2016 ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 4කින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රථම එක්දින තරගය අද (18) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කඩුලු 4ක් සහ පන්දු 206ක් අතැතිව තරගය ජය ගෙන 1-0 ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: පිටියේ කතා – එක්දින තරගාවලියේදි ශ්‍රී ලංකා පිතිකරණයට මොකද වුනේ?

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමේ අවස්තාව ලබාගත්තේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි. පිටියට පිවිසි චමරි අතපත්තු සහ ප්‍රසාදිනී වීරක්කොඩි යන ආරම්භක ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන්, ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු රැස් කිරීමටත් ප්‍රථම දැවී ගිය අතර 3 වන ක්‍රීඩිකාව ලෙස පිටියට පැමිණි චමරි පොල්ගම්පොල, එම පන්දුවාරයේම තුන්වන පන්දුවේදී ලකුණු රැස් කිරීමටත් කලින් දවා ගැනීමට මෙගන් ෂට් සමත් විය.

ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 3ක් ලෙස සටහන් වෙද්දි තෙවන කඩුල්ල ලෙස චමරි අතපත්තු ද ලකුණු නොලබාම දවා ගැනීමට හොලී ෆ්ර්ලින්ග් සමත් විය. ස්ථාවරත්වයක් නොමැති වූ ශ්‍රී ලංකා පිතිකරණය පන්දුවාර 11දි ලකුණු 20කට කඩුලු 5ක් වශයෙන්  සහන් විය.

ඒ වනවිට ඩිලානි සුරංගිකා සහ නිපුනි හංසිකා ලකුණු නොලබා පිටියෙන් ඉවත්ව ගොස් තිබුණි. 6 වන කඩුල්ල ලෙස ඉමල්කා මෙන්ඩිස් එක් ලකුණකට දැවී ගිය අතර ලකුණු 4ක් ලබා සිටි උදේශිකා ප්‍රබෝධනි 7 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

ශ්‍රී ලංකා පිළට බලාපොරොත්තුවක් ලබා දෙමින් එෂානි ලොකුසූරියගේ, පන්දු 36කදි ලකුණු 14ක් රැස් කලත්, 38/7 වශයෙන් ලකුණු පුවරුව සටහන්ව තිබියදී 8 වන කඩුල්ල ලෙස ක්‍රිස්ටීන් බිම්ස් විසින් ඇයගේ කඩුල්ල දවාගන්නා ලදී.  9 වන කඩුල්ල ලෙස සුගන්දිකා කුමාරි ලකුණු 9කට සහ ඉනොෂි ප්‍රනාන්දු ලකුණු නොලබා දවා ගැනීමට එරින් ඔස්බෝර්න් සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තනිව සටනක යෙදුනු ඉනෝකා රණවීර හතරේ පහර පහක් සමඟින් නොදැවී ලකුණු 43*ක් රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 76ක් දක්වා වර්ධනය කිරීමට සමත් විය. ඉනිම අවසානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රැස් කර ගත හැකිවූයේ සියළු දෙනා දැවී ලකුණු 76ක් පමණි. පන්දු යැවීමේදී හොලී ෆ්ර්ලින්ග් සහ ක්‍රිස්ටීන් බිම්ස් කඩුලු 3 බැඟින් ද, මෙගන් ෂට්  සහ එරින් ඔස්බෝර්න් කඩුලු දෙක බැගින් ද දවාගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම – 76/10 (24.5) ඉනෝකා රණවීර 43, එෂානි ලොකුසුරියගේ 14 , හොලී ෆ්ර්ලින්ග් 3/4  , ක්‍රිස්ටීන් බිම්ස් 3/16

ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරමින් පිටියට පැමිණි එල්සි විලැනි සහ නිකොල් බෝල්ටන් දෙදෙනාගෙන්, එල්සි විලැනි ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් හරවා යැවීමට එෂානි ලොකුසුරියගේ පන්දු යැවීමට හැකි විය. ඕස්ට්‍රේලියානුවන් ලකුණු 45ක් ලබා සිටියදී මෙග් ලනින් ලකුණු 27කට දෙවන කඩුල්ල ලෙස දවා ගැනීමට ඉනෝකා රණවීරට හැකිවිය.

එම කඩුල්ලත් සමගම එක පිට කඩුලු 5ක් ලකුණු 30ට දවා ගැනීමත් සමග ඕස්ට්‍රේලියානු ඉණිම සුළු පසුබැස්මකට ලක්වුවද පන්දුවාර 15.4 කදී ලකුණු 79ක් ලබා ගනිමින්, තරගයේ ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර ලකුණු 20ට කඩුලු 3ක් දවා ගත්තද ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සදහා එය ප්‍රමාණවත් නොවිය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 79/6 (15.4) මෙග් ලනින් 27, නිකොල් බෝල්ටන් 19, ඉනෝකා රණවීර 3/20

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට