ටෙස්ට් ජයක් වෙනුවෙන් දෙපිළ අතර තියුණු සටනක්!

812
Upul Tharanga

සිම්බාබ්වේ පිළ සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (15) නිමා වන විට දෙපිළ අතර ජයග්‍රහණය වෙනුවෙන් තියුණු සටනක් ඇති වන බවට පෙරනිමිති පහළ වී තිබේ. ඒ සිම්බාබ්වේ පන්දු යවන්නන් ද කරට කර සටනක නිරත වෙමින් දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් සත්දෙනෙකුම දඩයම් කර ගැනීමට සමත් වූ බැවිනි.

ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් අර්වයින්ගෙන් විශිෂ්ට ශතකයක්!

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ පළමු දිනය (14) නිමාවට පත්වෙද්දී…

ඊයේ දිනය නිමා වෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 344ක් ලබා සිටි සිම්බාබ්වේ ඉනිමට අද එකතු වූයේ තවත් ලකුණු 12ක් පමණි. ඒ ලහිරු කුමාර සහ රංගන හේරත් වේලාසනින්ම අවසන් කඩුලු ද්විත්වය දවා ගැනීමත් සමඟයි. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු ක්‍රේග් අර්වයින්ගේ කඩුල්ල ලකුණු 160 දී බිඳ හෙළන්නට නවක වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සමත්කම් දැක්වීය. තම ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් අර්වයින් ක්‍රීඩා කළ මෙම සුපිරි ඉනිමට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

මීට අමතරව සිම්බාබ්වේ ඉනිමට තවත් අතිරේක වාසියක් එක්කළ වේග පන්දු යවන ක්‍රීඩක ඩොනල්ඩ් තිරිපානෝ ලකුණු 27ක් රැස් කරමින් ක්‍රේග් අර්වයින් සමඟ එක්වී ලකුණු 74ක වටිනා සබඳතාවයක් ද ගොඩ නැගීය. තම අත්දැකීම් සහ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගත් රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම සේවයක් ඉටු කළ පන්දු යවන්නා බවට පත්වූයේ ලකුණු 116කට කඩුලු 5ක් බිඳ හෙළමිනි. ඒ තම ටෙස්ට් දිවියේ 30 වැනි කඩුලු 5 බැගින් දවා ගැනීම ලෙසයි. මීට අමතරව අසේල ගුණරත්න සහ ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා දිමුත් කරුණාරත්න සහ උපුල් තරංග පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක ස්ථාවර සබඳතාවයක් ගොඩ නැගූහ. කෙසේ වෙතත් ඉන් දිමුත් කරුණාරත්නගේ පිත්තෙන් වාර්තා වූයේ ලකුණු 25ක් පමණි. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ද ලකුණු 11 දී සිම්බාබ්වේ නායකයාගේ පන්දුවක් හමුවේ බිඳ වැටුණි. ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල් එල්ල කළ පහරක් පන්දු යවන්නාගේ ඇඟිලි තුඩු ස්පර්ශ කරමින් ප්‍රතිවිරුද්ධ අන්තයේ කඩුල්ල බිඳ හෙලීම නිසා උපුල් තරංග අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවිය. ඒ ලකුණු 71ක් ලබා සිටියදීයි. ඉතාමත් විශ්වාසනීයත්වයෙන් ගොඩ නැගූ තරංගගේ ඉනිමට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා පිළේ කඩුලු 3ක් ලකුණු 116කට බිඳ වැටුණු මොහොතේ පටන් පිටියේ එක්වුණු නායක දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 96ක තීරණාත්මක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. එහි දී චන්දිමාල් ලකුණු 55ක් ද, මැතිව්ස් ලකුණු 41ක් ද රැස් කරමින් දස්කම් පෑ නමුත් ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ පවුර ලෙස ක්‍රියා කරන මොවුන් දෙදෙනාගෙන් ප්‍රේක්ෂකයින් මීට වඩා දීර්ඝ ඉනිම දෙකක් බලාපොරොත්තු වූ බව නිසැකය. දිනේෂ් චන්දිමාල් අද තම ටෙස්ට් දිවියේ අර්ධ ශතක දුසිමක් සම්පූර්ණ කර ගැනීමට ද සමත්කම් දැක්වීය.

දඟපන්දු යවන්නන්ගේ දස්කම් ඉහළින්ම කැපී පෙනුණු අද දිනයේ අංක 6 පිතිකරු ලෙස ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම ලකුණු 6 දී නිමා කිරීමට සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් සමත් විය. ඒ අද ඉනිම පුරාවටම තම පිතිකරණ රිද්මය හරිහැටි වටහාගත නොහැකි වූ දික්වැල්ලගේ කඩුල්ල පහසුවෙන්ම බිඳ දමමිනි. දිල්රුවන් පෙරේරා අද ඉතාමත් නිදහස් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 33ක් වාර්තා කළේ හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමිනි. වම් පාදයේ ඇතිවූ ආබාධයක් නිසා අද අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි අසේල ගුණරත්න දිනය නිමා වන විට නොදැවී ලකුණු 24ක් ලබාගෙන සිටියි.

මේ වන විට අසේල සහ රංගන හේරත් අතරේ ගොඩ නැගී ඇත්තේ ලකුණු 19ක කෙටි සබඳතාවයක් වුවත් හෙට දිනයේ දී මෙම සබඳතාවය දළු ලා වැඩෙනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තුවයි. ඒ මේ වන විට කඩුලු 7ක් දැවී ලකුණු 293ක් රැස් කරගෙන සිටින ශ්‍රී ලංකා පිළ මේ තවමත් සිම්බාබ්වේ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 63ක් පිටුපසින් සිටින බැවිනි. ශ්‍රී ලංකා පිළට ලකුණු 350 ඉක්මවා ගොස් පීඩනයෙන් මිදීමට නම් අසේල හෙට උදෑසන රඟ දක්වන භූමිකාව අතිශය වැදගත් වන අතර ඔහු වැඩිපුර පිතිකරණ අන්‍තය ලබා ගනිමින් ශ්‍රී ලංකා පිළ වඩා ගොඩ නැගී ඇති පීඩනය මුදා හැරීමට උත්සාහ ගත යුතුය.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 356 (පන්දුවාර 94.4): ක්‍රේග් අර්වයින් 160, සිකන්ඩර් රාසා 36, මැල්කම් වොලර් 36, ඩොනල්ඩ් තිරිපානෝ 27, සීන් විලියම්ස් 22, හැමිල්ටන් මැසකඩ්සා 19, පීටර් මුවර් 19, රංගන හේරත් 5/116, අසේල ගුණරත්න 2/28.

ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී ලකුණු 293 (පන්දුවාර 83): උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, ඇන්ජෙලෝ මැතිව්ස් 41, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 25, අසේල ගුණරත්න 24, ග්‍රැහැම් ක්‍රීමර් 3/100.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට