවී ගියේ කඩුලු 4ක් පමණි. මෙම ඉලක්කය පසුපස හඹා යෑම ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා යමින් ලද ජයග්‍රහණය ද වේ.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමු පන්දුවේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තඹේකට මායිම් නොකරමින් කටයුතු කරන අයුරක් දැක්වූහ. ඉනිමේ වඩාත්ම භයංකාර කඩුල්ල වූයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මුෂ්ෆිකුර් රහීම් සහ නායක මහමුදුල්ලා එක් කළ ලකුණු 73යි. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 47ක් පමණි.

මුෂ්ෆිකර් තම විස්සයි විස්ස ක්‍රිකට් තරගවල තම පෞද්ගලික දෙවැනි අර්ධ ශතකය අද වාර්තා කළ අතර තරගයේ පන්දුවාර අවසන් වන විට ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේය.

නායක මහමුදුල්ලා පන්දු 31කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර දෙක බැගින් එල්ල කරමින් ලකුණු 43ක් ලබා ගත්තේය.  

අද තරගයේ දී තම මංගල විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර් සමත් විය. ඔහුගේ ඉනිම පන්දු 32කින් සමන්විත වූ අතර හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ඔහුගේ නම ඉදිරියේ ලියැවුණි.

ඉලක්ක ගත ශ්‍රී ලංකා  ඉනිමේ ආරම්භය ද බංග්ලාදේශය ඉනිමට නොදෙවෙනි වෙමින් පවත්වා ගෙන යෑමට ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ ධනුශ්ක ගුණතිලක සමත් වූහ. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල එක් වූ ලකුණු සංඛ්‍යාව 53කි. මෙම ලකුණු සංඛ්‍යාව පස්වැනි පන්දු වාරයේ දී වාර්තා කිරීමට ඔවුන් සමත් වූහ. එහෙත් නස්මුල් ඉස්ලාම්ගේ පන්දුවක දී සීමා ඉරෙන් ඉදිරියෙන් සිට පහරකට යෑමේ දී වූ අතපසු වීමක් හේතුවෙන් කඩුලු රකින ක්‍රීඩක මුශ්ෆිකර් රහීම් විසින් කඩුල්ල බිඳ දමමින් ධනුශ්කගේ ඉනිම නිමා කළේය. ඒ වෙද්දී ඔහු පන්දු 15කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියේය.

අසේල ගුණරත්නට විස්සයි විස්ස අහිමි වේ

බංග්ලාදේශය සමඟින් අද (15) ඩකා නුවර දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුතු විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ පහළොස් …

තම නවවැනි විස්සයි විස්ස තරගයට සහභාගී වූ කුසල් මෙන්ඩිස් අද තම පළමු විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීමෙන් නොනැවතී තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. කුසල්ගේ ලකුණු 53ක් වූ ඉනිම පන්දු 27කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.

උපුල් තරංග (04) සහ නිරෝෂාන් දික්වැල්ල (11) දීර්ඝ ඉනිම් ගොඩ නැගීමෙන් අසාර්ථක වෙද්දී එහි වගකීම බාර ගනු ලැබුවේ දසුන් ශානක සහ තිසර පෙරේරා ය. ඔවුන් දෙදෙනා එක්ව තරගය අවසන් කළේ 5 වැනි කඩුල්ලට ලකුණු 65ක නොදැවුණ සබඳතාවක් එක් කරමිනි. ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දු 30ක් පමණි.

තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා වෙද්දී දසුන් ශානක පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ද, තිසර පෙරේරා පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද ලබා සිටියහ.

පන්දු යැවීමේ දී නස්මුල් ඉක්බාල් කඩුලු 2ක් ලබා සිටියේය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසාන විස්සයි විස්ස තරගය මේ මස 18 දා පැවැත්වීමට නියමිත ය.

බංග්ලාදේශය; කඩුලු 5ක් දැවී 193 (20.0) සෞම්‍ය සර්කර් 51, මුස්ෆිකර් රහීම් නොදැවී 66, මහමුදුල්ලා 43, ජීවන් මෙන්ඩිස් 2/21

ශ්‍රී ලංකාව; කඩුලු 4ක් දැවී 194 (16.4) කුසල් මෙන්ඩිස් 53, ධනුශ්ක ගුණතිලක 30, දසුන් ශානක නොදැවී 42,  තිසර පෙරේරා නොදැවී 39, නස්මුල් ඉක්බාල් 2/25

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<