අවසන් පිම්ම පනින්නට පෙර

791
Sri Lanka vs Afghanistan

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ දී ම ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ අනපේක්ෂිත, දැවැන්ත පරාජයක් ලබා ගැනීම නිසා අද (17) ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් වේ. මන්දයත් මේ තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වන නිසාවෙනි.

සනත්ට මුරලිට තවමත් එක හිමි ආසියානු කුසලානයේ වාර්තා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ..

ආසියානු කුසලාන තරගාවලියේ ඉතිහාසය

1984 සිට ක්‍රියාත්මක වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙතෙක් 13 වතාවක් පවත්වා ඇත. ඒ අතරින් ඉන්දීය කණ්ඩායම 6 වතාවක් ශූරතාවය දිනා ගෙන සිටින අතර ශ්‍රී ලංකාව පස්වතාවක් ශූරතාවය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඊට අමතරව පාකිස්තානය දෙවතාවක් ආසියානු කුසලානය ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන දත්ත

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරග දෙකකට සහභාගී වී තිබෙන අතර එම තරග දෙකේම ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. දෙරට අතර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට හිමිවෙද්දී කෝඩුකාර ඇෆ්ගනිස්තානය කිසිදු තරගයක් ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය කර නැත.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන දත්ත

ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ එක්දින තරග 53කට මේ දක්වා සහභාගී වී ඉන් තරග 35ක් ජයග්‍රහණය කරමින් 66%කට ආසන්න තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතයක් රඳවා ගනිද්දී, ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරග 4කට සහභාගී වී ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි. ඔවුන්ගේ තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 25%කි.

වාර්තා පිට වාර්තා තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාවට බැට දෙති

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති..

අවධානය දිනා ගන්නා ක්‍රීඩකයින්

උපුල් තරංග හා අස්ගහර් ඇෆ්ගන්

බංග්ලාදේශය සමඟ පැවති පළමු තරගයේ දී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට තරංගට හැකි වුනත්, අනෙක් අන්තයෙන් නිසි සහයක් නොලැබීම නිසා ඔහුට ඒ ඉනිම දිගු ඉනිමක් දක්වා වර්ධනය කරගැනීමට නොහැකි විය. “SLC T20” ක්‍රිකට් තරගාවලියේ ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණෙමින් වේගයෙන් ලකුණු රැස්කළ උපුල් තරංග ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තරගයේ දී කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වනු ඇත.

ඇෆ්ගනිස්තානය සතුව සිටින ප්‍රබල දකුණත් පිතිකරුවෙක් වන අස්ගහර් ඇෆ්ගන් ඔවුන්ගේ කණ්ඩායමේ නායකයා වේ. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 89කට ක්‍රීඩා කර ඇති අස්ගහර් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අස්ගහර් ඇෆ්ගන්ව මින් පෙර ආමන්ත්‍රණය කළේ අස්ගහර් ස්ටැන්ස්කායි යන නමිනි. නමුත්  පසුකාලීනව ඔහුගේ නම අස්ගහර් ඇෆ්ගන් ලෙස වෙනස් විය.

තරංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 229කට ක්‍රීඩා කරමින් ලකුණු 6900ක් ලබාගෙන ඇත්තේ 35ක් වැනි හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි. අස්ගහර් ඇෆ්ගන් ලකුණු 1672ක් ලබාගෙන ලකුණු 22කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන ඇත.

අකිල දනංජය හා රෂිඩ් කාන්

අකිල දනංජය යනු තරුණ දක්ෂ දඟපන්දු යවන්නෙකි. මෑත කාලීනව නම් ශ්‍රී ලංකාවේ පසුපෙළ සවිමත් කිරීමට හැකියාවක් ඇති තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

අකිල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 24ක් ක්‍රීඩා කරමින් ලකුණු 217ක් ලබාගෙන ඇති අතර දඟපන්දු යවන ඔහු කඩුලු 35ක් දවාගෙන ඇත. පළමු තරගයේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් තරමක ප්‍රහාරයකට ලක්වුණු නිසාවෙන් මේ තරගයේ දී අකිල හට ශ්‍රී ලංකා දඟපන්දු බලඇණියේ වැඩි වගකීමක් හිමිවනු ඇත.‍

රෂිඩ් කාන් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන් සමඟින් උරෙනුර ගැටෙන තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දකුණතින් පා දඟපන්දු යවන රෂිඩ් කාන් සුපිරි දඟපන්දු යවන්නෙක් වන අතර ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 46ක් ක්‍රීඩා කරමින් ලකුණු 589ක් ලබාගන්නා විට පන්දු යැවීමෙන් කඩුලු 108ක් දවාගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලි නාගයන් කුලප්පු කරති

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර 50 තරගමාලාවේ පසුගිය තරගාවලියේ ශූරයන්…

ලසිත් මාලිංග හා අෆ්ටාබ් අලාම්

වසරක පමණ විරාමයකට පසුව නැවතත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසි මාලිංග පළමු තරගයේ පළමු පන්දුවාරය තුල ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකුව ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. බංග්ලාදේශය සමඟ පැවති තරගයේ දී පන්දුවාර කිහිපයක්ම පැයට කිලෝමීටර 140 සීමාව ඉක්මවා යැවීමට මාලිංගට හැකි විය.

අෆ්ටාබ් අලාම් ඇෆ්ගනිස්තානය කණ්ඩායමේ සිටින තවත් දක්ෂ යොවුන් වේගපන්දු යවන්නෙකි. ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 15කට සහභාගී වෙමින් කඩුලු 15ක් දවාගෙන ඇති අතර මාලිංග කඩුලු 305ක් දවාගෙන ඇත.

අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම: ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල , දසුන් ශානක, තිසර පෙරේරා, අකිල දනංජය, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග

අපේක්ෂිත ඇෆ්ගනිස්තාන කණ්ඩායම: අස්ගහර් ඇෆ්ගන් (නායක), මොහොමඩ් ශේශාඩ්, මොහොමඩ් නබි, අෆ්ටාබ් අලාම්, ගුලබ්ඩින් නබී, නජිබුල්ලා සද්‍රාන්, රහමත් ශා, ඉහසුනුල්ලා ජනාට්, මුජිබර් රහුමාන්, රෂිඩ් කාන්

අබුඩාබි තණතීරුව හා කාසියේ වාසියේ වැදගත්කම

කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට පළමුව පන්දුවට පහරදීම තෝරාගනු ඇත. එසේම මේ දිනවල අබුඩාබි අවට දේශගුණික තත්වය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉතාමත් හොඳ තත්වයක පවතින නමුත් සෙල්සියස් අංශක 37ත් – 42ත් අතර තරමක දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට හැකිය.

අවසන් නිගමනය

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරග ඉතිහාසය බැලූ විට ශ්‍රී ලංකාවට වැඩි වාසි හිමි වේ. ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් දෙස බැලූ විට ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම 10 වැනි තැන පසුවෙයි. නමුත් ඒ කිසිවක් මේ තරගය සඳහා අදාළ වන්නේ නැත. අදාළ වන්නේ තරගය පැවැත්වෙන දිනයේ දී අඩුපාඩුකම් අවම කරගෙන ක්‍රීඩා කිරීමයි.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තාන අතර පැවැත්වෙන තීරණාත්මක  ක්‍රිකට් තරගය අද (17) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5ට අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<