සිම්බාබ්වේ පිළ සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද දිනය (16) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බලවත් අසීරුතාවයකට පත්ව තිබේ. ඒ සිම්බාබ්වේ දෙවැනි ඉනිමේ මුල් කඩුලු කිහිපය ඉතා ඉක්මනින් බිඳ හෙලා පහසු ජයග්‍රහණයක් වෙත කුරුමානම් ඇල්ලූ ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු වොලර් – රාසා අතර ගොඩ නැගුණු ශතක සබඳතාවය නිසා සෑහෙන දුරකට බිඳ වැටී ඇති බැවිනි.

ටෙස්ට් ජයක් වෙනුවෙන් දෙපිළ අතර තියුණු සටනක්!

සිම්බාබ්වේ පිළ සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (15) නිමා වන විට දෙපිළ අතර ජයග්‍රහණය වෙනුවෙන් තියුණු සටනක් ඇති වන බවට…

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 293ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවන් සිම්බාබ්වේ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 63ක් පිටුපසින් පසුවිය. කෙසේ වෙතත් අසේල ගුණරත්න අද හතරේ පහර 3ක් සමඟින් ලබාගත් ලකුණු 45 නිසා එම වෙනස ලකුණු 10ක් දක්වා අවම කරන්නට ශ්‍රී ලංකා පිළට අවස්ථාව උදා විය. අද ශ්‍රී ලංකා පිළේ අවසන් කඩුල්ල ලෙස අසේලව දවාගත් සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් තම ටෙස්ට් දිවියේ පළමු ඉනිමක කඩුලු 5 දවා ගැනීම සටහන් කළේය. මීට අමතරව සීන් විලියම්ස් කඩුලු දෙකක් දවා ගත්තේය.

ඒ අනුව ලකුණු 10ක සුළු වාසියක් සමඟින් අද දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ පිතිකරුවන්ව දඟ කැවෙන පන්දුවෙන් අසරණ කර දැමීමට රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා සමත් වූහ. ඒ ඔවුන්ගේ මුල්පෙළ වටිනා තුරුම්පු 4ක්ම ලකුණු 23ක් තුල දවා ගනිමිනි. ඉන් අනතුරුව සිකන්ඩර් රාසා සහ සීන් විලියම්ස් අතරේ ලකුණු 36ක සබඳතාවයක් ගොඩ නැගුණ ද එය ශ්‍රී ලංකා ජය මාවත අහුරන්නට ප්‍රමාණවත් තරමේ බාධකයක් නොවීය. නමුත් ශ්‍රී ලංකා පිළෙන් තරගයේ පාලනය ගිලිහී යාම ආරම්භ වන්නේ රාසා සමඟ දකුණත් පිතිකරු පීටර් මුවර් එක්වීමත් සමඟයි.

රංගන හේරත් හමුවේ ආරක්ෂාකාරී පිතිහරඹයක් දියත් කළ ඔවුන් දෙදෙනා දිල්රුවන් පෙරේරාගේ දුර්වල පන්දු තෝරා බේරාගෙන හතරේ සීමාව කරා යවමින් ශ්‍රී ලංකා දඟපන්දු අභියෝගයට සාර්ථකව මුහුණ දුන්හ. ඉන් අනතුරුව නායක චන්දිමාල් වේගපන්දු යවන්නන්ගෙන් ද වාසනාව උරගා බැලූ නමුත් ඉන් පලක් නොවීය. අවසානයේ ලකුණු 40ක් රැස් කරගත් පීටර් මුවර් පිටියෙන් සමුගත්තේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් සිකන්ඩර් රාසා සමඟ එක්වී ලකුණු 89ක් එක් කිරීමෙන් අනතුරුවයි. එම කඩුල්ල ලහිරු කුමාරට හිමි විය.

ඒ අනුව ලකුණු 145ට කඩුලු 6ක් බිඳ වැටුණු සිම්බාබ්වේ ඉනිමේ අවසන් කඩුලු කිහිපයත් ඉක්මනින් බිඳ හෙලා ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට තවත් එක් අවස්ථාවක් හිමි විය. නමුත් එක්දින තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවට හිසරදයක් බවට පත්වූ සිකන්ඩර් රාසා අදත් නොදැවී ලකුණු 97ක් රැස්කර ගනිමින් සිම්බාබ්වේ ප්‍රේක්ෂක බලාපොරොත්තු තවදුරටත් සුරක්ෂිත කළේය. මේ වන විට තම මංගල ටෙස්ට් ශතකය ආසන්නයේ පසුවන ඔහු හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබේ.

අනෙක් අන්තයේ සිට වේගයෙන් පන්දුවට පහර දෙන මැල්කම් වොලර් මේ වන විට හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබාගෙන සිටියි. මොවුන් දෙදෙනා අතරේ මේ වන විට 7වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගී ඇත. මෙම නොසිතූ ප්‍රහාරයෙන් අපහසුතාවයට පත්ව සිටින ශ්‍රී ලංකා පිළ මේ වන විටත් පසුවන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 262ක් පිටුපසිනි. පන්දු යැවීමේ දී රංගන හේරත් කඩුලු 4ක් දවාගත් අතර අනෙකුත් කිසිදු පන්දු යවන්නෙකුගෙන් ආක්‍රමණශීලී පන්දු යැවීමක් දක්නට නොලැබීම කණ්ඩායමේ පසුබෑමට දැඩි ලෙස හේතුවිය.

දැන් ඉතිරිව ඇත්තේ හෙට උදෑසනින්ම කෙසේ හෝ ඉතිරි කඩුලු 4 දවාගෙන හැකි ඉක්මනින්ම නැවතත් පිතිකරණයේ යෙදීමට ඉඩකඩ සලසා ගැනීමයි. කෙසේ වෙතත් ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේ දී කුඩා ඉලක්කයක් හඹා යෑම පවා අතිශයින් අසීරු වන නිසා හෙට දිනයේ දී වගකීමකින් යුතුව පිත්ත හැසිරවීමට ශ්‍රී ලංකා පිතිකරුවන් කල් තබාම සූදානම් විය යුතුය. නැතහොත් සිදුවන්නේ සංචාරයේ සියලු ගෞරව අත්පත් කරගත් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම නැවත සිය මව් රට බලා ගුවන්ගත වන අයුරු දුක්මුසුව බලා සිටීමට පමණි.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 356 (පන්දුවාර 94.4): ක්‍රේග් අර්වයින් 160, සිකන්ඩර් රාසා 36, මැල්කම් වොලර් 36, ඩොනල්ඩ් තිරිපානෝ 27, සීන් විලියම්ස් 22, හැමිල්ටන් මැසකඩ්සා 19, පීටර් මුවර් 19, රංගන හේරත් 5/116, අසේල ගුණරත්න 2/28.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 346 (පන්දුවාර 102.3): උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, අසේල ගුණරත්න 45, ඇන්ජෙලෝ මැතිව්ස් 41, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 25, ග්‍රැහැම් ක්‍රීමර් 5/125, සීන් විලියම්ස් 2/62.

සිම්බාබ්වේ (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 252 (පන්දුවාර 68): සිකන්ඩර් රාසා 97*, මැල්කම් වොලර් 57*, පීටර් මුවර් 40, සීන් විලියම්ස් 22, රංගන හේරත් 4/85.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට