තිසරගේ සරණින් ලංකාවේ අවසන් මහා තරග බලාපොරොත්තුව ඉහළට

3671

තිසර පෙරේරාගේ තුන් ඉරියව් දක්ෂතා ප්‍රධාන කොට ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වූ තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහා තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීම පිළිබඳව අවදානම අවම කර ගනිමින් තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශයට වාර්තාගත ජයක්

තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ සහභාගි වූ දෙවැනි තරගය හෙවත් බංග්ලාදේශය…

ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 04කටත් වඩා අඩු වේගයක් රඳවා තබා ගත යුතුව තිබූ මෙම හඹා යෑමේ දී ප්‍රසාද ලකුණ ද සමඟ ජය ගැනීමට නම් එම ඉලක්කය පන්දුවාර 40ක් අවසන් වීමට ප්‍රථම රුස්කරගත යුතු වුවත්, සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේ දැඩි ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ එම වටිනා අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට මඟ හැරී ගියේය. කෙසේ වෙතත් පන්දුවාර 44ක දී සියලු දෙනා දැවී සිම්බාබ්වේ කණ්ඩායම ලබා දුන් ලකුණු 199ක ඉලක්කය, තිසර පෙරේරා එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ සම්පූර්ණ වද්දී ශ්‍රී ලංකාව සතුව කඩුලු 5ක් සහ පන්දු 31ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබුණි.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ලැබුව ද, ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් හෙට (22) පැවැත්වෙන සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර තරගයේ ප්‍රතිඵලය බෙහෙවින් වැදගත් වනු ඇත. යම් ලෙසකින් හෙට තරගය සත්කාරක බංග්ලාදේශය ජය ගතහොත් ශ‍්‍රී ලංකාවේ අවදානම අවම වන නමුත් ප්‍රතිඵලය සිම්බාබ්වේ කණ්ඩායමේ වාසියට හිටියහොත් තත්ත්වය වඩා බරපතළ වනු ඇත.

අදාළ හඹා යෑමේ දී ලකුණු 33දී උපුල් තරංග දැවී ගිය නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76ක දී ලකුණු 70ක් එක් කළ කුසල් ලා යුගලය ශ්‍රී ලංකාවට අවශ්‍ය ජයග්‍රාහී අඩිතාලම දැමූහ. එහෙත් කුසල් පෙරේරා දැවී යෑමෙන් පසු ලකුණු 14ක් තුළ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ද දැවී යෑම ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ගමනට තරමක් අවදානමක් ගෙන දෙන්නක් විය. ජයග‍්‍රහණයට ලකුණු 54ක් අවශ්‍යව තිබිය දී අසේල ගුණරත්න ද දැවී යෑමෙන් එතෙක් ශ්‍රී ලංකාව සතුව තිබූ වාසිය සිම්බාවේ කණ්ඩායම සතු විය.

එහෙත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් පන්දු 71ක දී ලකුණු 38ක් ද, හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟ වේගවත් ඉනිමක් දියත් කළ තිසර පෙරේරා පන්දු 26ක දී ලකුණු 39ක් ලබා ශ්‍රී ලංකාව ජය කණුව කරා රැගෙන ගියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා වූ කුසල් පෙරේරා තම 10 වැනි අර්ධ ශතකයට ලකුණක් තිබිය දී මුසරාබානිගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. තරගයේ එල්ල කරන ලද ප්‍රථම හයේ පහරේ හිමිකරුවා බවට පත්වූ කුසල් තවත් හතරේ පහර 4ක් ද සමඟ රැස් කරන ලද ලකුණු 49 සඳහා පන්දු 57කට මුහුණ දුන්නේය.

පානදුර ක්‍රීඩකයෝ නැවත ජයග්‍රාහී මාවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පළමු පෙළ Tier B තරගාවලියේ ආසන්තම තරගයේ දී ලැජ්ජා…

හඹා යෑමට වඩා පන්දුවට පහර දීම වාසි සහගත යැයි සිතා කාසියේ වාසිය හිමි සිම්බාබ්වේ කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් නමුත් පන්දුවාර 44ක දී ලකුණු 198කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මෙහි දී කැපී පෙනෙන පන්දු යැවීම වාර්තා කළ තිසර පෙරේරා ලකුණු 33ක දී කඩුලු 4ක් දවා ගත්තේ පළමු කඩුලු තුනේම අයිතිය තම නම ඉදිරියේ ලියා ගනිමිනි. මෙම තරගයේ දී තුන් ඉරියව්වෙන්ම දක්වන ලද දක්ෂතාව හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන් ද තිසර පෙරේරා පිදුම් ලැබීය. තිසරට අමතරව නුවන් ප‍්‍රදීප් කඩුලු 3ක් සහ වනිදු හසරංග වෙනුවට කණ්ඩායමට පැමිණි ලක්ෂාන් සඳකැන් කඩුලු 2ක් දවා ගත්හ.

හැමිල්ටන් මසකඩ්සා සහ සොලමන් මයර් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක ආරම්භයක් ලබා දුන් නමුත් තිසර පෙරේරා විසින් මසකඩ්සා දවා ගැනීමත් සමඟ සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු වැටීම ඇරඹිණ. එතැන් පටන් ලකුණු පුවරුවට ලකුණු 29ක් එකතු වන අතරවාරයේ දී කඩුලු 4ක් දවා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම පීඩනයකට ලක් කිරීමට තිසර සහ සඳකැන් සමත් වූහ.

කෙටි පන්දුවකට එල්ල කරන ලද පහරක් වැරදී යෑම නිසා උඩපන්දුවක් ලෙස උපුල් තරංග රැක ගැනීමෙන් මසකඩ්සා ලකුණු 20කට පිටියෙන් ඉවත් කළ තිසර අනතුරුව ක්‍රෙක් අර්වින් (02) සහ සොලමන් මයර්ගේ (21) කඩුලු දවා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම අමාරුවේ දැම්මේය. පෙර තරගයේ දී ශ්‍රී ලංකාවට හිසරදයක් වූ සිකන්දර් රාසා (09) කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ උඩපන්දු රැකීම හමුවේ දැවී ගියේය. සඳකැන්ගේ පන්දුවකට එල්ල කරන ලද ස්වීප් පහර ෂෝට් ස්ක්‍යෙවයාර් ලෙග් කලාපයේ පන්දු රැකී මෙන්ඩිස්ගේ දෑත් අර සිර නොවූයේ නම් තත්ත්වය බොහෝ විට මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි.

ලකුණු 73කට කඩුලු 4ක් බිඳ වැටී තිබිය දී බ්‍රෙන්ඩන් ටේලර් හා එක්වූ මැල්කම් වොලර් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කරමින් වැටී තිබුණු තත්ත්වයෙන් තරමක් දුරට සිම්බාබ්වේ කණ්ඩායම ගොඩ ගෙන ආහ. ඒ අතරතුර කාලයේ දී ඔවුන් අතින් පහසුම උඩපන්දු 2ක් සහ එක් දුවද්දී දවා ගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්න ද එම අවස්ථා 3ම දුර්වල පන්දු රැකීමේ ගොඩට එකතු වීම සිම්බාබ්වේ කණ්ඩායමට වාසනාවට හිටියේය.

ශ්‍රී ලාංකිකයින් 18ක් IPL වෙන්දේසියට; මැතිව්ස්ට කෝටි 2යි!

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 27 සහ 28 දෙදින…

ප‍්‍රථමයෙන්ම ලකුණක් ලබා සිටි වොලර් උපුල් තරංගට ද, ලකුණු 33ක් ලබා සිටි බ්‍රෙන්ඩන් ටේලර් කුසල් පෙරේරාට ද පහසුම අවස්ථා ලබා දුන් නමත් එම අවස්ථා දෙකම ශ්‍රී ලංකාවට අහිමිව ගියේ ඔවුන්ගේ දුර්වල උඩපන්දු රැකීම නිසාමය. කුසල්ට ලබා දුන් උඩ පන්දුව ලකුණු 4ක් බවට ද පරිවර්තනය වීම නිසා වොලර් සහ ටේලර් අතර 5 වනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 50 සීමාව ඉක්මවාලීය. කෙසේ වෙතත් වොලර් ලකුණු 2ක් ලබා සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය බවට ප්‍රධාන විනිසුරු තීරණය කළ ද, තෙවැනි විනිසුරුට යොමු කිරීමේ දී එය පිත්තේ ඇතුල් දාරයේ වැදී ගිය පන්දුවක් ලෙසින් සටහන් වීමේ වාසිය ද වොලර් සතු විය.

තිසර පෙරේරාගේ සිව්වැනි කඩුල්ල බවට පත්වෙමින් බ්‍රෙන්ඩන් ටේලර් පිටියෙන් ඉවත් වන විට හතරේ පහර 6ක් සමඟින් පන්දු 80ක දී ලකුණු 58ක් ලබාගෙන සිටියේය. ටේලර්ගේ 33 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් වුන මෙම අර්ධ ශතකය වසර 3කට ආසන්න කාලයකින් පසුව වාර්තා වීම ද විශේෂත්වයක් විය. ලකුණු 191කට කඩුලු 7ක් ලෙස පැවති සිම්බාබ්වේ කණ්ඩායමේ අවසානය ලකුණු 07ක දී වෙනස් කළ නුවන් ප‍්‍රදීප් අවසන් පිතිකරුවන් තිදෙනාම දවා ගත්තේය. එම දැවී යෑම් ත‍්‍ර‍්‍රිත්වයම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යෑම් වීම විශේෂත්වයකි.

සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 198 යි (44) බ්‍රෙන්ඩන් ටේලර් 58, මැල්කම් වොලර් 24, ග්‍රැහැම් ක‍්‍රිමර් 34, හැමිල්ටන් මසකඩ්සා 20, සොලමන් මයර් 21, තිසර පෙරේරා 33/4, නුවන් ප‍්‍රදීප් 28/2, ලක්ෂාන් සඳකැන් 57/2)

ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 202 (44.5) කුසල් පෙරේරා 49, කුසල් මෙන්ඩිස් 36, දිනේෂ් චන්දිමාල් 38*, තිසර පෙරේරා 39*, උපුල් තරංග 17, බ්ලෙසිංග් මුසරබානි  52/3

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<