දෙවැනි තරගයත් ශ්‍රී ලංකාව පරාදයි

391
Sri Lanka vs Australia Women's Cricket 2nd ODI

2016 ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවන එක් දින තරගය අද (20) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී පිත්තෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානු  කාන්තා කණ්ඩායම ලකුණු 78කින් තරගය ජය ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: ප්‍රථම ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු  කාන්තා කණ්ඩායමේ නිකොල් බෝල්ටන් සහ එල්සි විලැනි පළමු කඩුල්ල සඳහා ලකුණු 81 සබඳතාවක් ගොඩනගන ලදී. පළමු කඩුල්ල ලෙස ලකුණු 45ක් ලබා සිටි එල්සි විලැනි දවා ගන්නට පළමු තරගයේත් පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉනෝකා රණවීර සමත් විය.

සුපිරි පිතිහරඹයක නිරත වී සිටි බෝල්ටන් දෙවන කඩුල්ල ලෙස ලකුණු 62ක් ලබා සිටියදී දවා ගැනීමට සුගන්දිකා කුමාරිට හැකිවිය. ආරම්භක පිතිකරණය තවත් ශක්තිමත් කල මෙග් ලනින් තුන්වන කඩුල්ල ලෙස දැවියන විට ලකුණු 29ක් ලබා සිටියේය. ඉන් පසු එතරම් ශක්තිමත් නොවූ මැද පෙළ පිතිකරණයක් දක්නට ලැබුනු අතර ඇලෙක්ස් බ්ලැක්වෙල් නොදැවී රැස් කල ලකුණු 54න්  ඕස්ට්‍රේලියානු කාණ්ඩයමේ මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 8කට ලකුණු  254ක් දක්වා ගෙනයෑමට සමත් විය.

පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලු 3ක් ද, සුගන්දිකා කුමාරි කඩුලු 2ක් ද දවගන්නා ලදී.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 254/8  (50) නිකොල් බෝල්ටන් 62, ඇලෙක්ස් බ්ලැක්වෙල් 39, චමරි අතපත්තු 3/31, සුගන්දිකා කුමාරි 2/54

ලකුණු 255ක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරියන් යුගල ලකුණු නොලබා දැවී ගිය අතර 3 වෙනි කඩුල්ලට පිටියට පැමිණි චමරි පොල්ගම්පොල හතරේ පහරවල් 8ක් සමඟ නොදැවී ලකුණු 68ක් රැස් කිරීමට සමත් විය. පළමු තරගයේ මෙන්ම ශක්තිමත් නොවූ මැදපෙළ පිතිකරණය නිසාවෙන් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට සිහිනයක් විය.

එෂානි ලොකුසුරියගේ ලකුණු 20ත් සමඟ පන්දුවාර 50 අවසානයේ ඔවුනට ලබාගත හැකිවුයේ කඩුලු 9කට ලකුණු 176ක් පමණි. අවසානයේ ඕස්ට්‍රේලියානු  කන්තා පිල ලකුණු 78කින් තරගය ජය ගත් අතර 2-0 ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමටද ඔවුන්ට හැකිවිය.

පන්දු යැවීමේදී ක්‍රිස්ටීන් බිම්ස් කඩුලු 4ක් ද, හොලී ෆ්ර්ලින්ග් සහ එල්සි පෙරී කඩුලු දෙක බැඟින් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 176/9 (50) චමරි පොල්ගම්පොල 68 , එෂානි ලොකුසුරියගේ 20, එල්සි පෙරී 2/28 ,

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට