සිම්බාබ්වේ පිතිකරුවෝ හඹා යෑම අරඹති

490
Sri Lanka players appeal for th wicket of Tiinotenda Mawoyo during the second day of the second cricket Test match between Sri Lanka and hosts Zimbabwe at the Harare Sports club, on November 7, 2016. / AFP PHOTO / Jekesai Njikizana
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටීනෝ මවෝයෝ දැවී යාම පිළිබඳව විමසමින් ©AFP

සිම්බාබ්වේ වේලාවෙන් අද උදෑසන 10ට තරගය ආරම්භ කරද්දී කඩුලු 5ක් දැවී ලකුණු 290ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද තම ප්‍රථම ඉනිම නිමා කලේ සියල්ලන්ම දැවී ලකුණු 504ක් රැස්කර ගනිමිනි.

​ප්‍රථම දිනය: ​ ධනංජයගේ ශතකය නිසා ශ්‍රී ලංකාවේ ගෞරවය සුරැකේ

ඊයේ පස්වරුවේ තම දෙවැනි ටෙස්ට් ශතකය කරා ලඟා වූ ධනංජය සිල්වා අද ලකුණු 127ක් ලබා සිටියදී දිනයේ ප්‍රථම කඩුල්ල ලෙසින් දැවී ගියේ සිම්බාබ්වේ නායකයාගේ දඟ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 342ක් ලෙස සටහන් ව තිබුනි. ඉන් අනතුරුව පිටියේ එක්වුනු දිල්රුවන් පෙරේරා සහ අසේල ගුණරත්න සත්වෙනි කඩුල්ල සඳහා ලකුණු 54ක් එක් කිරීමට සමත් විය.

දිවා විවේකය එළඹීමට පන්දුවාර කිහිපයක් ඉතිරිව තිබියදී නැවතත් ක්‍රියාත්මක වූ ග්‍රැහැම් ක්‍රීමර් දිල්රුවන් පෙරේරාව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගෙන දවාගන්නා විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 34ක් විය.

දිවා විවේකයෙන් අනතුරුව තරගය ආරම්භ කරන විට ලකුණු 414කට කඩුලු 7ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 90ක් දෙවැනි සැසිය තුලදී එකතු විය. ශ්‍රී ලංකා ඉනිමේ 8වැනි කඩුල්ල ලෙස රංගන හේරත් දැවී ගියේ ඩොනල්ඩ් තිරිපානෝ යැවූ පන්දුවකට සිම්බාබ්වේ කඩුලු රකින ක්‍රීඩක පීටර් මුවර් වෙතට උඩ පන්දුවක් ලබා දෙමිනි. හේරත් දර්ශනීය හතරේ පහර 4ක් සමගින් සුබවාදී ගමනක් ආරම්භ කලත් ඔහුගේ දැවී යාම සිදුවන විට රැස් කරගෙන සිටියේ ලකුණු 27ක් පමණි. ඔහුගෙන් අනතුරුව පිටියට පිවිසුණු සුරංග ලක්මාල් තිරිපානෝගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමට තවත් කිසිදු ලකුණක් එක් වන්නට පෙරයි.

ඔහුගේ මෙම දැවී යාමත් සමඟ අසරණ වූයේ අනෙක් අන්තයේ හොඳින් පන්දුවට පහර දෙමින් සිය මංගල ශතකය ආසන්නයටම පැමිණ සිටි අසේල ගුණරත්නයි. ශ්‍රී ලංකා ඉනිමේ 9වැනි කඩුල්ල ලෙස සුරංග ලක්මාල් දැවී යාමත් සමඟ ඔහුට ශතකය අහිමි වීමේ අවදානමක් ඇති විය. නමුත් අසේල සමඟින්ම කලින් තරගයේ ටෙස්ට් වරම් හිමි කරගත් යොවුන් ක්‍රීඩක ලහිරු කුමාර තම සගයාට එවන් ඉරණමක් අත්වන්නට ඉඩ තැබුවේ නැත.

ඔහු ඉතාමත් පරීක්ෂාකාරීව තම සගයාගේ සිහිනය බොඳ වන්නට ඉඩ නොදී කඩුල්ලෙන් ඉවතට ඇදී යන පන්දු නිදැල්ලේ හරිමින්, කඩුල්ල වෙත පැමිණෙන පන්දු වලින් ආරක්ෂා වෙමින් නොදැවී සිටින්නට සමත් විය. එය ආශිර්වාදයක් කරගත් අසේල ගුණරත්න තම මංගල ටෙස්ට් ශතකය ලෙස ලකුණු 116ක් රැස් කර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ අනාගතය පිලිබඳ සුබවාදී බලාපොරොත්තු ඇති කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 15කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය. පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් තිරිපානෝ සහ ක්‍රීමර් කඩුලු 3 බැගින් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන් ප්‍රථම පන්දුවාරයේ සිටම ආක්‍රමණශීලී පිති ප්‍රහාරයක නිරත වන්නට උත්සාහ දැරූහ. නමුත් ජාත්‍යන්තර දිවියේ බොහෝ ක්‍රීඩකයින් සිය දඟ පන්දුව ඉදිරියේ දමනය කර ඇති රංගන හේරත් පන්දුව අතට ගැනීමත් සමඟ ඔවුන්ගේ සැලසුම බිඳ වැටුනි.

සිම්බාබ්වේ කණ්ඩායමේ සිටින විශ්වාසවන්තම පිතිකරුවෙකු වන ටීනෝ මවෝයෝ ඒ අනුව රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ පිටිය හැර යන්නේ ලකුණු 3ක් ලබා සිටියදීය. එතකින් නොනැවතුනු හේරත්, හැමිල්ටන් මැසකඩ්සාව තම මීළඟ ගොදුර බවට පත්කර ගන්නේ ඔහු ලකුණු ලබා ගන්නටත් පෙරයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිළට කඩුලු දවා ගැනීමේ අවස්ථා කිහිපයක් හිමි වුවත් DRS තාක්ෂණය මනාව යොදා ගනිමින් එම දැවීයාම් නැවත හරවන්නට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වූහ. ඒ අනුව දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහර දෙන බ්‍රයන් චාරි සහ ක්‍රේග් අර්වයින් ලකුණු 60 බැගින් රැස් කරමින් ලකුණු 109ක නොබිඳුණු සබඳතාවයක් පවත්වා ඇත්තේ හෙට දිනයේ තීරණාත්මක බව මනාව පැහැදිලි කරමිනි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 504 (පන්දුවාර 144.4): ධනංජය සිල්වා 127, අසේල ගුණරත්න 116, උපුල් තරංග 79, කෞෂාල් සිල්වා 37, ඩොනල්ඩ් තිරිපානෝ 3/91, ග්‍රැහැම් ක්‍රීමර් 3/136, හැමිල්ටන් මැසකඩ්සා 2/34.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 126 (පන්දුවාර 35): බ්‍රයන් චාරි 60*, ක්‍රේග් අර්වයින් 60*, රංගන හේරත් 2/44.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට