ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අද පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟය ආර්. ප්‍රේමදාස පිටියේදී නිමාවූයේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් වාර්තා කිහිපයක්ම අලුත් කරමිනි.

පසුගිය ලිපි: ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 3ක ජයක්

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක හට හා තිලකරත්න ඩිල්ශාන් හට සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනගා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. ගුණතිලක ලකුණු 2කටත් හා ඩිල්ශාන් ලකුණු 10කටත් දවා ගන්නට ඔවුන් සමත් විය.

අනතුරුව දිනේෂ් චන්දිමාල් සහ යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තෙවන කඩුල්ල සඳහා වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 125ක දැවැන්ත සබඳතාවයකින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව සවිමත් කරන ලදි. අද දිනයේ චන්දිමාල් පිටියට පිවිසියේ නොකඩවා තරඟ 6කදී අර්ධ ශතක 6ක් ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩකයා වීමේ භාග්‍යය ඇතිව වුවද, අවාසනාවන්ත ලෙස අර්ධ ශතකයකට ලකුණු දෙකක් ඉතිරිව තිබියදි කඩුල්ල මුවා කිරීමකට හසුව දැවීයන ලදි. ඔහු විසින් වාර්තා කල ලකුණු 48ට 4 පහරවල් 2ක් සහ එක් හයේ පහරක් අැතුලත් විය.

චන්දිමාල්ගේ දැවීයාමෙන් අනතුරුව තවත් ලකුණු 9ක් ලකුණු පුවරුවට එකතු වෙද්දී ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ මෙන්ඩිස්, පිත්තෙන් මනරම් 4 පහරවල් 9ක් සමඟ ලකුණු 69ක් ලබා ගනිද්දි ඔහුගේ ඉණිමට නැවතීමේ තිත තැබීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. ධනංජය ද සිල්වා හටත් සාර්ථක වීමට ඕස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා ඉඩ ලබා දුන්නේ නැත. ධනංජය ලබා ගත්තේ ලකුණු 7ක් පමණි.

ආරම්භක පිතිකරණයේ වගකීමෙන් නිදහස් කර මැදපෙළ ක්‍රීඩකයෙකුගේ වගකීම ඉටුකිරීමට පිටියට පැමිණි කුසල් පෙරේරා සහ නායක ඇන්ජලෝ මැතිව්ස් 6 වන කඩුල්ල සඳහා වේගවත් ලකුණු 103ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. කුසල් පෙරේරා වගකීම් නිසියාකාරව ඉටු කරමින් සිය 8වැනි අර්ධ ශතකය ලබා ගත්තේ 4 පහරවල් 5ක් සහ එක් 6 පහරක් සමඟින් මුළු ලකුණු 54ක් රැස්කරමිනි.

නායක මැතිව්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මෙරටදී රැස් කල පළමු අර්ධ ශතකය මෙම තරගයේ දී රැස් කරගන්නා ලදි. තරගයේ අවසන් කඩුලු 5 ලකුණු 27ක් ඇතුළත දවාලීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය. මෙහිදී ජේම්ස් ෆෝල්කනර් විසින් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් වීම කැපී පෙනුණි. තවද මෙරටදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස් කල ඉහළම ලකුණු ප්‍රමාණය වන්නේද මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම – 288 -10 (48.5) කුසල් මෙන්ඩිස් 69, ඇන්ජලෝ මැතිව්ස් 57, කුසල් පෙරේරා 54, දිනේෂ් චන්දිමාල් 48, ඇඩම් සැම්පා 3/42, ජේම්ස් ෆෝල්කනර් 3/45

තරගයේ ඡායාරූප අැල්බමය සඳහා පිවිසෙන්න

ලකුණු 289ක දැවැන්ත හඹායාමක් සඳහා ප්‍රථමයෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙපලම, ලකුණු 16කදි දවා ගැනීමට තිසර පෙරේරා සමත් විය. අනතුරුව 3 වන කඩුල්ල සඳහා ලකුණු 25ක සබඳතාවයක් ගොඩනැංවීමට ජෝජ් බෙයිලි හා නායක ස්ටීවන් ස්මිත් සමත් වු අතර එම සබඳතාවයට තිත තබමින් අමිල අපෝන්සු 4 පහරවල් 5ක් එල්ල කල ස්මිත්ව, ලකුණු 30කට දවා ගන්නා ලදි. බෙයිලි හා එක්වූ මැතිව් වේඩ් ලකුණු 61ක සබඳතාවයක් ගොඩනංවමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම යම් මට්ටමකට රැගෙන ඒමට සමත් වුවත්, බෙයිලි 4 වන කඩුල්ල ලෙස ලකුණු 27කට දවාගැනීමට නවක ක්‍රීඩක අපෝන්සු සමත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ද ඉහළ නංවමිනි.

118කට කඩුලු 5ක් ව තිබූ කැන්ගරු ලකුණු පුවරුවට යලිත් ජීවය ලබා දෙමින් අද දිනයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ගොඩනැගුනු ඉහළම සබඳතාවය වන ලකුණු 64ක සබඳතාවය ගොඩනැංවීමට ට්‍රැවිස් හේඩ් හා වේඩ් සමත් විය. වේඩ් තම 9 වැනි අර්ධ ශතකය ලබාගත් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයටත්, වේඩ් ගේ හොඳම පෞද්ගලික ලකුණු ලබාගැනීමත් හිමිකම් කීමට ඔහු සමත්විය. වේඩ් 6 වන කඩුල්ල ලෙස දැවීගියේ 4 පහරවල් 3ක් පමණක් එල්ල කරමින් ලකුණු 76ක් ලබා සිටියදීය. කෙසේවෙතත් අවසානයේ අපෝන්සු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් කඩුලු 5 ලකුණු 24ක් තුළ දවාගැනීමට සමත් විය. මෙහිදී මැතිව්ස් විසින් ශ්‍රී ලංකාව තුළ දවාගන්නා ලද 50 වන කඩුල්ල දවාගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 206-10 (47.2) මැතිව් වේඩ් 76, ට්‍රැවිස් හෙඩ් 31, ස්ටීවන් ස්මිත් 30, ජෝජ් බෙයිලි 27, අමිල අපෝන්සු 4/18, තිසර පෙරේරා 3/33

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 82කින් තරඟය ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-1 ක් ලෙස සමකිරීමට සමත් විය. තවද මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමකට එදිරිව වැඩිම ලකුණු ප්‍රමාණයකින් ජයග්‍රහණය ලබා ගත් අවස්ථාවයි.

තරගයේ වීරයා ඇන්ජලෝ මැතිව්ස්

දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟය ලබන 28 වැනිදා රංගිරි දඹුලු ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට